ඉවත් වූ ඇෆ්ගනිස්තානය වෙනුවට සිම්බාබ්වේ කණ්ඩායම තරගාවලියට සහභාගි වන බව පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය ඊයේ ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකාව හා සත්කාරක පාකිස්තානය සමග මේ තුන්කොන් තරගාවලියට සහභාගි වීමට නියමිතව සිටි අනෙක් කණ්ඩායම වූයේ ඇෆ්ගනිස්තානය. කෙසේ වෙතත්, පාකිස්තාන ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු මිය යාමෙන් පසුව ඇෆ්ගනිස්තානය මේ තරගාවලියෙන් සිකුරාදා රාත්‍රියේ ඉවත් වුනා.
ඉන්පසුව පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය විසින් සිම්බාබ්වේ ට මේ තරගාවලිය සඳහා සහභාගි වන ලෙසට ඇරයුම් කළා.
පාකිස්තාන පොළොවේ පැවැත්වෙන මේ තරගාවලිය ලබන වසරේ ඉන්දියාව හා ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කෙරෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සූදානම් වීම පිණිස කණ්ඩායම් තුන ට ම ලැබෙන මහඟු අවස්ථාවක් ලෙස සැලකෙනවා.
තරගාවලිය නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන්නේ සත්කාරක පාකිස්තානය හා සිම්බාබ්වේ අතර රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයෙන්.
ශ්‍රී ලංකා කණ්ඩායම නොවැම්බර් 19 වැනිදා එම ක්‍රීඩාංගණයේදී ම සිම්බාබ්වේ මුණගැසෙනවා.
ඉක්බිති ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයට පිවිසෙන තරගාවලියේ ඉතිරි තරග සියල්ලම හා නොවැම්බර් 29 වැනි දින අවසාන තරගය පැවැත්වෙනු ඇත්තේ එම ක්‍රීඩාංගණයේ.
ඊට පෙර, නොවැම්බර් 11 සිට 15 දක්වා ශ්‍රී ලංකාව සමග වෙන්ව පැවැත්වෙන ද්විපාර්ශ්වික විස්සයි20 තරගමාලාවකට ද පාකිස්තානය සත්කාරකත්වය දැක්වීමට නියමිතයි.
ඇෆ්ගනිස්තාන ක්‍රිකට් මණ්ඩලය මේ තරගාවලියෙන් ඉවත් වීම සලකුණු කරන්නේ පසුගිය මාස කිහිපයේදී පළුදු වූ පාකිස්තාන-ඇෆ්ගනිස්තාන ක්‍රිකට් සබඳතාවේ තවත් පසුබෑමක්.
මේ වසරේ ආසියානු කුසලානයට පෙර සාජා හි පැවති තුන්කොන් තරගාවලියකදී පාකිස්තාන හා ඇෆ්ගන් ක්‍රිකට් ලෝලීන් ගැටුම් ඇතිවීම වළක්වා ගැනීම පිණිස තරග නැරඹුවේ වෙන වෙනම ක්‍රීඩාමණ්ඩපවල අසුන් ගෙන.
ඊට පෙර, පාකිස්තානය ඔවුන්ගේ දේශීය තරගාවලියන් හි ක්‍රීඩා කිරීම පිණිස ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයන්ට අවසර ලබා දීම මගින් ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩාවට ආධාර කර තිබුණා.
තුන්කොන් තරගාවලියේ තරග සටහන:
නොවැම්බර් 17 - පාකිස්තානය හා සිම්බාබ්වේ අතර රාවල්පින්ඩි හිදී
නොවැම්බර් 19 - ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර රාවල්පින්ඩි හිදී
නොවැම්බර් 22 - ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ලාහෝර් හිදී
නොවැම්බර් 23 - පාකිස්තානය හා සිම්බාබ්වේ අතර ලාහෝර් හිදී
නොවැම්බර් 25 - ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර ලාහෝර් හිදී
නොවැම්බර් 27 - ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ලාහෝර් හිදී
නොවැම්බර් 29 - අවසාන තරගය ලාහෝර් හිදී
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
සබැඳි පුවත් :
පාකිස්තාන ප්‍රහාරයෙන් ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනෙක් මරුට: ඇෆ්ගනිස්තානය තුන්කොන් තරගාවලිය වර්ජනය කරයි
https://www.theleader.lk/sports/36174-2025-10-18-14-00-21
ඇෆ්ඝනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙක් ඝාතනය කෙරේ; ශ්‍රී ලංකාව සමග තුන්-කොන් තරගාවලියෙනුත් ඉවත් වේ
https://www.theleader.lk/sports/36172-2025-10-18-09-53-44




