ඔවුන් මේ එතිහාසික අවස්ථාවට පිවිසියේ අප්‍රිකානු සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ඔවුන්ගේ කොටසේදී එස්වටීනියාව ගෝල් 3-0කින් පරාජය කරමින්.
බටහිර අප්‍රිකානු වෙරළට එහා පිහිටා තිබෙන දූපත් දේශයක් වන කේප් වර්ඩ් අප්‍රිකානු මහාද්වීපයට ඉබේ ලැබෙන ස්ථාන නවයෙන් එකක් දිනා ගැනීමට සමත් වුණා. පුද්ගලයින් 525,000ක් පමණ ජීවත් වන කේප් වර්ඩ් 2018 වසරේ අයිස්ලන්තයෙන් පසුව ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබා ගත් ජනගහණය අතින් දෙවැනි කුඩාම රට බවට පත්වනවා. එස්වටීනියාව පරාජය කිරීමත් සමග කේප් වර්ඩ් ‘ඩී’ කොටසේ පළමු ස්ථානයට පත්වුණා.
ජියානි ඉන්ෆන්ටීනෝ
“මොන තරම් ඓතිහාසික මොහොතක් ද මේ...” යනුවෙන් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) සභාපති ජියානි ඉන්ෆන්ටීනෝ වීඩියෝ පණිවුඩයකින් කියා සිටියා.
“FIFA ලෝක කුසලාන තරගාවලියට පළමු වතාවට සුදුසුකම් ලබා ගැනීම පිළිබඳව කේප් වර්ඩ් හි සියලු දෙනාටම මම සුභ පතනවා. මෙතෙක් පවත්වනු ලබන ශ්‍රේෂ්ඨතම FIFA ලෝක කුසලාන තරගාවලියේදී ඔබේ ධජය ලෙලදෙමින් ඔබේ ජාතික ගීය ඇසේවි.”
“පාපන්දු ක්‍රීඩාවේ සංවර්ධනයෙහි ලා මෑත වසරවල ඔබේ කාර්යය ඇදහිය නොහැකියි. මේ තමයි ඔබේ පාපන්දු තරු ගෝලීය තත්ත්වයට පිවිසෙමින් කේප්
වර්ඩ් හරහා පාපන්දුවට ආදරය කරන අලුත් පරම්පරාවක් බලගන්වන මොහොත” යනුවෙන් ලෝක පාපන්දු ප්‍රධානියා ප්‍රකාශ කළා.
ලබන වසරේ අමෙරිකාව, කැනඩාව හා මෙක්සිකෝවේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබූ හය වැනි අප්‍රිකානු රට වන්නේ කේප් වර්ඩ්. ඔවුන් දැන් එක්වන්නේ ඝානාව, ටියුනීසියාව, ඇල්ජීරියාව, ඊජිප්තුව හා මොරොක්කෝව යන රටවල් සමග. අමෙරිකාවේ වර්මොන්ට් ප්‍රාන්තයටත් වඩා අඩු ජනගහණයක් සිටින කේප් වර්ඩ් 1930 වසරේ ප්‍රථම වරට ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භ වීමෙන් පසුව මේ දක්වා එම තරගාවලියට සුදුසුකම් ලැබූ ඉතාම කුඩා රටවල් පහෙන් දෙවැනි ස්ථානයේ සිටිනවා.
ලෝක කුසලාන පාපන්දු තරගාවලියකට සුදුසුකම් ලබන විට ජනගහණය අතින් කුඩාම රටවල් පහ බවට පත්ව සිටියේ අයිස්ලන්තය, කේප් වර්ඩ්, පැරගුවේ, ට්‍රිනිඩෑඩ් සහ ටබෙයිගෝ, උතුරු අයර්ලන්තය.
අයිස්ලන්තය 35,000කට මඳක් වැඩි ජනගහණයකින් යුත් අයිස්ලන්තය 2018 වසරේ රුසියාවේ පැවති තරගාවලියට සුදුසුකම් ලබමින් ලෝක කුසලාන පාපන්දු තරගාවලියකට පිවිසි කුඩාම රට බවට පත්වුනා. ඒ, එංගලන්තය තරගාවලියෙන් ඉවතට විසි කරමින් අයිස්ලන්තය 2016 යුරෝපීය ශූරතාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිස වසර දෙකකට පසුව.
රුසියාවේදී අයිස්ලන්ත කණ්ඩායම ආජන්ටිනාව සමග තරගය ජය පැරදුමින් තොරව අවසන් කිරීමට සමත් වූව ද, ක්‍රොඒෂියාව හා නයිජීරියාව හමුවේ ලැබූ
පරාජයන්ගෙන් පසුව ඔවුන්ට තරගාවලියේ මූලික වටයේ ඔවුන්ගේ කොටසේ අත්වුනේ අන්තිම ස්ථානය. කේප් වර්ඩ් 525,000ක් පමණ ජනතාවක් පදිංචිව සිටින කේප් වර්ඩ් FIFA ලෝක ශ්‍රේණිගත කිරීම්වල සිටින්නේ 70 වැනි ස්ථානයේ. කේප් වර්ඩ් 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ස්ථානයක් හිමිකර ගත්තේ ඔවුන්ගේ අප්‍රිකානු සුදුසුකම් ලැබීමේ තරග කොටසේදී එම මහාද්වීපයේ ප්‍රධානතම පාපන්දු රාජ්‍යයක් වන කැමරූන් ට ඉහළින් පළමු තැනට පැමිණෙමින්.
මීට වසර 50කට පෙර පෘතුගාලයෙන් නිදහස දිනා ගත් කේප් වර්ඩ් අප්‍රිකානු කුසලාන තරගාවලියට සිවු වතාවක් සහභාගි වී තිබෙන අතර 2013 හා 2023 වසරවලදී එහි අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියා. ලබන වසරේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානයට මේ දක්වා සුදුසුකම් ලැබ සිටින රටවල් අතරින් කුඩාම රට වන්නේ කේප් වර්ඩ්.
පැරගුවේ මේ දකුණු අමෙරිකානු රට ප්‍රථම වතාවට 1930 වසරේදී ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගි වන විට වාර්තා කර තිබුනේ මිලියනයකට අඩු ජනගහණයක්. අමෙරිකාව ට පරාජය වීමෙන් සහ බෙල්ජියම පරාජය කිරීමෙන් පසුව පැරගුවේ පළමු වටයෙන් ම තරගාවලියෙන් ඉවතට විසිවුනා.
පැරගුවේ කණ්ඩායම ලබන වසරේ ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන්නේ නව වැනි වතාවට. ඒ, මේ තරගාවලියට කෙලින්ම සුදුසුකම් ලැබිය හැකි
දකුණු අමෙරිකානු ස්ථාන හයෙන් අවසාන ස්ථානය ඩැහැ ගනිමින්. ට්‍රිනිඩෑඩ් හා ටබෙයිගෝ මේ කැරිබියන් දේශය ඔවුන්ගේ පළමු හා එකම ලෝක කුසලාන පෙනී සිටීම 2006 වසරේ ජර්මනියේ පැවති තරගාවලිය වෙනුවෙන් හිමි කරගෙන තිබුනේ ජාත්‍යන්තර අතිරේක තරගයක් ජයග්‍රහණය කරමින්.
මිලියන 1.3ක ජනගහණයක් තිබූ මේ රට ඒ තරගාවලියට සහභාගි වූ කුඩාම රට වුනා. ට්‍රිනිඩෑඩ් හා ටබෙයිගෝ කණ්ඩායම ස්වීඩනය සමග තරගය ජය පැරදුමින් තොරව අවසන් කර ගත්ත ද, එංගලන්තය හා පැරගුවේ සමග තරගවලින් පරදිමින් ඔවුන්ගේ කොටසේ අන්තිමයා වුනා. එතැන් සිට ඔවුන් ලෝක කුසලාන පාපන්දු තරගාවලියකට සුදුසුකම් ලබා ගෙන නැහැ.
උතුරු අයර්ලන්තය 1958 වසරේ ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගි වන විට උතුරු අයර්ලන්තයේ ජනගහණය ඇස්තමේන්තු කර තිබුනේ මිලියන 1.4ක් වශයෙන්. එම තරගාවලියේ මූලික වටයේදී චෙකොස්ලොවේකියාව පරාජ කළ මේ කණ්ඩායම ආජන්ටිනාව ට පරාජය වී ජර්මනිය සමග තරගය ජය පැරදුමින් තොරව කෙළවර කර ගත්තා. උතුරු අයර්ලන්තය පිළිමළුන් පිටුදැකීමේ අදියරේදී ප්‍රංශය විසින් තරගාවලියෙන් ඉවතට විසිකරනු ලැබුවා. උතුරු අයර්ලන්තය 1982 හා 1986 ලෝක කුසලාන තරගාවලියන් ට ද ක්‍රීඩා කළා.
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com




