මේ පියවර ගෙන තිබෙන්නේ වේලයක් නැති කාන්තාවන් සිකුරාදා තරගයේ ධාවනයේ යෙදෙමින් සිටින ඡායාරූප සමාජ මාධ්‍යයේ දිස්වීමෙන් පසුවයි. ඉරානයේ දකුණු වෙරළට එහා පිහිටි කිෂ් දූපතේ පැවති මේ මැරතන් තරගයට කාන්තාවන් 2,000ක් හා පිරිමින් 3,000ක් පමණ වෙන් වෙන්ව සහභාගි වුනා. රතු වර්ණයෙන් යුත් ටී-ෂර්ට් පැලඳ සිටි සමහර තරගකාරියන් පැහැදිලිවම හිජාබ් හෝ වෙනත් කිසිම හිස් ආවරණයක් පැලඳ සිටියේ නැහැ.
මෙයට ලැබුනේ ඉතාම වෙනස් ප්‍රතිචාරයි.
ඉරානයේ වෙනසක් බලාපොරොත්තු වන බොහෝ ආධාරකරුවන් සමාජ මාධ්‍යයේ පළවූ ඡායාරූපවලට මහත් උනන්දුවෙන් සුබපැතුවේ කාන්තාවන් පැලඳිය යුතු ඇඳුම් සම්බන්ධයෙන් බලධාරීන් විසින් පනවා තිබෙන සීමා කිරීම් ඉරාන කාන්තාවන් ප්‍රතික්ෂේප කරන බවට වැඩිදුර සාක්ෂියක් ඉදිරිපත් කරමින්. මෙයට ප්‍රතිචාර දක්වන ඉරාන නිලධාරීන්, මේ සිද්ධිය ඉරානයේ පවතින තත්ත්වයට එල්ල වුනු පිළිගත නොහැකි අභියෝගයක් බව ප්‍රකාශ කරනවා.
මැරතන් තරගය සංවිධානය කළ පුද්ගලයන්ට එරෙහිව ඉරාන අධිකරණය සැණින් ක්‍රියාත්මක වී තිබෙනවා. මෙය සමහර කාන්තා තරගකාරියන් හිජාබ් වේලය සම්බන්ධයෙන් පනවා ඇති නීති අවඥාවෙන් උල්ලංඝණය කිරීමක් පමණක් ම නෙවෙයි. මැරතන් තරගය කොහෙත්ම පැවැත්වීම කෙරෙහි ද රටේ ඉස්ලාම් පූජක නායකත්වයේ තද අප්‍රසාදය එල්ල වී තිබෙනවා.
පිරිමින්ගෙන් වෙන්කර තබා හෝ ඉරාන කාන්තාවන් මෙතරම් විශාල ප්‍රසිද්ධ ඉසව්වකට ක්‍රීඩා ඇඳුම් ඇඳගෙන සහභාගි වන දසුනක් සම්මතය කඩ කිරීමක් ලෙස මීට වසර කිහිපයකට පෙර දැකීමට ඉඩ තිබුණා.
තරගය පැවැත්වූ ආකාරය ම ජනතා වැදගත්කම උල්ලංඝනය කිරීමක් බව කිෂ් නුවර පැමිණිල්ලේ නීතිඥවරයෙක් සඳහන් කරනවා.
ඉරානය යනු ඇත්තේ කුමන දිසාව ට ද යන තර්කයේ කේන්ද්‍රගතව රැඳී තිබෙන ප්‍රශ්නයකි හිජාබ් වේලය.
හිස ආවරණය නොකර ප්‍රසිද්ධියේ පෙනී සිටින කාන්තාවන්ට එරෙහිව ඉරාන රජය කටයුතු කරන ආකාරය විවිධාකාර වනවා. මීට තෙවසරකට පෙර, ඇඳුම් චාරිත්‍රය කඩ කිරීම හේතුවෙන් රඳවා තබා ගත් මාසා අමිනි (Mahsa Amini) නමැති කුර්දි ඉරාන තරුණිය අත්අඩංගුවේ සිටියදී මිය යාමෙන් පසුව හටගත් මහා විරෝධතාවෙන් ඉරානය මාස ගණනාවක්ම කැළඹුනා.
බලය පාවිච්චි කිරීමෙන් හා පුද්ගලයින් විශාල පිරිසක් අත්අඩංගුවට ගැනීම මගින් එම විරෝධතා මැඩ පවත්වීමෙන් පසුව සමහර ඉරාන කාන්තාවන් අඛණ්ඩව මේ නීතියට ප්‍රසිද්ධියේම අකීකරු වෙමින් සිටිනවා.
මේ නිසා ඊට එරෙහිව අප්‍රමාදව ක්‍රියා කිරීමට බලධරයන් තීරණය කර තිබෙනවා. ප්‍රසිද්ධියේ හිජාබ් නොපලඳින කාන්තාවන්ට එරෙහිව නැවත ශක්තිමත් කළ මෙහෙයුමක් අරඹන බවට ඉරාන අධිකරණයේ ප්‍රධානියා අනතුරු අඟවා තිබෙනවා.
මේ අනුව, හිජාබ් වේලයට විරුද්ධ වන කාන්තාවන් හඳුනා ගෙන වාර්තා කරන ලෙසට රටේ ඔත්තු සේවාවන්ට නියෝග කර තිබෙන බව ඔහු කියනවා.
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com




