නව මඟකට හරවමින් බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය (BCB) ඊයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට (ICC) විස්මිත යෝජනාවක් ඉදිරිපත් කළා.
2026 T20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායමේ තරග ඉන්දියාවෙන් පිට ස්ථානයක ක්‍රීඩා කිරීමේ සිය ස්ථාවරයේ ම සිටි BCBය ඊයේ (සෙනසුරාදා) පැවති සාකච්ඡාවේදී තරගාවලියේ බංග්ලාදේශය අයත්ව සිටින කොටස අයර්ලන්තය සමග හුවමාරු කරන ලෙසට ICCයෙන් ඉල්ලා සිටියේ එමගින් ඔවුන්ගේ සියලුම මූලික තරග ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කිරීමට හැකිවන බැවින්.
කෙසේ වෙතත්, තමන්ගේ තරග පැවැත්වෙන ස්ථානය (ශ්‍රී ලංකාව) වෙනස් නොවන බවට නිශ්චිත සහතික වීමක් ICCයෙන් ලැබී තිබෙන බවත් අයර්ලන්ත කණ්ඩායම ඔවුන්ගේ සියලුම ලෝක කුසලාන තරග ක්‍රීඩා කරන්නේ ශ්‍රී ලංකාවේ බවත් අයර්ලන්ත ක්‍රිකට් ආයතනය (CI) ප්‍රකාශ කර තිබෙනවා.
මේ තරගාවලියේදී ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව, සිම්බාබ්වේ හා ඔ්මානය සමග ‘බී’ කොටසට ඇතුළත්ව සිටින අයර්ලන්තය ඔවුන්ගේ සියලුම මූලික වටයේ තරග ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙන්නේ ශ්‍රී ලංකාවේ. මෙයින් පළමු තරග තුන කොළඹදී ක්‍රීඩා කරන අතර අවසන් තරගය පැවැත්වෙන්නේ පල්ලෙකැලේ. අනෙත් අතට, බංග්ලාදේශ කණ්ඩායම එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, නේපාලය හා ඉතාලිය සමග ‘සී’ කොටසට අයත්ව සිටින අතර ඔවුන්ගේ තරග තුනක් කොල්කටා නගරයේත් එක් තරගයක් මුම්බායි හිදීත් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.
ආරක්ෂක හේතුන් මත ඉන්දියාව ට යාම බංග්ලාදේශය ප්‍රතික්ෂේප කර තිබෙන අතර තම කණ්ඩායමට ඉන්දියාවේ ක්‍රීඩා නොකර ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙන පරිදි බංග්ලාදේශය ‘බී’ කොටසට මාරු කර එම කොටසේ සිටින අයර්ලන්තය ‘සී’ කොටසට මාරු කරන ලෙසට BCBය ඊයේ සවස ICCයෙන් ඉල්ලා සිටියා.
එහෙත් මේ හුවමාරු කරගැනීමේ යෝජනාවට ICCයෙන් මෙන්ම අයර්ලන්තයෙන් ද කිසිම කැමැත්තක් ලැබී නැති බව පෙනෙන්නට තිබෙනවා.

“මුල් තරග සටහනෙන් අපව වෙනස් නොකරණ බවට අපට නිශ්චිත වශයෙන් සහතික වීමක් ලැබී තිබෙනවා. ස්ථිරවම අපි අපේ මූලික තරග ක්‍රීඩා කරන්නේ ශ්‍රී ලංකාවේයි” යනුවෙන් අයර්ලන්ත ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් අවධාරණය කර තිබෙනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ඉසව් හා ඒකාබද්ධ සන්නිවේදනයේ සාමාන්‍යාධිකාරී ගවුරව් සක්සෙනා හා දූෂණ විරෝධී සහ ආරක්ෂක ප්‍රධානී ඇන්ඩෲ එෆ්ග්‍රේව් යන ICCයේ ද්වි-පුද්ගල නියෝජිත කණ්ඩායම ඊයේ ධකා නුවරදී සාකච්ඡාවට සහභාගි වුනේ බංග්ලාදේශ කණ්ඩායමට ඉන්දියාවේදී ලැබෙන ආරක්ෂාව පිළිබඳව දන්වා ඔවුන්ට එහි ගොස් ක්‍රීඩා කරන ලෙසට බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයට ඒත්තු ගැන්වීමටයි. එෆ්ග්‍රේව් මේ සාකච්ඡාවට ශාරීරිකව පෙනී සිටි අතර සක්සෙනා ට නියමිත වේලාවට වීසා බලපත්‍රයක් ලබා ගැනීමට නොහැකි වූ බැවින් ඔහු සහභාගි වුනේ තාක්ෂණික ක්‍රමවේදයෙන්.
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com




