The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ක්‍රිශාන් කළුගමගේ: පීට්සා පිටිගුලියෙන් සහ දඟ පන්දුවෙන් පෙලහර පාන ඉතාලි ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයා

T

The Leader Desk

February 13, 2026 • 11:23 AM

ක්‍රිශාන් කළුගමගේ: පීට්සා පිටිගුලියෙන් සහ දඟ පන්දුවෙන් පෙලහර පාන ඉතාලි ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දැන් පැවැත්වෙන 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ නේපාලය ට එරෙහිව ඉතාලිය නියෝජනය කරමින් ඔ්වර හතරකදී ලකුණු 18කට තීරණාත්මක කඩුලු ත්‍රිත්වයක් ලබා ගත් ශ්‍රී ලාංකික ක්‍රිශාන් කළුගමගේ ලෝක කුසලාන ක්‍රිකට් තරගයක ඉතාලියේ පළමු ‘තරගයේ වීරයා’ බවට පත්වුණා.
  • පිතිකරුවන්ට හිතකර වනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කළ වන්ඛඩේ ක්‍රීඩාංගණ තණතීරුවේ පන්දුව දඟ කවමින් නේපාල මුල් පිතිකරු පෙල රැවටීමට මීගමුවේ උපන් මේ නිහතමානී පීට්සා හදන්නා සමත් වුණා.
  •   කළුගමගේ ට ක්‍රිකට් ක්‍රීඩාව කිසිවිටකත් ඔ්නෑවට එපාවට කරන දෙයක් ලෙසින් තිබුණේ නැහැ.
  • එය තමා උනන්දුවෙන් කරන කැපවීමක් වශයෙන් ඔහුගේ එදිනෙදා ජීවිතයේ ළඟින්ම තිබුණේ ක්‍රිකට් ක්‍රීඩාවට තිබෙන ඉමහත් ආදරය හා එය කවරදා හෝ තමාව කොතැනකට හෝ ගෙන යනු ඇතැයි යන හිතුවක්කාර විශ්වාසයෙන් ප්‍රාණවත් වෙමින්.
අකුරු ප්‍රමාණය (Font Size):

 

මීට දින කිහිපයකට පෙර එංගලන්තය ට එරෙහිව පෙරලිකාර ජයග්‍රහණයක් ආසන්නයටම පිවිසීමට හැකිවීමෙන් ධෛර්යමත්ව සිටි නේපාලය කළුගමගේ ගේ මායාකාර දඟ පන්දුවට එරෙහිව රිද්මයක් සොයා ගැනීමේ දුෂ්කරතාවට මුහුණ දුන්නා. පිතිකරුවන්ට හිතකර වනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කළ වන්ඛඩේ ක්‍රීඩාංගණ තණතීරුවේ පන්දුව දඟ කවමින් නේපාල මුල් පිතිකරු පෙල රැවටීමට මීගමුවේ උපන් මේ නිහතමානී පීට්සා හදන්නා සමත් වුණා.

ක්‍රිශාන් කළුගමගේ ට රසට පීට්සා හදන්න පුළුවන්. නමුත් ඔහු මධ්‍යම ඉතාලියේ ටස්කනී ප්‍රදේශයේ ලූකා නගරයේ ඇති පීට්සාහලේ රැකියාව කරන විට ඇනූ පිටිගුලිය අතින් අතට විසිකරමින් කාර්යබහුලව නොසිටින අවස්ථාවන් හිදී රෝමයේ ඇස්ට්‍රෝ පිටියක පන්දු යවමින් සිය පා දඟ පන්දු යැවීමේ හැකියාව මුවහත් කර ගන්නේ පීට්සා හදන විට තිබෙන නිරවද්‍යතාවෙන් ම යි.

 

WhatsApp Image 2026 02 12 at 6.18.05 PM
කළුගමගේ ට ක්‍රිකට් ක්‍රීඩාව කිසිවිටකත් ඔ්නෑවට එපාවට කරන දෙයක් ලෙසින් තිබුණේ නැහැ. එය තමා උනන්දුවෙන් කරන කැපවීමක් වශයෙන් ඔහුගේ එදිනෙදා ජීවිතයේ ළඟින්ම තිබුණේ ක්‍රිකට් ක්‍රීඩාවට තිබෙන ඉමහත් ආදරය හා එය කවරදා හෝ තමාව කොතැනකට හෝ ගෙන යනු ඇතැයි යන හිතුවක්කාර විශ්වාසයෙන් ප්‍රාණවත් වෙමින්. එය දැන් ඔහුව 2026 T20 ‌ලෝක කුසලාන තරගාවලියට රැගෙන ගොස් තිබෙනවා. එහිදී ඔහු ගෝලීය ක්‍රිකට් වේදිකාවේ ඉතාලිය නියෝජනය කරමින් නිල්පැහැ කමිසය පළඳින්නේ මහත් අභිමානයෙන්.

“අපි ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබූ මොහොතේ මට ඇතිවූ හැඟීම විස්තර කරන්න මා ළඟ වචන තිබුණේ නැහැ” යනුවෙන් කළුගමගේ පවසනවා. “ලෝක කුසලානයකට ක්‍රීඩා කිරීම අපට සිහිනයක් නිසා අපි කිහිප දෙනෙකුම එදා ඇඬුවා. මට එය ඉතාමත් සංවේදී දෙයක් වුණේ එය සිදුවන්නේ ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ නිසා. ලෝක කුසලාන තරගාවලියේ අපේ පළමු තරගයේ ඉතාලි ජාතික ගීය වාදනය වෙද්දී, මට ලොකු ආඩම්බරයක් දැණුනා. මොකද, මම අඳින කමිසයට ගෞරව කළ යුතු බවට මට සැමවිටම හැඟුනු නිසා.”

කළුගමගේ ට වයස අවුරුදු 15ක්ව තිබියදී මව්පියන් රැකියාව පිණිස ශ්‍රී ලංකාවේ සිට ඉතාලිය ට 2007 වසරේ පැමිණි අවස්ථාවේදී ඔහුගේ හදවත බිඳී තිබුණේ හේතු ගණනාවක් නිසායි. නමුත් ඒ සියල්ල අතර ඉහළින්ම තිබුණේ වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වීමේ සිහිනය හඹා යාම තමාට තවදුරටත් කළ නොහැකිය යන කාරණයයි.

මීගමුවේදී ඔහුගේ ළමාවිය ගෙවුනේ ඔහුගේ සීයා සමග රේඩියෝවෙන් ක්‍රිකට් තරග විස්තර ප්‍රචාරය අසමින් හා පාසල්‌ වේලාවෙන් පසුව තම පාසල් මිතුරන් සමග වීදියේ ක්‍රිකට් ක්‍රීඩා කරමින්. ඔහු ඔහුගේ විදුහලේ වයස අවුරුදු 13න් පහළ සහ 15න් පහළ කණ්ඩායම්වල ක්‍රීඩකයෙකු ලෙස ද සිටියා.

කළුගමගේ ට ඉතාලියෙන් පැහැදිලි ක්‍රිකට් මඟක් පිළිගැන්වුනේ නැහැ. අලුත් සංස්කෘතියට හා පරිසරයට හැඩගැසීම ම අභියෝගයක් වූ අතර ඔහු වැඩියෙන්ම ආදරය කරන ක්‍රීඩාව නැතිකම තත්ත්වය තවත් අසීරු කළා. පාසලේදී මලල ක්‍රීඩාවට ඇතුළු වූ ඔහු අවසානයේදී ඉතාලියේ සිටින අනෙක් ශ්‍රී ලාංකිකයින් සමග විනෝදයට ටෙනිස් බෝල ක්‍රිකට් ක්‍රීඩා කිරීමට පටන් ගත්තා. සාමාන්‍යයෙන් කරන ක්‍රීඩාවක් ලෙසින් ආරම්භ වූ එය ක්‍රමක්‍රමයෙන් තරගකාරී ක්‍රිකට් ක්‍රීඩාවක් දක්වා විකසනය වුනේ කළුගමගේ හා ඔහුගේ මිතුරන්ගෙන් කිහිප දෙනෙක් ලූකා නගරයේ කුඩා ක්‍රිකට් ක්‍රීඩා සමාජවලට එක්වීම හේතුවෙන්.

kalu1
ඉතාලියේ තිබෙන පැරණිතම ක්‍රීඩා සමාජවලින් එකක් වන රෝමා ක්‍රිකට් සමාජය (Roma Cricket Club) සමග එක්වීම සඳහා අවස්ථාවක් 2015-16 වකවානුවේ දිනා ගැනීම කළුගමගේ ගේ ක්‍රීඩා දිවියේ විශාල ඉදිරි පියවරක් සටහන් කළා. එදා සිට ඔහු එම සමාජය සමග රැඳී සිටින අතර දශකයක් දීර්ඝ මේ සම්බන්ධය විසින් ඔහුගේ ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව හැඩගස්වා තිබෙනවා.

ඔහුගේ ගමන වෙනස් මඟකට හැරුණු අවස්ථා ද තිබෙනවා. උස ප්‍රමාණය වැඩිවෙද්දී පා දඟ පන්දු යැවීම ගැන ඔහු යළි සලකා බැලුවා. “අනපේක්ෂිත ලෙස මගේ උස වැඩිවුණා. ඒ නිසා මම හිතුවා මම වේග පන්දු යවන්නෙක් විය යුතුයි කියලා. මට ඉතාලි ‘ඒ’ කණ්ඩායමට ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලැබුණා. එහිදී මම ක්‍රීඩා කළේ වේග පන්දු යවන්නෙක් විදියටයි.”

2019 වසරේදී ඔහු ශ්‍රී ලංකාවේ දේශීය තරග බිමේ කණ්ඩායමක් වන කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය (Kandy Customs Cricket Club) වෙනුවෙන් ටික කලක් ක්‍රීඩා කළ අතර එහිදී ද ඔහු යැවුවේ වේග පන්දුව. නමුත් ඉක්මනින් ම නැවත දඟ පන්දුවට මාරු වීමට ඔහුට බලකෙරුණා.

kalu 2

 

“වේග පන්දු යැවීම නිසා මට ආබාධ ගණනාවක් ඇතිවුණා. ඒ නිසා 2021දී මම නැවත පා දඟ පන්දු යවන්නෙක් ලෙසට වෙනස් වුණා.”

කළුගමගේ ගේ සැබෑ දක්ෂතාව පා දඟ පන්දු යැවීම බවට විශ්වාස කරමින් එම වකවානුවේදී ඔහුට ප්‍රධාන බලපෑමක් කළ පුද්ගලයා වූයේ රෝමා ක්‍රිකට් සමාජයේ නිර්මාතෘ ප්‍රභාත් එක්නැලිගොඩ. දඟ පන්දුවට නැවත පැමිණීම ඔහුගේ ක්‍රීඩා දිවිය යළි ප්‍රාණවත් කර තිබෙනවා පමණක් නොව එහි දිගුකල් පැවැත්මක් ද තහවුරු කර තිබෙනවා.

කළුගමගේ උස් මහත් වෙද්දී ඔහු‌ගේ වීරයින් වූයේ අරවින්ද ද සිල්වා හා සනත් ජයසූරිය. පා දඟ පන්දු යවන්නෙකු වශයෙන් නිර්මාණාත්මක ක්‍රීඩාවක් සඳහා ඔහු බැලුවේ ෂේන් වෝන්, වනිඳු හසරංග හා රෂිඩ් ඛාන් දෙස. මේ ලෝක කුසලාන තරගාවලියට පෙර කළුගමගේ මාසයක කාලයක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ‘නෙට්’ පන්දු යවන්නෙකු ලෙස ගතකළේ, ඉතාලියේ ශීත සෘතුවේදී එළිමහනේ පුහුණුව සීමිතව තිබෙන කාලයේ මෙසේ පුහුණු වීමට ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින්. 


හසරංගව මුණගැසී ඔහුගෙන් උපදෙස් ලබා ගැනීමට ඔහුට අවස්ථාව උදාවුනේ එහිදීයි. “ඇත්ත වශයෙන්ම අපේ පන්දු යැවීමේ ඉරියව් බොහොම සමානයි” කළුගමගේ කියනවා.
 
kalu 3
පසුගිය වසරේ ඩුබායි හිදී අයර්ලන්තය ට එරෙහිව පැවති තරගමාලාව අතරතුර ඔහුට රෂිඩ් ඛාන් ද හමුවුණා. එහිදී ඔහු ‘ගුග්ලි’ පන්දු යැවීම ගැන පෞද්ගලික තොරතුරු කළුගමගේ ට ලබා දී තිබෙනවා. එම තරගමාලාවේ චමත්කාරජනක ක්‍රීඩාවක යෙදුනු කළුගමගේ අයර්ලන්තය ට එරෙහි ඉතාලියේ එදා මෙදා තුර පළමු ජාත්‍යන්තර T20 ජයග්‍රහණයේ කඩුලු තුනක් ඇතුළුව තරග තුනකදී කඩුලු හතරක් ලබා ගත්තා.
 
කළුගමගේ ට සැමවිටම උවමනා වූ පරිදි ක්‍රිකට් විසින් දැන් ඔහුව නිර්වචනය කරනු ලැබූවත් ඔහු කරන හැම දෙයක්ම ක්‍රිකට් පමණක් කර ගැනීමට හැකියාවක් නැහැ. “ඉතාලියේදී මට රස්සාවල් ගොඩක් තිබුණා. නමුත් ක්‍රිකට් නිසා මට රැකියාවල් බෙහොමයක් අත්හරින්න සිද්ධ වුනේ තරගාවලියන් පැවැත්වෙන කාලය අතරතුර මට නිවාඩු දෙන්න බැහැ කියලා ඔවුන් කියපු නිසා.”
 
kalu 4
ඔහු දැන් සඳුදා සිට සෙනසුරාදා දක්වා ලූකා නගරයේ La Vita පීට්සාහලේ රැකියාව කරනවා. ඉරිදා දිනවල පුහුණුව පිණිස උදෙන්ම රෝමයට යන ඔහු බොහො සවස් වී නැවත පැමිණෙනවා. මේ අතරතුර තිබෙන කාලයේදී ඔහු ජිම්නේසියමේ ව්‍යායාම්වල හා දිවීමේ යෙදෙන්නේ තමාගේ ශරීර යෝග්‍යතාව පවත්වාගන යාමටයි.
 
අනාගතයේදී ක්‍රිකට් ක්‍රීඩාව පූර්ණ කාලීන රැකියාවක් කරගැනීමට කළුගමගේ අපේක්ෂා කරනවා. “දැනට මගේ ප්‍රධාන රස්සාව තියෙන්නේ රෙස්ටෝරන්ට් එකේ” ඔහු ප්‍රකාශ කරනවා. “ලෝක කුසලාන තරගාවලියෙන් පස්සේ, වෙන කොහේ හරි ක්‍රීඩා කරන්න චාන්ස් එකක් ලැබෙයිද කියලා අපි බලමු. අනාගතය ක්‍රිකට් පමණක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.”
 
34 වැනි වියේ පසුවන ක්‍රිශාන් කළුගමගේ ට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් ක්‍රීඩා කිරීම සඳහා ඉන්දියා උපමහාද්වීපයට නැවත පැමිණීමට හැකිවීම ඔහුගේ ක්‍රීඩා දිවියේ උත්කෘෂ්ට තත්ත්වය නිරූපණය කරනවා. දිනෙක පුහුණුකරුවෙකු වී ක්‍රිකට් ක්‍රීඩාව සමග  සමීපව රැඳී සිටීමට ඔහු බලාපොරොත්තු වෙනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...