‘සුපිරි අට’ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු තරගය හෙට (22) පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන්නේ එංගලන්තය ට එරෙහිව. මෙය එංගලන්ත කණ්ඩායම ඔවුන්ගේ ජයග්‍රාහී දඩබිමට නැවත පැමිණීමක්. පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ මේ මස මුලදී එංගලන්තය තරග 3-0කින් ශ්‍රී ලංකාව ට එරෙහිව ජාත්‍යන්තර T20 තරගමාලාවක් ජයග්‍රහණය කළා.
“අපි ආයෙත් එන්නේ මීට සති කිහිපයකට පෙර අපට විදේශීය යැයි හැඟුනු, එහෙත් තරග තුනක් පැවැත්වෙද්දී හොඳින් හඳුනා ගත් දේශගුණික තත්ත්වයකට” යනුවෙන් එංගලන්ත වමත් පිතිකරු ජේකබ් බෙතල් පවසනවා. “අපි ශ්‍රී ලංකාව 3-0කින් පරාජය කළා. ඒ නිසා අපි නැවත ලෝකයේ මේ ප්‍රදේශයට එන්නේ නිශ්චිතවම ලොකු විශ්වාසයක් ඇතුවයි. මෙතනින් තමයි නියම තරගාවලිය ඇරඹෙන්නේ.”
හැරී බෲක්ගේ කණ්ඩායම ඔවුන් විනෝදයක් ලැබූ මහනුවර පල්ලෙකැලේ දඩයම් පිටියට යළි පිවිස සිටින්නේ මේ ලෝක කුසලාන තරගාවලියේ ඔවුන්ගේ සියලුම මූලික තරග ඉන්දියාවේ මුම්බායි හා කොල්කටා ක්‍රීඩාංගණවල ක්‍රීඩා කිරීමෙන් පසුව.

මේ තරගාවලිය ආරම්භ වීමට පෙර ඉන්දියාව ට පිටුපසින් ජනප්‍රියත්වයෙන් වැඩිම කණ්ඩායමක් ලෙසින් සිටි එංගලන්තය ඔවුන්ගේ පළමු වටය පසුකළේ අපහසුවෙන්. එහිදී ඔවුන් මුහුණ දුන් එකම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන කණ්ඩායම වන බටහිර ඉන්දීය කොදෙව් පිලට පහසුවෙන් පරාජය වූ එංගලන්තය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ අනුබද්ධිත කණ්ඩායම් වන නේපාලය, ස්කොට්ලන්තය හා ඉතාලිය ට එරෙහිව ලබා ගත්තේ විශ්වාසය ඇති කරන ජයග්‍රහණ නෙවෙයි.
එහෙත් 2022 ශූරයින් වන එංගලන්ත කණ්ඩායම තුළ ජයග්‍රහණයේ පිපාසය තවමත් තිබෙන බව බෙතල් ප්‍රකාශ කරන්නේ තම කණ්ඩායමේ දුර්වල මූලික තරග වට මෙහෙයුමේදී ඔවුන්ගේ ක්‍රීඩාව සාමාන්‍ය තත්ත්වයට වඩා පහතින් තිබූ බව පිළිගනිමින්.
“පිටියට ගිහිං ක්‍රීඩකයින්ව ඔවුන්ගේ හැකියාවේ උපරිමයට තල්ලු කරන්න අවශ්‍ය උද්වේගය පැහැදිලිවම අපි හැමෝම ළඟ තියෙනවා කියලා මම හිතනවා” යනුවෙන් බෙතල් කියනවා.

මේ තරගාවලිය අතරතුර රූපවාහිනියෙන් තරග බොහොමයක් නැරඹූ බව කී බෙතල් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකගේ පිතිහරඹය තම සිතට තදින් කාවැදුනු බව සඳහන් කරනවා. ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාව පරාජය කරද්දී නිස්සංක මෙවර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ප්‍රථම ශතකය වාර්තා කළා.
“නිස්සංක ක්‍රීඩා කළේ විශ්වාස කළ නොහැකි අයුරින් කියලා මම හිතනවා” බෙතල් පවසනවා. “එයා අපට එරෙහිවත් ඉනිම ආරම්භ කළේ ප්‍රබල පහර කිහිපයකින්. ඔස්ට්‍රේලියාව ට එරෙහි පිතිහරඹයෙන් නිස්සංක එයාට ඇත්තටම කරන්න පුළුවන් දේ පෙන්නුම් කළා.”
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com





