පාකිස්තාන හොකී සම්මේලනය විසින් කණ්ඩායමේ හෝටල ගාස්තු ගෙවා නොතිබූ බැවින් ක්‍රීඩකයින්ට සිදුවුනේ මිල අඩු වෙනත් ස්ථානයක ලැගුම් ගෙන එහි මුළුතැන්ගෙය පිරිසිදු කරමින්, පිඟන් සෝදමින්, වීදිවල ඉබාගාතේ යාමටයි.
මේ සිදුවීමෙන් මහත් කලකිරීමට පත් පාකිස්තාන හොකී නායක අම්මාද් ෂකීල් බට් ලාහෝර් ගුවන් තොටුපලට පැමිණීමෙන් පසුව ජාතික හොකී සම්මේලනය පිළිබඳව කේන්තියෙන් කතා කරමින් වර්තමාන කළමනාකාරිත්වය යටතේ ක්‍රීඩකයන්ට වැඩ කළ නොහැකි බව කියා සිටියා.

“අපට දැන් ඉන්න සම්මේලනයේ කළමනාකාරිත්වයත් එක්ක වැඩ කරන්න බැහැ” බට් වාර්තාකරුවන්ට පැවසුවා.
“තරගයක් ක්‍රීඩා කරන්න යාමට පෙර ක්‍රීඩකයන්ට කුස්සිය සුද්ධ කරලා පිඟන් හෝදන්න සිද්ධ වෙනවා නම්, ඔබ ඔවුන්ගෙන් බලාපොරොත්තු වන්නේ කුමන ආකාරයේ ප්‍රතිඵලයක් ද?” යනුවෙන් ඔහු ප්‍රශ්න කළා.
මාධ්‍යයට කතා කළහොත් විනයානුකූල පියවර ගන්නා බවට ක්‍රීඩකයින්ට තර්ජනය කර තිබූ බව ද බට් පැවසුවා. හොඳ ක්‍රීඩකයින් රොත්තක් කණ්ඩායමේ සිටියත්, ඔවුන්ට හොඳ පුහුණුකරුවෙක් හා කළමනාකාරිත්වයක් අවශ්‍ය බව ඔහු සඳහන් කළා.
“මම මෙහෙම කතා කරන්නේ අපට ඔස්ට්‍රේලියාවේදී මුහුණ දෙන්න සිදුවූ දේවල් නිසායි” බට් කීවා.
“අපට ඉදිරියට යන්න නම් විදෙස් පුහුණුකරුවෙක් අවශ්‍යයි. අපට ක්‍රීඩකයන්ගේ හොඳ සංයෝජනයක් තියෙනවා. නමුත් අපට ඉදිරියට යන්න නම් විදෙස් පුහුණුකරුවෙක් සහ හොඳ කළමනාකාරිත්වයක් අවශ්‍යයි.”
නායකයාට දෙවසරක තහනමක්
මේ ප්‍රකාශයන්ගෙන් පසුව පාකිස්තාන හොකී සම්මේලනය විසින් නායක අම්මාඩ් බට් ට දෙවසරක ක්‍රීඩා තහනමක් පනවා තිබෙන්නේ ක්‍රීඩකයින් හා හොකී ක්‍රීඩා ලෝලීන් කෝපයට පත් කරමින්.
පාකිස්තාන හොකී කණ්ඩායම පිටියේ මෙන්ම ඉන් පිටතදීත් ලජ්ජාවට පත්වුණා. ඔවුන් ඔස්ට්‍රේලියාව හා ජර්මනියට තරග පරාජය වෙද්දී පුවත්පත්වල ප්‍රධාන සිරස්තල බවට පත්වුනේ පිටියෙන් පිටත ඇතිවූ මතභේදයන්.

කැන්බරා බලා යාමට පෙර කණ්ඩායම සිඩ්නි ගුවන් තොටුපලේදී පැය 12-13ක් අතරමංව සිටියා. අනතුරුව නගරයට සේන්දු වීමෙන් පසුව ක්‍රීඩකයින්ට ඔවුන්ගේ ගමන් මළු ද රැගෙන මාර්ගවල රස්තියාදු වීමට සිදුවුනේ මුදල් නොගෙවීම නිසා ඔවුන්ගේ හෝටල වෙන්කරවා ගැනීම් අවලංගු කර තිබූ බැවින්. වීදිවල පැය ගණන් ගත කිරීමෙන් පසුව, ක්‍රීඩකයන්ට දින 10කට පමණක් Airbnb නවාතැන් ලබා දී තිබුණා. මේ, දින 13ක ගමනක් වෙනුවෙන්. එහිදී තමන්ගේ ආහාර තමන් විසින්ම පිසගෙන හැළි වළං සෝදා ගැනීමට ඔවුන්ට සිදුවුණා. ඉන්පසුව මේ ක්‍රීඩකයින්ව සංචාරය මැදදී තවත් මිල අඩු ස්ථානවලට මාරු කර තිබෙනවා.
හොකී සභාපති ඉල්ලා අස්වෙයි
ටරික් බග්ටිපාකිස්තාන හොකී නායකයාට දෙවසරක තහනමක් පැනවීමෙන් පසුව පාකිස්තාන හොකී සම්මේලනයේ සභාපති ටරික් බග්ටි ද ඔහුගේ තනතුරෙන් ඉවත්ව තිබෙන්නේ පාකිස්තාන ක්‍රීඩා මණ්ඩලයේ තිබෙන කළමනාකාරිත්වයේ ගැටළු කිහිපයක් අවධානයට ලක් කරමින්. සීමිත සම්පත් තිබියදීත් හොකී සම්මේලනය කණ්ඩායමේ සංචාරක හා අනෙකුත් සියලු කටයුතු වෙනුවෙන් සැලසුම් නියමාකාර ලෙස සකස් කර තිබූ බව ද ඔහු කියනවා. මේ සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම පිණිස කමිටුවක් පත්කරන ලෙස ට ද ඔහු අගමැති ෂෙබාස් ෂරිෆ්ගෙන් ඉල්ලා තිබෙනවා.
කෙසේ වෙතත්, පාකිස්තාන හොකී සම්මේලනය දැන් අසීරු තත්ත්වයකට පත්ව සිටින්නේ ඔස්ට්‍රේලියාවේදී විශේෂයෙන් කණ්ඩායමේ හෝටල වියදම් වෙනුවෙන් රුපියල් මිලියන 10ක (ඩොලර් 36,000ක් පමණ) මුදලක් නිදහස් කළ බවට පාකිස්තාන ක්‍රීඩා මණ්ඩලය ස්ථිර කර තිබෙන නිසා.
ක්‍රීඩකයින්ගේ සහායට මෝසින් නක්වි එයි
මේ අතර, පාකිස්තානයේ අභිමානය අපකීර්තියකට පත්වීමට ඉඩ නොදෙන බව කියමින් පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ සභාපති මෝසින් නක්වි පාකිස්තාන හොකී කණ්ඩායමට සහාය වීම පිණිස ඉදිරිපත්ව සිටිනවා. පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය හැකි සෑම අයුරකින් ම හොකී කණ්ඩායමට උපකාර කරන බව පාකිස්තානයේ අභ්‍යන්තර කටයුතු ඇමතිවරාය ද වන නක්වි ප්‍රකාශ කර තිබෙනවා.
ක්‍රීඩාව ගැන පමණක් අවධානය යොමු කරන ලෙසත් කළමනාකරණ ප්‍රශ්න පිළිබඳව කරදර නොවන ලෙසත් ඔහු ක්‍රීඩකයින්ට කියා තිබෙනවා.

“ඔබ අවධානය යොමු කළ යුත්තේ ක්‍රීඩාව ගැන පමණයි. සියල්ලටම පෙර තිබෙන්නේ පාකිස්තානයේ නම්බුවයි. කිසිම තත්ත්වයක් යටතේ පාකිස්තානයේ අභිමානයට අපකීර්තියක් වෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ” යනුවෙන් නක්වි පවසා තිබෙනවා.
තමා හොකී සම්මේලනය අත්පත් කර නොගන්නා බවත් මේ අර්බුදයේදී තමා ඔවුන්ට පිහිට වන බවත් නක්වි පසුව සමාජ මාධ්‍යයෙන් පැහැදිලි කළා. “මම හොකී සම්මේලනයේ සභාපති වෙන්නේ නැහැ. නමුත් මේ අර්බුදය අවසන් වනතෙක් අපි ක්‍රීඩකයින්ට උදවු කරනවා” යනුවෙන් ඔහු X වේදිකාවේ සටහන් කර තිබෙනවා.
පළව තිබෙන වාර්තාවලට අනුව, පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය හොකී ක්‍රීඩකයින්ට මුදල්මය සහාය ලබා දී තිබෙනවා. ජාතික කණ්ඩායමේ සෑම ක්‍රීඩකයෙකුට ම පාකිස්තාන රුපියල් මිලියනයක් ලැබුනු බව වාර්තා වනවා.
පළව තිබෙන වාර්තාවලට අනුව, පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය හොකී ක්‍රීඩකයින්ට මුදල්මය සහාය ලබා දී තිබෙනවා. ජාතික කණ්ඩායමේ සෑම ක්‍රීඩකයෙකුට ම පාකිස්තාන රුපියල් මිලියනයක් ලැබුනු බව වාර්තා වනවා.
අම්මාද් ෂකීල් බට්තමාට පැනවූ තහනම ඉවත් කෙරෙනු ඇති බවත් ළඟ එන හොකී ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගවලට සූදානම් වීම පිණිස ලාහෝර් නගරයේ පුහුණු කඳවුරක් පැවැත්වීම සඳහා පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය උපකාර කරනු ඇති බවත් පාකිස්තාන හොකී නායකයා පසුව ප්‍රකාශ කර තිබෙනවා.

(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com




