ඔවුන් ගුවන් ගමන් ප්‍රවේශ පත්‍ර වෙන්කරවා ගත යුත්තේ ඉන්දියාව බලා යාමට ද, එසේත් නැත්නම් තමන්ගේ ගමන් මළු අසුරාගත යුත්තේ යළි සියරට බලා යාමට ද යන්න තීරණය වන්නේ ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර අද රාත්‍රියේ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ‘සුපිරි අට’ තරගයේ ප්‍රතිඵලයෙන්.
නවසිලන්තය ට එරෙහි එංගලන්තයේ ජයග්‍රහණයට ස්තූතිවන්ත වන්නට පාකිස්තානය තවමත් තරගාවලියේ ප්‍රාණවත්ව සිටිනවා. නමුත් ලකුණු ලබා ගැනීමේ ශුද්ධ වේගය මත නවසිලන්තය අභිබවා ගොස් අවසන් පූර්ව වටයේ ස්ථානයක් ලබා ගැනීමට නම් පාකිස්තානය ට අද ශ්‍රී ලංකාව ට එරෙහිව විශාල ජයග්‍රහණයක් අවශ්‍යව තිබෙනවා.
පාකිස්තානය පළමුව පන්දුවට පහර දුන්නොත් ඔවුන් ලකුණු 65කින් තරගය ජයගත යුතු වනවා. ඔවුන් ඉලක්කය හඹා ගියොත් එය ඕවර 13.1ක් ඇතුළත සම්පූර්ණ කළ යුතු වනවා. පාකිස්තානය ට නවසිලන්තය අභිබවා යාමට හැකිවන්නේ මේ දෙආකාරයෙන් පමණයි.
ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා නවසිලන්තය ට ඊයේ රාත්‍රියේ කොළඹදී ජයග්‍රහණයක් අවශ්‍යව තිබුණා. එහෙත් එංගලන්තය ට තිබුනේ වෙනත් සැලසුම්. තමන්ගේ පරිපූර්ණ ‘සුපිරි අට’ වාර්තාව පවත්වා ගෙන යාමේ උවමනාවෙන් සිටි ඔවුන් තියුණු අවසන් ඕවරයේ ජයග්‍රහණයකින් ඔවුන්ගේ දෙවැනි වටයේ මෙහෙයුම අවසන් කළා.
එංගලන්තය ට එරෙහි තරගයේදී නවසිලන්තය ශක්තිමත්ව සිටි අවස්ථා දෙකක් ම අපතේ හැරියා. ඕවර 14කින් පසුව ඔවුන් කඩුලු 3ක් දැවී ලකුණු 123ක් රැස් කරගෙන සිටියත් ඊළඟ ඕවර හයේදී ලබා ගත්තේ පන්දුවකට ලකුණක් බැගින් වූ වේගයකින් ලකුණු 36ක් පමණයි.

පසුව, ඔවුන් එංගලන්තය 117/6කට හිරකර ගෙන සිටියේ පන්දු 18කින් ලකුණු 43ක් අවශ්‍ය වන ආකාරයට. නමුත් එංගලන්තය පන්දු තුනක් සහ කඩුලු හතරක් ඉතිරි කරගෙන ජය රේඛාව පසු කිරීමට සමත් වුණා.
ජාතික ගීය ගැයෙද්දී නවසිලන්ත ක්‍රීඩකයෝ සිනාසෙති
මේ අතර, එංගලන්තය ට එරෙහි සිකුරාදා රාත්‍රියේ තරගයට පෙර සිදුවූ ලොකු වැරැද්දක් නිසා නවසිලන්ත ක්‍රීඩකයින්ගේ පුදුමය ඉක්මනින් ම සිනහසීමක් බවට පත්වුණා. God Defend New Zealand නමැති නවසිලන්තයේ ජාතික ගීය වේගයෙන් වාදනය වෙද්දී ක්‍රීඩකයින් ඒ රිද්මය අල්ලා ගැනීමට උත්සාහ කරන විට කයිල් ජැමීසන්, ෆින් ඇලන්, ජේම්ස් නීශාම් සහ අනෙක් ක්‍රීඩකයින්ට සිනහව නතර කිරීමට නොහැකි වුණා.

තැටිය වාදනය කළ උපකරණය හදිසියේ ක්‍රියා විරහිතවීමට ස්තූතිවන්ත වන්නට ක්‍රීඩකයින් කෙළින් මුහුණක් දරා සිටීමට වෙහෙසුනු අතර කැමරාව තමන් පසුකර ගිය සැණින් නීෂාම් සිනාසෙන්නට පටන් ගත්තා. ජාතික ගීය වැරදි වේගයෙන් දිගටම වාදනය වීම නිසා තත්ත්වය වඩා නරක් වෙද්දී නවසිලන්ත කණ්ඩායමේ පසුබිමේ කාර්ය මණ්ඩලය ද සිනාසෙමින් සිටින අයුරු කැමරාවලට හසුවුණා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ (ICC) තරගාවලියක් මෙවැනි ප්‍රමාද දෝෂයක් අත් විඳිනු ලැබූ ප්‍රථම අවස්ථාව මෙය නෙවෙයි. ලාහෝර් නුවර පැවති 2025 චැම්පියන්ස් කුසලාන තරගාවලියේ මූලික වට තරගයකදී පාකිස්තානයේ ජාතික ගීය වෙනුවට ඉන්දියාවේ ජාතික ගීය වැරදීමකින් මොහොතකට වාදනය වුණා. මේ සම්බන්ධයෙන් ICCයෙන් ප්‍රශ්න කිරීමට පවා පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය පෙලඹුනා.
ඩුබායි හි පැවති 2025 ආසියානු කුසලාන තරගාවලියේදී ඉන්දියාව ට එරෙහි පාකිස්තාන තරගයට පෙර පාකිස්තානයේ ජාතික ගීය වෙනුවට බොලිවුඩ් ගීතයක් අතපසුවීමකින් වාදනය කෙරුණා.
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com




