බොස්නියාව හා හර්සගොවිනා සහ ඉතාලිය අතර බොස්නියාවේ සෙනිකා නුවර Bilino Polje ක්‍රීඩාංගණයේ මාර්තු 31 වැනිදා පැවති ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තීරණාත්මක තරගය වෙනුවෙන් සේවයේ යොදවා සිටි, පිටියෙන් පිටතට යන බෝල අහුලා දෙන්නන් අතරේ අෆාන් සිස්මික් (Afan Cizmic) ද සිටියා.
ඔහු අද අනපේක්ෂිත වීරයෙක් බවට පත්ව සිටිනවා. ඊට හේතුව වී තිබෙන්නේ, පෙනල්ටි එල්ල කිරීම ආරම්භ වීමට මොහොතකට පෙර ඔහු ඉතාලි ගෝල් රකින්නා වූ ජලුඊජී ඩොන්නාරුම්මා (Gianluigi Donnarumma)ගේ පෙනල්ටි ප්‍රහාර සටහන් සඟවා තබා ගැනීමයි.
පෙනල්ටි ප්‍රහාරය ආරම්භ වීමට පෙර පිටියේ පැති රේඛාවල ස්ථානගතව සිටි සිස්මික්, එම ප්‍රහාර එල්ල වීමට මොහොතකට පෙර ඩොන්නාරුම්මා තුවායකට යටින් කඩදාසි කොළයක් රඳවා ගෙන සිටින අයුරු දුටුවා. එහි අඩංගුව තිබෙන්නේ බොස්නියානු පෙනල්ටි ප්‍රහාරකයන්ගේ තොරතුරුවල සටහන් බව වටහා ගත් ඔහු එම කඩදාසිය රැගෙන ගෝල්කණුවෙන් ඉවතට පළා ගියා.
පෙනල්ටි ප්‍රහාරය ක්‍රියාත්මක වෙද්දී ඩොන්නාරුම්මා ඔහු මුහුණ දුන් පෙනල්ටි හතරෙන් එකක් හෝ බේරා ගැනීමට අසමත් වූ අතර ඔහුගේ කණ්ඩායමේ සගයන්ට ද ඔවුන්ගේ පෙනල්ටි තුනක් නිවැරදිව එල්ල කිරීමට නොහැකි වුනේ බොස්නියාව ට ගෝලීය පාපන්දු තරගාවලියේ ස්ථානයක් හිමිකර දෙමින්.
සිස්මික්ගේ පුංචි උප්පරවැට්ටිය අවසාන ප්‍රතිඵලයට බලපෑමක් කළා ද යන්න දැනගන්නට නැතත්, මේ නව යොවුන් වියේ පසුවන කොල්ලා වීරයෙකු ලෙස බොස්නියාවේ පිළිගෙන තිබෙන අතර ඔහුව ලෝක කුසලාන තරගාවලියට කැඳවා ගෙන යන ලෙසට ක්‍රීඩා ලෝලීන් ජාතික කණ්ඩායමට බලකර සිටිනවා.
සිස්මික් ට දැන් පාපන්දු උත්සවයන්ට ආරාධනා ලැබෙනවා. ජාත්‍යන්තර මාධ්‍ය ඔහු සමග සම්මුඛ සාකච්ඡා පවත්වනවා. පිට පිට තෙවැනි වරටත් ලෝක කුසලාන තරගාවලිය අහිමි වූ එකම හිටපු ශූරයින් ඉතාලිය බවට තහවුරු කරමින් බොස්නියාව ඉතිහාසය නිර්මාණය කළ ක්‍රීඩාංගණයේදී ඔහුගේ ඡායාරූප ගන්නවා.
කඩදාසිය දුටු මොහොත මෙනෙහි කරන සිස්මික්, මුලදී තමා පසුබට වූවත් අවසානයේදී තමාගේ ඉව අනුව ක්‍රියා කිරීමට තීරණය කළ බව පවසනවා.
“එයා ඒ කඩදාසිය තියපු තැනත්, ඔහු ඒකෙන් කියවන හැටිත් මම දැක්කා. ඒක ගන්න ඔ්නද නැද්ද කියලා මම කල්පනා කළා. ඊට පස්සේ වෙන දෙයක් වෙච්ච දෙන් කියලා හිතාගෙන මම ඒක ගත්තා” යනුවෙන් ඔහු Anadolu නමැති තුර්කි ප්‍රවෘත්ති ඒජන්සියට කියා තිබෙනවා.
සිස්මික් එතැනින් පිටව ඇවිද යන අයුරු ඩොන්නාරුම්මා දුටුවේ නැහැ. එහෙත් තමාගේ සටහන් කඩදාසිය සොයා ගැනීමට නොහැකි වෙද්දී දැඩි කෝපයට පත් ඉතාලි ගෝල් රකින්නා ඊට එකට එක කිරීමක් වශයෙන් ප්‍රතිවාදී ගෝල් රකින්නාගේ පෙනල්ටි ප්‍රහාර සටහන් උදුරා ගැනීමට තැත් කළා.
තමාගේ උපක්‍රමයෙන් තරගයට දැඩි බලපෑමක් සිදුවූ බවට ඩොන්නාරුම්මාගේ ඉච්ඡාභංගයෙන් තහවුරු වූයේ යැයි සිස්මික් විශ්වාස කරනවා.
“ඔහු කෝප වී ඔහුගේ අවධානය නැතිව ගිය නිසා මම සතුටු වුනා” යනුවෙන් සිස්මික් ප්‍රකාශ කරනවා.
බොස්නියාවේ ජයග්‍රහණයෙන් පැය ගණනකින් පසුව සිස්මික්ගේ ක්‍රියාව සමාජ මාධ්‍යවල මෙන්ම ජාතික ප්‍රවෘත්තිවල ද සංවාදයන්ට මාතෘකාව වුනා.
මිශ්‍ර ප්‍රතිචාර තිබියදීත් ඔහු විවේචන බැහැර කළේ ඔ්නෑම ක්‍රීඩා ලෝලියෙක් එසේ ක්‍රියා කරනු ඇතැයි පවසමින්.
“අපි ඉතාලියේ ක්‍රීඩා කරමින් සිටියා නම්, කවුරු හරි කෙනෙක් අපේ ගෝල් රකින්නාටත් ඒ දෙයම කරන්න ඉඩ තිබුනා” ඔහු කියනවා.
දැන් බොස්නියාවේ ජනප්‍රිය පුද්ගලයෙකු බවට පත්ව සිටින මේ බෝල අහුලා දෙන්නා මහත් ආඩම්බරයෙන් යුතුව ඒ කඩදාසිය ප්ලාස්ටික් කවරයක දමාගෙන සිහිවටනයක් ලෙස රැගෙන යමින් සිටින්නේ මාධ්‍ය ඉදිරියේ පෙනී සිටින අවස්ථාවලදීත් එය ප්‍රදර්ශනය කරමින්. ඒ සටහන් කඩදාසි කොළය වෙන්දේසි කරන බවත් එයින් ලැබෙන සියලු මුදල් සුභසාධන කටයුතුවලට ලබා දෙන බවත් ඔහු ප්‍රකාශ කරනවා.
දේශීය පාපන්දු සමාජයක් වන Celik Zenica හි යොවුන් ක්‍රීඩකයෙකු වන සිස්මික් දිනෙක බොස්නියානු ජාතික පාපන්දු කණ්ඩායමේ ජර්සිය පැළඳීමට සිහින මවනවා.
තමා පුත්‍රයා ගැන ආඩම්බර වන බව පවසන පියා, බෝල අහුලා දෙන්නන් (Ballboys) යනු නරඹන්නන් පමණක් නොවන බවත් ඔවුන්ට තරගවල රිද්මයට හා ප්‍රතිඵලයට ද බලපෑමක් ඇති කිරීමට හැකි බවත් අවධාරණය කරනවා.
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com




