“හෙට හෝ අනිද්දා, අපි FIFA (ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය) සමග තීරණාත්මක සාකච්ඡාවක් පවත්වනවා. ඔවුන් අපට සහතිකවීමක් ලබා දිය යුතුයි. මොකද, වීසා ප්‍රශ්නය තවමත් විසඳිලා නැහැ” යනුවෙන් ඉරාන පාපන්දු සම්මේලනයේ සභාපති මෙහ්ඩි ටාජ් පවසනවා.
“වීසා ලබා දී ඇත්තේ කාටද කියලා අපට අනෙක් පැත්තෙන් කිසිම විස්තරයක් ලැබිලා නැහැ. තවමත් කිසිම වීසාවක් නිකුත් කරලා නැහැ” යනුවෙන් ඔහු කියා සිටිනවා.
මෙහ්ඩි ටාජ්ටාජ් ට අනුව, වීසා ක්‍රියාවලියේ කොටසක් ලෙස ඇඟිලි සලකුණු ලබා දීම පිණිස ක්‍රීඩකයින් තුර්කියේ ඇංකරා අගනුවරට යාමට නියමිතව තිබෙනවා.
“ඇඟිලි සලකුණු ලබා දීම සඳහා ක්‍රීඩකයින් ඇංකරා නගරයට යා යුතුයි. නමුත් අපි මෙය ඇන්ටාලියා නුවරදී කර ගැනීමට උත්සාහ කරමින් සිටින්නේ එවිට අපට ඇංකරාවලට සංචාරය කිරීමට අවශ්‍ය නොවන බැවින්” ටාජ් කියනවා.
මේ අතර, ඉරානයේ නියෝජ්‍ය විදේශ ඇමතිවරයා ප්‍රකාශයක් කරමින්, කණ්ඩායමක් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම වැළැක්වීම සඳහා සත්කාරක රටට දේශපාලනික අර්බුද, සම්බාධක පැනවීම හෝ ඔවුන්ගේ ඒකපාර්ශ්වික දේශීය ප්‍රතිපත්ති තීරණ යොදා ගත නොහැකි බව සඳහන් කරනවා.

“ඉරානය ඇතුළු තරගාවලියට සුදුසුකම් ලැබූ සියලුම කණ්ඩායම්වලට වෙනස්කම් කිරීමකින් හෝ බාධාවකින් තොරව සත්කාරක රටට ඇතුළු වීමට හැකි බවට සහතිකවීමක් ලබා දීමට සංවිධායක මණ්ඩලයට බැරි නම්...ලෝක කුසලානයේ කීර්තියට හානියක් සිදුවේවි” යනුවෙන් නියෝජ්‍ය ඇමතිවරයා X වේදිකාවේ සටහන් කර තිබෙනවා.

අමෙරිකාවේ සහයෝගය ලැබූ ෂා රජ බලයෙන් පහකෙරුනු ඉස්ලාමීය විප්ලවයෙන් පසුව 1980 වසරේදී හටගත් අමෙරිකානු තානාපති කාර්යාලයේ ප්‍රාණ ඇපකරුවන්ගේ අර්බුදයේ සිට මේ දක්වා ටෙහෙරානය හා වොෂිංටනය අතර තානාපති සබඳතා පවත්වා නැහැ.
ඉරානය ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සූදානම් වෙමින් සිටින ඔවුන්ගේ ජාතික කණ්ඩායම සඳහා පිටත්ව-යාමේ උත්සවයක් බදාදා පැවැත්වූවා. ඉරාන කණ්ඩායම තරගාවලිය අතරතුරේ නතරව සිටින්නේ ඇරිසෝනාවේ ටූසාන් නගරයේ.




(සටහන : වර්නන් ගුණසේකර)