The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ක්‍රිස් ගේල් අභිභවා ගිය ‘විශ්වයේ බබා බොස්’ ට තවත් වාර්තාවක් නූලෙන් මඟ හැරෙයි

T

The Leader Desk

May 28, 2026 • 12:03 PM

ක්‍රිස් ගේල් අභිභවා ගිය ‘විශ්වයේ බබා බොස්’ ට තවත් වාර්තාවක් නූලෙන් මඟ හැරෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දිනපතා ම පාහේ වාර්තා බිඳ දමමින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්ෂේත්‍රයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව සිටින ඉන්දියාවේ 15 හැවිරිදි වයිභව් සූර්යවන්ශි දැන් තනි IPL (ඉන්දියා ප්‍රිමිය ලීග්) තරගාවලියක වැඩිම හයේ පහර සංඛ්‍යාවේ නව වාර්තාවක් පිහිටුවා තිබෙනවා.
  • රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු සූර්යවන්ශි ඊයේ සන්රයිසර්ස් හයිදරාබාද් පිලට එරෙහිව පැවති IPL ‘කණ්ඩායම් ඉවත් කිරීමේ’ තරගයේදී බිඳ දැමුවේ ගේල් 2012 IPL තරගාවලියේදි හයේ පහර 59ක් එල්ල කරමින් තබා තිබූ වාර්තාව.
  • සූර්යවන්ශි දැන් මේ තරග වාරයේ හයේ පහර 65ක් සටහන් කර තිබෙනවා.
  •   සූර්යවන්ශි හයේ පහර 12ක් සහ හතරේ පහර 5ක් සමග පන්දු 29කින් ලකුණු 97ක් රැස් කිරීමට සමත් වුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු විසින් මකා දමා තිබෙන්නේ බටහිර ඉන්දීය කොදෙව් හිටපු ප්‍රවේගකාරී පිතිකරු ක්‍රිස් ගේල් වසර 14කට ඉහත පිහිටුවා තිබූ වාර්තාව.

රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු සූර්යවන්ශි ඊයේ සන්රයිසර්ස් හයිදරාබාද් පිලට එරෙහිව පැවති IPL ‘කණ්ඩායම් ඉවත් කිරීමේ’ තරගයේදී බිඳ දැමුවේ ගේල් 2012 IPL තරගාවලියේදි හයේ පහර 59ක් එල්ල කරමින් තබා තිබූ වාර්තාව. සූර්යවන්ශි දැන් මේ තරග වාරයේ හයේ පහර 65ක් සටහන් කර තිබෙනවා.

1a5d5dd0 32b2 11f1 8551 ebe7c5dd79d2

 

සූර්යවන්ශි හයේ පහර 12ක් සහ හතරේ පහර 5ක් සමග පන්දු 29කින් ලකුණු 97ක් රැස් කිරීමට සමත් වුණා. ඔහුට ක්‍රිස් ගේල් ගේ එදා මෙදා තුර වේගවත්ම IPL ශතකය අභිභවා යාම සඳහා අඩු වුනේ එක පන්දුවක් හා ලකුණු 3ක් පමණයි. ගේල් පූනේ වොරියර්ස් කණ්ඩායමට එරෙහිව එම ශතකය සටහන් කර තිබෙන්නේ පන්දු 30කින්.

මේ ඉන්දීය නැගී එන ආක්‍රමණශීලී පිතිකරුවාගේ වික්‍රමයන් ගැන ගේල් කතා කළේ ගරුසරු ඇතිව. “අතිවිශිෂ්ටයි! වයිභව් සූර්යවන්ශි. IPLT20 තරග බිමේ අලුත්ම හයේ පහර යන්ත්‍රයක්” යනුවෙන් ගේල් ඉන්ස්ටග්‍රෑම් හි සටහන් කළා.

ගේල්, තමා උසුලන වේගවත්ම IPL ශතකයේ වාර්තාව මඟ හැරී යාම පිළිබඳව සූර්යවන්ශිව සැනසුවා. සූර්යවන්ශි මෙවර අවාසනාවන්ත වූ බවත් ඔහු අවසානයේදී එතැනට එනු ඇති බවත් ගේල් කියා සිටියා.

what
ක්‍රිස් ගේල් ගේ වේගවත්ම ශතකයේ වාර්තාව ලකුණු තුනකින් මඟ හැරුණු බවක් දැන නොසිටි බව කියන සූර්යවන්ශි, තමාගේ අවධානය යොමුව තිබුණේ හයේ පහර එල්ල කරමින් තරගය ජය ගැනීම සඳහා උපරිම ලකුණු සංඛ්‍යාවක් කණ්ඩායමට ලබා දීම කෙරෙහි බව පවසනවා.

“මම ඒක දැනගත්තේ තරගයෙන් පසුවයි. මට උවමනා වී තිබුණේ හයේ පහරක් එල්ල කරන්නයි. මම අනාගතයේදී ශතක ලබා ගනීවි. නමුත් මම අවධානය යොමු කළේ කණ්ඩායමට උපරිම ලකුණු ලබා දීමටයි. මම වැඩ කරන්නේ මගේ සැලසුමකට අනුවයි. ඒකේ මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම්, මම ඒක හදාගන්න උත්සාහ කරනවා. මම පන්දු යවන්නන් ගැන එච්චර හිතන්නේ නැහැ. මම ඔහේ මගේ ක්‍රීඩාව කරගෙන යනවා” සූර්යවන්ශි කියා සිටියා.

මේ නව යොවුන් වියැත්තා ඊයේ එල්ල කළ හයේ පහර 12 ට ඔස්ට්‍රේලියානු නායක පැට් කුමින්ස් ට එක දිගට එල්ල කළ හයේ පහර තුනක් ද ඇතුළත්ව තිබුණා. පිට පිට පන්දු හතකට හතරේ පහර එල්ල කිරීමෙන් පසුව සූර්යවන්ශි ට ක්‍රිස් ගේල් ගේ වේගවත්ම IPL ශතකයේ වාර්තාව බිඳ දැමීම සඳහා තවත් එක් පන්දුවක් ඉතිරිව තිබුන ද, ඔහු හතරේ සීමාවට ඉහළින් පහරක් එල්ල කිරීමට දැරූ උත්සාහයේදී එම උඩ පන්දුව ‘ඩීප් තර්ඩ් මෑන්’ ස්ථානයේදී රැක ගනු ලැබීම නිසා දැවී ගියා.

 

vai67
ඊට පෙර, ‌මේ ළාබාල පිතිකරුවා පන්දු 16ක අර්ධ ශතකයක් වාර්තා කරද්දී නව චන්දිගා ක්‍රීඩාංගණයේ යෝධ තිරයෙන් සූර්යවන්ශිව හැඳින්වුනේ ‘විශ්වයේ බබා බොස්’ නමින්. ක්‍රිස් ගේල්ව එදා හඳුන්වනු ලැබුවේ ‘විශ්වයේ බොස්’ ලෙසින්. සූර්යවන්ශි සටහන් කළ මේ අර්ධ ශතකය IPL පිළිමළුන් පිටුදැකීමේ වටයක සම-වේගවත්ම අර්ධ ශතකය ද වනවා.

මේ IPL ක්‍රීඩා වාරයේ සූර්යවන්ශි මේ දක්වා ඉනිම 15කදී ලකුණු 680ක් රැස් කරගෙන සිටින්නේ 45.33ක සාමාන්‍යයකින් හා 242.85ක ප්‍රහාරාත්මක වේගයකින් වන අතර ඊට එක් ශතකයක් හා අර්ධ ශතක හතරක් ඇතුළත්. ඔහු මුහුණ දී තිබෙන පන්දු 280න් හතරේ පහර 55ක් සහ හයේ පහර 65ක් එල්ල කර තිබෙනවා. ඔහු‌ පන්දු 2.3ක් බැගින් වන අනුපාතයකින් හතරේ පහරක් එල්ල කර තිබෙන අතර ඔහුගේ හයේ පහරක පන්දු අනුපාතය 4.3ක්. මේ තරග වාරයේ සූර්යවන්ශි රැස් කළ ලකුණු ප්‍රමාණයෙන් සියයට 88.9ක් ම ලබා ගෙන තිබෙන්නේ හතරේ සහ හයේ පහරවලින්.

වයිභව් සූර්යවන්ශිගේ විස්මිත දස්කම්වලින් දැන් ක්‍රිකට් වාර්තා පොත්වල පිටු පිරී තිබෙනවා. ක්‍රිකට් ලෙජන්ඩ්ස්ලා වරකට කෙනෙක් බැගින් යටපත් කරගෙන ඉදිරියට යමින් සිටින මේ ලකුණු මැෂිම මෑතකදී ශ්‍රී ලංකා පිතිකරණයේ පුරාවෘත්තයක් වන සනත් ජයසූරියගේ ‘පවර්ප්ලේ’ හයේ පහර හතේ වාර්තාව ද බිඳ දැමුවා. 

vai8mir8
IPL ක්‍රීඩා වාරයකදී ‘පවර්ප්ලේ’ ක්‍රීඩාවේ වැඩිම ලකුණු වාර්තා කර තිබෙන පිතිකරුවා වන්නේ ද සූර්යවන්ශි. ඔහු ලකුණු 490ක් රැස් කරගෙන අභිභවා ගොස් සිටින්නේ ඔස්ට්‍රේලියානු ලෙජන්ඩ් ඩේවිඩ් වෝනර් 2016 තරගාවලියේ ලබා ගත් ලකුණු 467.

 
‘විශ්වයේ බබා බොස්’ ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ ජාතික ක්‍රිකට් කණ්ඩායමට වහාම ඇතුළත් කර ගත යුතු බවට කෙරෙන ඉල්ලීම් දිනෙන් දින වැඩිවෙමින් තිබෙනවා. ලොව සිටින හොඳම T20 ආරම්භක පිතිකරුවා සූර්යවන්ශි වන බැවින් ඉන්දියාව ඔහු කණ්ඩායමට ඇතුළත් කළ යුතු බවට හිටපු එංගලන්ත නායක මයිකල් වෝන් බදාදා ප්‍රකාශ කර තිබුණා. එහෙත් ඉන්දියානු ප්‍රවීණ ක්‍රීඩකයින් වැඩි දෙනෙකුගේ මතය වී තිබෙන්නේ තවමත් 16 වැනි වියට පා තබා නැති මේ ළාබාල පිතිකරුවා ඉන්දියා කණ්ඩායමට ගෙන ඒම හදිසියේ සිදු නොකළ යුතු බවයි.
 
කෙසේ වෙතත්, වයිභව් සූර්යවන්ශි දැන් ඉන්දියා ‘ඒ’ සංචිතයකට නම් කර තිබෙන අතර එම කණ්ඩායම ඔ්වර 50 තුන්කොන් ක්‍රිකට් තරගාවලියකට සහභාගි වීම පිණිස ලබන මස ශ්‍රී ලංකාව ට පැමිණීමට නියමිතව තිබෙනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com    

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...