මේ ගුරු උද්ඝෝෂණ නිසා නගරයේ දෛනික ජීවිතය කැළඹී තිබෙන්නේ ලෝක කුසලාන තරගවල ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්න මතුකරමින්.
මෙක්සිකෝව හා දකුණු අප්‍රිකාව අතර ලෝක කුසලාන ආරම්භක තරගය හෙට පැවැත්වෙන මෙක්සිකෝ නගරයේ අස්ටෙකා ක්‍රීඩාංගණයට යන මාවතක් විරෝධතාකරුවන් ඊයේ පැය ගණනාවක් යනතුරු අවහිර කළා. මෙයින් ප්‍රදර්ශනය වුනේ පාපන්දු ලෝලීන් මේ ලෝක කුසලාන සත්කාරක රටට එමින් සිටියදී එහි අගනගරය ගුරුවරුන්ගේ අවුල් සහගත විරෝධතාවලින් කැලඹී සිටින බවක්. ජනාධිපතිනි ක්ලවුඩියා ෂෙන්බවුම් විසින් ‘ප්‍රකෝප කිරීමක්’ ලෙසින් හඳුන්වනු ලැබ පසුගිය දින කිහිපයක් තිස්සේ සිදුවූ ගුරු සංගමයේ උද්ඝෝෂණවලින් පසුව අඟහරුවාදා පැවති විරෝධතාවට දහස් ගණනක් සහභාගි වුණා.
පෙළපාළියේ ගිය විරෝධතාකරුවන් බ්‍රහස්පතින්දා තරගය පැවැත්වෙන අස්ටෙකා ක්‍රීඩාංගණයට පිවිසීම පොලිස් බාධක විසින් වළක්වනු ලැබුවා. ක්‍රීඩාංගණය වටා දහස් සංඛ්‍යාත ආරක්ෂක නිලධාරීන් හා කොන්ක්‍රීට් බාධක යොදා තිබූ බැවින් උද්ඝෝෂකයින් පැය තුනක් පමණ මාර්ගයේ රැස්ව සිට පිටව ගියා.
රජය මේ විරෝධතා ගෙන යන ගුරුවරුන් සමග සාකච්ඡා කිරීමට කැමැත්ත පළකර තිබුනත් එය සාර්ථ වී නැති අතර තමන් තම අරගලය දිගටම ගෙන යන බවට ගුරුවරුන් කියා සිටිනවා.
වැටුප් වැඩි කිරීමක් හා විශ්‍රාම නීතියේ වෙනස්වීමක් ඉල්ලමින් ගුරුවරුන් වර්ජනයක යෙදී සිටින්නේ දැන් සතියකට පෙර සිටයි. ඔවුන්ගේ ඉල්ලීම් ප්‍රායෝගික නොව බව රජය කියා තිබෙනවා.

ගුරුවරුන් මෙක්සිකෝ නගරයේ සොකලෝ චතුරස්‍රයේ ලෝක කුසලාන ක්‍රීඩා ලෝලීන්ගේ කලාපය අසල කඳවුරක් ද අටවා ගෙන තිබෙනවා.
ඔවුන් එම ස්ථානයෙන් විසුරුවා හැරීම පිණිස පොලිසිය ජූනි 1 වැනිදා රබර් උණ්ඩ හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා.
“ඔවුන්ට අවශ්‍ය වී තිබෙන්නේ මෙක්සිකෝවේ ලොකු සමාජයීය කැලඹිල්ලක් තිබෙන බවක් පෙන්වීමටයි. නමුත් එය සත්‍යය නෙවෙයි” යනුවෙන් ෂෙන්බවුම් පවසනවා.
මේ ගුරුවරුන් හෙටත් උද්ඝෝෂණයක් පැවැත්වීමට අදහස් කර තිබෙන අතර ඊට ‘අතුරුදන් වූ’ පුද්ගලයින් ලෙසින් ප්‍රකාශයට පත්කර තිබෙන මෙක්සිකානු බලධාරීන් හෝ අපරාධ කල්ලි විසින් පැහැර ගත් පුද්ගලයින්ගේ පවුල් ද සහභාගි වන බව වාර්තා වනවා.

(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com




