The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

අමෙරිකාව තහනම් කළ සෝමාලියා තරග විනිසුරු යුරෝපීය පාපන්දු සුපර් කුසලාන තරග විනිශ්චයට

T

The Leader Desk

June 16, 2026 • 12:02 PM

අමෙරිකාව තහනම් කළ සෝමාලියා තරග විනිසුරු යුරෝපීය පාපන්දු සුපර් කුසලාන තරග විනිශ්චයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝක කුසලාන පාපන්දු තරග විනිශ්චය සඳහා අමෙරිකාව ට පැමිණීමට ඉඩ නොදුන් සෝමාලියා පාපන්දු තරග විනිසුරු ඕමාර් ආර්තාන් යුරෝපීය පාපන්දු සංගම් සම්මේලනයේ (UEFA) සුපර් කුසලාන තරගාවලියේ තරග විනිසුරුවකු ලෙස පත්කර ඇතැයි යුරෝපීය පාපන්දු පාලක මණ්ඩලය ප්‍රකාශ කරනවා.
  •   2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා තෝරා ගෙන තිබූ තරග විනිසුරුවන් 52 දෙනාගෙන් කෙනෙකු වූ ආර්තාන් අප්‍රිකානු පාපන්දු සම්මේලනයේ 2025 වසරේ විනිසුරුවරයා ලෙස සම්මාන ලැබුවෙක්.
  • ආර්තාන් මයාමි ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි අවස්ථාවේදී ඔහුට අමෙරිකාව ට ඇතුළු වීම තහනම් කෙරුණා.
  • තමා මීළඟ 2030 ලෝක කුසලාන තරගාවලියේදී තරග විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරන බවට ආර්තාන් එහිදී දිවුරා ප්‍රකාශ කළා.
අකුරු ප්‍රමාණය (Font Size):



ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) ප්‍රධානතම ඉසව්ව වන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භ වීමට පැය කිහිපයකට පෙර සෝමාලි පාපන්දු විනිසුරුවරයා ඉහළින් වර්ණනා කරමින් UEFA සභාපති ඇලෙක්සන්ඩර් චෙෆෙරීන් නිවේදනයක් නිකුත් කළා.

“ඕමාර් ආර්තාන් තරුණ වූවත් දැනටමත් මනා පළපුරුද්දක් අත් කරගෙන සිටින අතිවිශිෂ්ට තරග විනිසුරුවෙක්. ඔහු අප්‍රිකානු පාපන්දු සම්මේලනයේ ඉහළම තලයේ තරගාවලියන් හි ඔහුගේ හැකියාවන් තහවුරු කර තිබෙනවා” යනුවෙන් චෙෆෙරීන් පවසනවා.

“පාපන්දුව නිර්මාණය කර තිබෙන්නේ මිනිසුන්ව එකිනෙකා සමග සම්බන්ධ කරන්නයි. ඔමාර් ට මෙවැනි ගෞරවනීය ලෝක කුසලාන විනිශ්චයට නම් කිරීමක් ලැබීමට හේතු වූ ඔහුගේ විශිෂ්ට හැකියාවන්ට හා ඕමාර්ට  තිබෙන ගෞරවය පෙන්වීමට UEFA ට අවශ්‍යයි.”

මේ අනුව ඔමාර් ආර්තාන් චැම්පියන්ස් ලීග් ජයග්‍රාහකයින් වන පැරිස් සැන්-ජමෑන් හා යුරෝපීය ලීග් ජයග්‍රාහකයින් වන ඇස්ටන් විලා අතර අගෝස්තු 12 වැනිදා ඔස්ට්‍රියාවේ සැල්ස්බර්ග් නුවර පැවැත්වීමට නියමිත 2026 UEFA Super Cup තරගය විනිශ්චය කිරීම සඳහා පත්කර තිබෙනවා.

 

artan 1
2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා තෝරා ගෙන තිබූ තරග විනිසුරුවන් 52 දෙනාගෙන් කෙනෙකු වූ ආර්තාන් අප්‍රිකානු පාපන්දු සම්මේලනයේ 2025 වසරේ විනිසුරුවරයා ලෙස සම්මාන ලැබුවෙක්.

ආර්තාන් මයාමි ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි අවස්ථාවේදී ඔහුට අමෙරිකාව ට ඇතුළු වීම තහනම් කෙරුණා. ඔහු ඔහුගේ රටේ ත්‍රස්තවාදී සංවිධානවල සාමාජිකයන් යැයි සැක කෙරෙන පුද්ගලයින් සමග සම්බන්ධකම් පවත්වන බවත් ඒ නිසා ඔහු අමෙරිකාව ට ඇතුළු වීමට සුදුසුකම් තිබෙන පුද්ගලයෙකු නොවන බවත් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ප්‍රකාශ කර තිබෙනවා.‍

සෝමාලියානු හමුදා කණ්ඩායමක් වන අල් ෂබාබ් සමග තිබෙන සම්බන්ධකම් පිළිබඳව අමෙරිකාවේ දේශසීමා නිලධාරීන් තමන්ගෙන් පැය 11ක් තිස්සේ ප්‍රශ්න කළ බවත් එම කණ්ඩායම ගැන කිසිවක් නොදන්නා බව තමා ඔවුන්ට කියා සිටි බවත් ආර්තාන් පවසනවා. තුර්කියේ ඉස්ටාන්බුල් නගරය බලා යන ගුවන් යානයකට නැංවීමට පෙර ඔහුව පැය කිහිපයක් රඳවා ගෙන තිබෙනවා.

පසුව පෙරළා සියරට පැමිණි මේ සෝමාලියානු ලෝක කුසලාන පාපන්දු තරග විනිසුරුවරයාට මොගඩිෂූ අගනුවර ඒඩන් ඇඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී ලැබුනේ වීරයෙකුගේ පිළිගැනීමක්. තමා මීළඟ 2030 ලෝක කුසලාන තරගාවලියේදී තරග විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරන බවට ආර්තාන් එහිදී දිවුරා ප්‍රකාශ කළා. ජනාධිපති මන්දිරයේදී සෝමාලියා ජනාධිපති හසන් ෂෙයික් මොහමුද් හමුවීමට පෙර රජයේ නිලධාරීන් හා සෝමාලි පාපන්දු සම්මේලනයේ නියෝජිතයින් මෙන්ම පාපන්දු විනිසුරු සගයන් හා ගමේ වැසියන් විසින් ආර්තාන්ව ගුවන්තොටුපලේදී උණුසුම් අයුරින් පිළිගනු ලැබුවා.

artan 2
34 හැවිරිදි මේ අප්‍රිකාවේ 2025 වසරේ පාපන්දු විනිසුරුවරයා ලෝක කුසලාන පාපන්දු තරගාවලියක කටයුතු කරන පළමු සෝමාලි ජාතිකයා වීමට නියමිතව තිබුණත් ඔහුව ආපසු හරවා එවනු ලැබුවේ ඔහු සතුව තානාපති විදෙස් ගමන් බලපත්‍රයක් හා අමෙරිකානු වීසාවක් ද තිබියදී.

2025 ජූනි මාසයේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෝමාලියාව ද ඇතුළුව රටවල් 12ක ඕනෑම වර්ගයක වීසා බලපත්‍රයකට රටට ඇතුළු වීමේ පූර්ණ තහනමක් පැනවූවා. 2025 වසරේ දෙසැම්බර් මාසයේ පැවති ලෝක කුසලාන කුසපත් ඇදීමට දින දෙකකට පෙර ට්‍රම්ප්, විශාල සෝමාලි ප්‍රජාවක් සිටින මිනසෝටා අමෙරිකානු ප්‍රාන්තයේ සිදු කිරීමට සැලසුම් කර තිබෙන ආගමන වැටලීම් මෙහෙයුමක් පිළිබඳව අදහස් දක්වමින්, සෝමාලියාව යනු යන්තම් රටක් යැයි කිවහැකි දේශයක් පමණක් බවත් ඔවුන්ට කිසිම දෙයක් නැති බවත් කියා සිටියා.

“ඔවුන් ඔහේ එකිනෙකාව මරා ගනිමින් වටේට දුවනවා. ඔවුන්ට කිසිම සංවිධානාත්මක ව්‍යූහයක් නැහැ” යනුවෙන් ට්‍රම්ප් පවසා තිබුණා.

සෝමාලි සංක්‍රමණිකයන් ඔවුන් පැමිණි තැන්වලටම ආපසු යා යුතු බවත් “අපි දිගටම කැළි කසළ අපේ රටට ගත්තොත් අමෙරිකාව කරන්නේ වැරදි වැඩක්” බවත් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණා.

මේ සැලකීම හමුවේ බලාපොරොත්තු නැතිකර නොගන්නා ලෙසට සිය රටට පැමිණීමෙන් පසුව සෝමාලියාවේ තරුණයින්ගෙන් ඉල්ලා සිටි ආර්තාන්, “අපි සියලු දෙනාම සෝමාලියාවේ ගෞරවය ආරක්ෂා කර ගමු. රට නරක වුනත් හොඳ වුනත් අපි සියලු දෙනාම අයිති වෙන්නේ සෝමාලියාවට” යැයි කියා සිටියා.

artan3
“ඒ කොඩිය අපේයි. පාස්පෝට් එකත් එහෙමයි. අපි ඒක ආරක්ෂා කරමු.”

“තරුණ පරපුර ඔවුන්ගේ රට පිළිබඳව අධෛර්ය විය යුතු නැහැ. මට මේ දෙය වුනත්, මම තවමත් ම‌ගේ රට වෙනුවෙන් සිට ගන්නවා.”

“මට මෙතැන් සිට මගේ ගමනේ දිගටම යන්න අවශ්‍යයි. එහෙම කරන්න කියලා මම තරුණයන්ටත් ආයාචනය කරනවා!”

ඔමාර් ආර්තාන් ලෝක කුසලාන තරගාවලියේ කටයුතු නොකළත්, ඔහුගේ වැටුප ඔහුට ගෙවීම සඳහා FIFA බැඳී සිටින බව ප්‍රකාශ වනවා.

(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...