අත්අකුරින් ලියන ලද එම සටහන ඉරාන ක්‍රීඩකයින් ඔවුන්ගේ ඇඳුම් මාරු කරන කාමරයේ තබා ගොස් තිබුණේ ඔවුන්ගේ ‘ජී’ කොටසේ දෙවැනි තරගය ගෝල් රහිත ජය පැරදුමකින් තොරව අවසන් වීමෙන් පසුව.
“වසර දහස් ගණනකට පෙර පුරාතන පර්සියාවේ සිට අද තිබෙන ශිෂ්ටසම්පන්න ඉරානය දක්වා, ඉරානයේ ජීවය ප්‍රාණවත්ව හා නොසැලෙන ලෙස රැඳී තිබෙනවා” යනුවෙන් ඉරාන පාපන්දු සම්මේලනය විසින් නිකුත් කළ එම පණිවුඩයේ සඳහන්ව තිබුණා.
“අපි ලොස් ඇන්ජලීස් ආවේ ආඩම්බරයෙන්, තරග කළේ ගෞරවයෙන් යුතුව, පිටව යන්නේ අභිමානයෙන්” යනුවෙන් එම සටහනෙන් කියා තිබුණා.
“ලොස් ඇන්ජලීස් ...ඔබේ ආගන්තුක සත්කාරයට ඔබට ස්තූතියි!’
“මේ මිනිත්තු 180 තුළ ඉරානයට තමන්ගේ හදවත, හඬ සහ ආත්මය ලබා දුන් සෑම ඉරාන ජාතිකයෙකුටම ස්තූතියි!”
“සාමය, ගරු කිරීම හා මිත්‍රත්වය සියලු රටවල් අතරෙහි පවතීවා.”
යුද්ධයේ පළමු දිනයේදී අවම වශයෙන් පුද්ගලයින් 168 දෙනෙකු මරණයට පත් කරමින් මිනාබ් නුවර බාලිකා පාසලකට සිදුකළ ප්‍රහාරය පිළිබඳව ද එහි සඳහන් කර තිබුණා.
ඉරානය ගෝල් 2-2ක විසඳුමකින් තොර ඔවුන්ගේ ආරම්භක තරගය නවසිලන්තය සමග ක්‍රීඩා කළේ ද ලොස් ඇන්ජලීස් ක්‍රීඩාංගණයේ. ඔවුන්ගේ තෙවැනි හා අවසාන මූලික වටයේ තරගය ජූනි 26 වැනිදා ඊජිප්තුව සමග ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙන්නේ සිඇටල් නගරයේ.

අමෙරිකාව සමග තිබෙන යුද්ධය හේතුවෙන් මෙවර ලෝක කුසලාන තරගාවලියේ වඩාත්ම පීඩාවට පත්ව සිටින කණ්ඩායම වී තිබෙන්නේ ඉරානය යි. අමෙරිකානු බාධක නිසා ඉරාන කණ්ඩායමට ඔවුන්ගේ ලෝක කුසලාන පාපන්දු කඳවුර අමෙරිකාවේ සිට මෙක්සිකෝව ට මාරු කිරීමට පවා සිදුවුණා. නමුත් තවමත් දැඩි සංචාරක සීමාවන්ට මුහුණ දී සිටින ඉරාන කණ්ඩායමට අමෙරිකාව ට පැමිණීමට ඉඩ දී තිබෙන්නේ තරගයට පෙර දිනයේ පමණක් වන අතර තරගය අවසන් වූ පසු එම දිනයේ ම ඔවුන් ආපසු මෙක්සිකෝව බලා පිටත්ව යා යුතුව තිබෙනවා.
කෙසේ වෙතත්, ඊජිප්තුව ට එරෙහි තරගය සඳහා ඉරාන කණ්ඩායමේ පැමිණීම හා පිටව යාමේ වේලාවන් සම්බන්ධයෙන් දැන් සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බව ධවල මන්දිරයේ ලෝක කුසලාන කාර්ය සාධක බලකායේ විධායක අධ්‍යක්ෂ ඇන්ඩෲ ජූලියානි ප්‍රකාශ කර තිබුණා.
ඒ අනුව, ඉරාන පාපන්දු කණ්ඩායම සම්බන්ධයෙන් දරන මතය අද ලිහිල් කර තිබෙන අමෙරිකානු රජය ඊජිප්තුව සමග තරගය වෙනුවෙන් ඊට දින දෙකකට පෙර අමෙරිකාවට පැමිණීමට ඉරාන කණ්ඩායමට අවසර දී තිබෙනවා.
කෙසේ වෙතත්, තරගය අවසන් වන දිනයේ ම ආපසු යාමේ කොන්දේසිය එලෙසම බල පැවැත්වෙන බව අමෙරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව කියා සිටිනවා.
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com




