මෙය, එම රට ලෝක කුසලාන තරගාවලියේ පෙනී සිටින දෙවැනි අවස්ථාව වනවා පමණක් නොව එම රට සයේ නමින් හැඳින්වෙමින් තිබූ 1974 වසරෙන් පසුව සහභාගි වන පළමු අවස්ථාව ද වනවා. යුආන් විසා (Yoane Wissa) තරගයේ විවේක කාලයට මොහොතක් තිබියදී හිසෙන් එල්ල කළ දැවැන්ත පහර කොංගෝවේ පළමු ලෝක කුසලාන ගෝලය හා ඔවුන්ගේ පළමු ලෝක කුසලාන ලකුණ ද සනිටුහන් කළා.
එසේ වූවත්, කොංගෝ කණ්ඩායම පිටියට පිවිසෙද්දී මොකක් නමුත් දෙයක් නැති හැඟීමක් තිබුණා.
මීට හේතුව වී තිබුනේ කණ්ඩායම තරගාවලියට පිවිසෙද්දී ලෝකයේ අවධානය කොංගෝවේ ජනප්‍රිය අහසේ නිල් පාට ජර්සිය පළඳින ක්‍රීඩකයින් කෙරෙහි පමණක් නොව කණ්ඩායමේ නිල නොවන 12 වැනි පුද්ගලයා ක්‍රීඩා මණ්ඩපයේ සිටීවි ද යන කාරණය කෙරෙහි ද යොමුව තිබූ බැවින්.

ඔහු, මීෂල් කුක ම්බොලඩිංගා (Michel kuka mboladinga). වඩාත් හොඳින් දන්නේ “ලුමුම්බ වේයා” (Lumumba vea) හෝ “ලුමුම්බා තවමත් ජීවත් වනවා” (Lumumba Lives) යන හුරතල් නාමයෙන්.
කොංගෝ ජාතික පාපන්දු කණ්ඩායමේ වඩාත්ම ජනප්‍රිය ක්‍රීඩා ලෝලියා වන ම්බොලඩිංගා කැපීපෙනෙන චරිතයක් බවට පත්වුනේ 2025 වසරේ මොරොක්කෝවේ පැවති අප්‍රිකානු කුසලාන පාපන්දු තරගාවලියේ. එහිදී ඔහු කොංගෝ කණ්ඩායම ක්‍රීඩා කළ සෑම තරගයක් මුළුල්ලේ දැඩි බැල්මකින් යුතුව පාදස්තලයක් මුදුනෙහි සිටගෙන ආරම්භයේ සිට අවසානය දක්වා ම දකුණු අත ඔසවා ගෙන සිටියේ මොහොතකටවත් නොසෙල්වෙමින්.
මේ සෙයියාව කොංගෝව 1960 වසරේ ජූනි මාසයේ බෙල්ජියමෙන් නිදහස ලබා ගැනීමෙන් පසුව එරට පළමු අගමැතිවරයා වන පෙට්රීස් එමරි ලුමුම්බා (Patrice emery Lumumba) ට පිදෙන උපහාරයක්. ම්බොලඩිංගාටත් තිබෙන්නේ අගමැතිවරයාට ඉතාමත් සමාන පෙනුමක්. කොංගෝව නිදහස ලබා මාස හතකටත් අඩු කාලයකින් පසුව1961 වසරේදී ලුමුම්බා ඝාතනය කෙරුනේ ඔහු 35 වැනි වියේ පසුවෙමින් සිටියදී.
ඊට දශක හයකට වැඩි කලක් ගතව තිබියදීත් පෙට්රීස් ලුමුම්බා කොංගෝ ඉතිහාසයේ වඩාත්ම ගෞරවයෙන් යුතුව සලකන පුද්ගලයෙක් වශයෙන් තවමත් රැඳී සිටිනවා. දැන් ම්බොලඩිංගා තරග දිනයේදී තමන්ගේ මේ ජනප්‍රිය පිළිවෙත ප්‍රදර්ශනය කිරීම මගින් අලංකාර පාපන්දු ක්‍රීඩාව හරහා ලුමුම්බාගේ ලෙගසිය ප්‍රාණවත් ලෙස තබා ගැනීමට උපකාර කරනවා.
ලුමුම්බා බලයේ සිටියේ මාස තුනකටත් අඩු කාලයක් පමණයි. එවැනි සුළු කාලයක නායකයෙක් මරණයෙන් පසුව වසර 65ක් පුරා අඛණ්ඩව මෙතරම් ගෞරව කිරීමක් ලබමින් සිටීම අපූර්ව දෙයකැයි සිතෙනවා.
Patrice emery Lumumba
එහෙත් ලුමුම්බා දේශපාලනඥයෙකුට වඩා එහා ගිය පුද්ගලයෙක්.
1885 වසරේදී බෙල්ජියමේ දෙවැනි ලිඔ්පෝල්ඩ් රජු කොංගෝ නිදහස් ප්‍රාන්තය පිහිටුවූ අවස්ථාවේ ඇරඹුනු බෙල්ජියානු යටත් විජිත පාලනයට එරෙහි අරගලයේදී ලුමුම්බා කොංගෝලියානු දේශානුරාගයේ සංකේතයක් බවට පත්වුණා.
ඔහු කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුවේ නිදහස සඳහා වූ අතිශයින් දරුණු සටනේ ප්‍රධාන පුද්ගලයා සහ 1964 වසරේදී අප්‍රිකානු මහාද්වීපයේ එදා මෙදා තුර සිටි ශ්‍රේෂ්ඨතම කළු ජාතික මිනිසා බවට පත්ව සිටියා.
මේ නිසා, “ඔහු මගේ ප්‍රබෝධක ආවේගය” බව ම්බොලඩිංගා පවසනවා. “පෙට්රීස් ලුමුම්බා යනු එකමුතුවේ සංකේතය සහ කොංගෝ ජාතිකයින්ට සිටගෙන සිටීමට හා අභිමානයෙන් සිටීමට ඉගැන්වූ පුද්ගලයා යි.”
දෙවැනි ලිඔ්පෝල්ඩ් රජුගේ බෑණා වූ බෙල්ජියමේ බුඩ්වාන් රජුගෙන් තමාගේ රට නිදහස ලබා ගැනීමෙන් පසුව රජු ඉදිරියේ සිටගෙන පෙට්රීස් ලුමුම්බා ලෝකය මවිත කරවන කතාවක් කළේ බෙල්ජියානු යටත් විජිත වාදයට තදින් දොස් පවරමින්.
“කොංගෝවේ මේ නිදහස අද ප්‍රකාශයට පත් කළත්...නිදහස දිනා ගත්තේ අරගලයෙන් බවට කිසිම කොංගෝ ජාතිකයෙකුට කවදාවත් අමතක වෙන්නේ නැහැ” යනුවෙන් ඔහු විවෘතව ප්‍රකාශ කළා.
“උදේ, දවල් සහ රෑ අපට සමච්චල් කළේත්, අපට අපහාස කරමින් පහර දුන්නේත් අපි නීග්‍රෝ ජාතිකයන් නිසායි. නිදහසේ වැඩ කරද්දි කළු ජාතිකයෙකුට කරන්න පුළුවන් දේ මොනවාද කියලා අපි ලෝකයට පෙන්වන්නම්. අපි කොංගෝව අප්‍රිකාවේ ආඩම්බරය බවට පත් කරනවා.”
ලෝකය පුරා දෝංකාරය වූ මේ කතාව 20 වැනි ශතවර්ෂයේ සිදු කෙරුනු වඩාත්ම වැදගත් කතාවලින් එකක් බවට පත්වුණා.
එම කතාවෙන් මාස තුනකට පසුව, මේ නිර්මාතෘ අගමැතිවරයාව එකල ජනාධිපතිව සිටි ජෝසෆ් කසා-වුබු විසින් බලයෙන් ඉවත් කරනු ලැබුවා.
මොබුටු සෙසේ සෙකෝ
තවත් මාස තුනකට පසුව, මොබුටු සෙසේ සෙකෝගේ (මොහු පසුව වසර 32ක්, එනම් 1965 සිට 1997 දක්වා ජනාධිපති ලෙස කටයුතු කළා) මෙහෙයවීමෙන් යුත් හමුදා බලඇණියක් ලුමුම්බා හිරබාරයට ගෙන කොංගෝවේ කටංගා නගරයට ගුවනින් ගෙන ගොස් ඔහුට වධ හිංසා පමුණුවා අවසානයේදී වෙඩි තබා මරා දැමුවා.
එසේ මරා දැමීමෙන් පසුව, ඔහුගේ සිරුර පළමුව නොගැඹුරු මිනී වළකට විසි කර දැමූවත්, යළි ගොඩගෙන කෑලිවලට කපා දමා එම ශරීර කොටස් ඇසිඩ්වල ගිල්වා දිය කර දැමුවා.
ලුමුම්බාගේ ඉතිරි වූ කවුරුත් දන්නා ශේෂය වූයේ රන් ආලේපිත දතක්. සිරුර කපා කොටා දිය කර දැමීමේ වගකීම දැරුවේ තමා බවට පාපොච්චාරණය කළ Gerard Soete නමැති බෙල්ජියම් පොලිස් නිලධාරියා 2000 වසරේ මිය යනතුරු ම ඒ දත වසර 39ක් ඔහු සන්තකයේ තබා ගත්තා.
අනතුරුව ඔහුගේ දියණිය 2016 වන තුරු එය අයිති කරගෙන සිටියා. ඉන්පසු බෙල්ජියානු බලධාරීන් ඒ දත ඔවුන්ගේ භාරයට ගත් අතර අවසානයේදී එය ලුමුම්බාගේ පවුලට නැවත ලබා දීමෙන් පසුව 2022 වසරේදී භූමදාන කෙරුණා.
අද එය තැන්පත් කර තිබෙන්නේ කින්ශාසා නගරයේ විශේෂිත සොහොන් ගැබක. දකුණු අත ඔසවාගෙන සිටින නිදහසේ වීරයාගේ සමරු ප්‍රතිමාවක් එහි සිටුවා තිබෙන අතර අද ප්‍රසිද්ධියට පත්ව සිටින ම්බොලඩිංගා අනුකරණය කරන්නේ ප්‍රතිමාවේ පෙනෙන ඒ ඉරියව්ව.
ම්බොලඩිංගා කරන මේ උපහාරය අප්‍රිකානු පාපන්දුවේ තිබෙන වඩාත්ම හඳුනන දසුනක් වී තිබෙන අතර එය කොංගෝව හා කොලොම්බියාව අතර මෙක්සිකෝවේදී අඟහරුවාදා පැවති තරගයේදී ප්‍රදර්ශනය වුනේ මෙවර ලෝක කුසලාන තරගාවලියේ ප්‍රථම වතාවට.
ම්බොලඩිංගාගේ උපහාරය සමග තිබෙන වශීකරණයෙන් කොටසක් පැමිණෙන්නේ සංකේතනයෙන්. අනෙක් කොටස එන්නේ සෑම කෙනෙකුගේම සිත්වල තිබෙන සරල ප්‍රශ්නයකින්: කෙනෙක් මෙතරම් දිර්ඝ කාලයක් ඔහුගේ අත උස්සගෙන නිසොල්මන්ව ඉන්නේ කොහොමද?”

“විශ්වාස කළත් නැතත්, මම ඒක පුහුණු වෙනවා” යනුවෙන් ඔහු කියනවා. “මට ඇත්තටම මාසෙකට දවස් 20ක් පුහුණු වෙන්න පුළුවනි. නමුත් මම විවේකයකුත් ගන්නවා.”
තරග පැවැත්වෙන උතුරු අමෙරිකාවේ තිබෙන අධික උෂ්ණත්වය හා ආර්ද්‍රතාව ම්බොලඩිංගාගේ අධිෂ්ඨානය මැන බැලිය හැකි තවත් සාධකයක් වනු ඇත්තේ දේශගුණික තත්ත්වය කුමක් වූවත් ඔහු ඇඳුම් කට්ටලයක් හා බූට් සපත්තුවලින් සැරසී තරගවලට පැමිණෙන බැවින්.
නමුත් මේ සුපිරි ක්‍රීඩා ලෝලියා මෙයින් සසල වන්නේ නැහැ.
“මම ජීවත් වන ප්‍රතිමාවක්” යැයි ම්බොලඩිංගා කියනවා. “දේශගුණයෙන් මට බලපෑමක් නැහැ. මගේ රස්සාව ඔහේ හිටගෙන ඉන්න එක නොව වීර්යය, ශක්තිය හා බලය ක්‍රීඩකයින්ට ලබා දීමයි. මම අවධානය යොමු කරන්නේ ඒකටයි.”
“මම ඇත්තටම මගේ අත පල්ලෙහාට දාන වෙලාවක් ගැන කලින් දැනගන්නේ නැහැ. මම මගේ වැඩේ කරනවා.”

කෙසේ වෙතත්, ලෝක කුසලාන තරගාවලියේ ඔහුගේ පෙනී සිටීම දුෂ්කර තත්ත්වයට පත්වුනේ කොංගෝවේ හටගත් ඉබෝලා වසංගතය නිසා. මේ හේතුවෙන් අමෙරිකාව මේ රෝගය පැතිර තිබෙන රටවලට සංචාරක සීමා පැනවූවා පමණක් නොව ලෝක කුසලාන තරගාවලියට පෙර කොංගෝ ජාතික කණ්ඩායම කින්ශාසා නුවර පැවැත්වීමට සැලසුම් කර තිබූ තෙදින පුහුණු කඳවුරක් අවලංගු කරන ලෙසට ද බල කළා.
නමුත් ම්බොලඩිංගාගේ වාසනාවට, කොංගෝ සංචිතය ඔවුන්ගේ ආදරණීය සංකේතය උතුරු අමෙරිකාව ට ගෙන ඒමට කළ හැකි සෑම දෙයක් ම කළා. මේ උත්සාහයේදී ඔවුන් කොතරම් දුරක් ගියා ද කිවතොත් ඔහුව කණ්ඩායමේ නිල නියෝජිත පිරිසට ඇතුළත් කරන ලෙසට කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුවේ ජනාධිපතිවරයා නම්මා ගැනීමට පවා කටයුතු කළා.
ඔහුට පෘතුගාලය ට එරෙහි කොංගෝ කණ්ඩායමේ තරගය මඟ හැරුන ද, “මම ශාරීරිකව එතැන නොසිටියත්, මම ක්‍රීඩා ලෝලී කලාපයක සිට තරගය නැරඹූ නිසා තරගය සමග මම හොඳින් සම්බන්ධ වෙලා සිටියා” යැයි ඔහු සඳහන් කළා.
“අවුරුදු 52කට පස්සේ ලෝක කුසලාන තරගාවලියට ගිහින් පෘතුගාලය වැනි යෝධයෙක් මුණගැසී ඔවුන් සමග තරගය ජය පැරදුමින් තොරව අවසන් කර ගැනීමට හැකිවීම විශිෂ්ට ජයග්‍රහණයක් සහ මුළු කොංගෝ රටටම ප්‍රීතිමත් මොහොතක්.”
ඒ උද්යෝගය හීන කර තිබෙන්නේ කොලොම්බියාව හමුවේ කොංගෝව ලැබූ ගෝල් 1-0ක පරාජයෙන්. එහෙත් උස්බෙකිස්තානය සමග තරගය ජය ගැනීමට හැකි වුවහොත් කොංගෝවට 32 දෙනාගේ වටයට පිවිසීමේ මං විවර වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. එය එසේ වුවහොත්, කොංගෝ දේශයේ සිටින මිලියන 116ක ජනතාව මහත් ප්‍රමෝදයට පත්ව වීදි සැරිසරනු නියතයි. අමෙරිකාවේ සිටින කොංගෝ ක්‍රීඩා ලෝලීන් සෙනසුරදා එම තරගය පැවැත්වෙන ඇට්ලන්ටා නගරයේ මර්සිඩීස්-බෙන්ස් ක්‍රීඩාංගණය අහස් නිලෙන් සිතුවම් කරනු නිසැකයි.
නමුත් වෙනදා මෙන්ම මේ සියල්ලටම වඩා ඉහළින් ම්බොලඩිංගා සිටගෙන සිටිනු ඇති.
“මම එදාට එතැන ඉන්නවා. මම සිරුරේ පසුපස දිවියෙක් (ජාතික සංකේතය) ලකුණු කරගෙන ඉඳීවි. එවිට මුළු ලෝකයම මාව දකීවි!





