බදාදා හටගත් විනාශකාරී භූමිකම්පාවෙන් තමන් සිටි ගොඩනැගිල්ල කඩා වැටෙද්දී පාපන්දු ක්‍රීඩක හෙක්ටර් බෙල්ලොගේ (Hector Bello) බිරිඳ ඔවුන්ගේ අලුත උපන් බබා ආරක්ෂා කර ගැනීම පිණිස පළිහක් මෙන් ක්‍රියා කරමින් සිට මිය ගියා.
ප්‍රබල ද්විත්ව භූ කම්පනයෙන් පසුව ජීවිත බේරා ගන්නන් ගල් කැබලි ඉවත් කරමින් සිටියදී මේ යුවලගේ අවුරුද්දක් වයසැති දියණිය අලානා පණපිටින් සොයා ගැනුනා. බේරා ගැනීමෙන් පසුව සිඟිත්තිය ඉක්මනින් කරාකස් අගනුවර රෝහලකට ගෙන ගියා.
“ඔයා අපේ ජනප්‍රියම වීරවරිය ලෙස හැමදාම ඉඳීවි, අම්මේ. ඔයා කොච්චර ආශ්වාදජනක කෙනෙක් ද, ඔයා බබාට කොපමණ ආදරේ කළා ද කියලා අපේ බබාට මතක තියන්න මම වගබලා ගන්නවා” යනුවෙන් බෙල්ලො ඔහුගේ ආදරණීය බිරිඳ ඇන්ඩ්‍රියා සිහිවීම පිණිස හැඟීම්බර ඉන්ස්ටග්‍රෑම් උපහාරයකින් සටහන් කර තිබෙනවා.
දැඩි ශෝකයෙන් සිටින Maritimo de La Guaira පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයා ඔහුගේ හද කකියවන වේදනාව සමාජ මාධ්‍ය පෝස්ටු කිහිපයක් ඔස්සේ ප්‍රකාශ කර තිබුණා.
“ඔයා ඇයව බේරගත්ත ආකාරය, ඔයා අපේ දුව වෙනුවෙන් ඔයාගේ ජීවිතේ පුදපු හැටි, ඔයාගෙ අවසන් හුස්මේදීත් එයාව අත්හැර නොදමන තරමට ඔයා නිර්භීත ගැහැණියක් වූ කතන්දරය මම ඇයට කියනවා” යනුවෙන් පාපන්දු ක්‍රීඩකයා සටහන් කර තිබෙනවා.
ගොඩනැගිලි සුන්බුන් යට ප්‍රතිහාර්යයකින් තවමත් හුස්ම ගනිමින් සිටි අලානා බබා සොයා ගැනුන ද, ඇගේ මව ඛේදජනක අයුරින් මිය ගොස් තිබුණා. සිය බිළිඳු දුවට වෙන් කළ ඉතාමත් සංවේදී පෝස්ටුවකින් බෙල්ලො, ඇයට ශක්තිමත්ව සිටින ලෙසට අයැද සිටියේ තමාට මේ වේදනාවෙන් මිදීම පිණිස ඇගේ උපකාරය විශාල වශයෙන් අවශ්‍ය බව සඳහන් කරමින්.
“මගේ දුවේ...ඔයා ශක්තිමත්ව සිටීම මට අවශ්‍යයි. තව ටික කලක් යනකං ඔහොම ඉන්න. කෑලිවලට බිඳී තිබෙන මගේ හදවත සුවකරන කෙනා ඔයා වෙන්නයි මට ඔ්න” යනුවෙන් ඔහු කියනවා. “ඔයාගේ තාත්තා හැමවෙලේම ශක්තිමත්ව හෝ සිනාසෙමින් ඉන්න බවක් ඔයා දකින්නේ නැති වේවි. නමුත් මම වේදනාව සමනය කරගෙන ඔයාව මේ ලෝකයේ ඉන්න වඩාත්ම සතුටු කෙල්ල කරන බවට මම පොරොන්දු වෙනවා.”
ඔහු මෙසේ ද සටහන් කරනවා: “දැන් ඉන්නේ ඔයායි මායි විතරයි. ඔයාගෙ අම්මා ස්වර්ගයේ ඉඳන් අපි දිහා බලා ඉන්නවා. ඇන්ඩ්‍රියා මට ශක්තිය ලබා දේවි කියලා මම දන්නවා. මේ සියලු දුක් විඳීම් මැදින්, මට මොකක් හරි දෙයක් කියන්න එයාට මිනිත්තුවක් තිබුණා නම්, එයා කරපු විදියටම මටත් මගේ ජීවිතයෙන්ම ඔයාව ආරක්ෂා කරන්න කියලා එයා කියන බව මම දන්නවා.”
ද්විත්ව භූ කම්පනයෙන් වෙනිසියුලාව පුරා මහත් විනාශයක් සිදුව තිබෙන අතර නිල වශයෙන් දක්වන මරණ සංඛ්‍යාව 900 දක්වා ඉහළ නැඟ තිබෙනවා. ජීවිත ගලවා ගැනීමේ මෙහෙයුම් දිගටම පැවැත්වෙමින් තිබෙන අතර පුද්ගලයින් දස දහස් ගණනකට සිදුවූයේ කුමක්දැයි තවමත් දැනගන්නට නැහැ.
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com




