ඔවුන්ගේ ක්‍රීඩක ජෙරාල් ක්වාන්සාගේ (Jarell Quansah) රතු කාඩ්පත ඉවත් කර ගැනීම සඳහා පාවිච්චි කිරීමට උත්සාහ කළා. නමුත් සිදුවුනේ ඔවුන් නොසිතූ දෙයක්.
මෙක්සිකෝව ට එරෙහිව පැවති ‘අවසන් කණ්ඩායම් 16’ තරගයේ නීතිවිරෝධී ක්‍රියාවක් හේතුවෙන් පිටියෙන් නෙරපා දැමුනු ආරක්ෂක ක්‍රීඩක ක්වාන්සා ට එක්-තරග තහනමක් පනවනු ලැබූ අතර එංගලන්තය එම තීරණයට එරෙහිව අභියාචනය කළා.
එහෙත් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) විනය කමිටුව නිවේදනයක් නිකුත් කරමින්, ක්වාන්සා ට එක් තරගයක් වෙනුවට තරග දෙකක් තහනම් කරන බවට ප්‍රකාශ කර තිබෙනවා.
ක්වාන්සා පිටියෙන් පිටමං කිරීමේදී VAR ක්‍රමවේදය නිවැරදිව භාවිතා කර නැතැයි යන තර්කය මත එංගලන්ත පාපන්දු සම්මේලනය එම අභියාචනය ඉදිරිපත් කළ බව වාර්තා වනවා.
ක්වාන්සා තරගයේ 54 වැනි මිනිත්තුවේදී සිදු කළ ‘ටැක්ල්’ කිරීම බරපතල නීතිවිරෝධී ක්‍රීඩාවක් ලෙසින් වර්ග කිරීම නිසා ඔහුට මුලින් ලබා දුන් එක් තරගයක තහනමට උඩින් තවත් තරගයක තහනමක් පනවා තිබෙනවා.
මේ ආකාරයේ ම VAR භාවිතයකින් අමෙරිකානු ආක්‍රමණශීලී ක්‍රීඩක බැලගන්ට නිකුත් කළ රතු කාඩ්පත මීට ඉහතදී අවලංගු කළා. බැලගන් පිටියෙන් ඉවත් කළේ ‘කණ්ඩායම් 32’ වටයේදී අමෙරිකාව විසින් බොස්නියාව පරාජය කළ තරගයේ.
නමුත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත්වීමේ ප්‍රතිඵලයක් ලෙස බැලගන් ට බෙල්ජියම සමග ‘අවසන් කණ්ඩායම් 16’ තරගයේ ක්‍රීඩා කිරීමට FIFA අවසර දුන්නා.
මේ ක්‍රියාව පාපන්දු ලෝකයේ මහත් කැලඹීමක් ඇති කළ අතර ඒ සම්බන්ධයෙන් නීති පියවර ගන්නා බවට බෙල්ජියම තර්ජනය කළා.
අවසානයේදී බෙල්ජියම එම තරගයේදී අමෙරිකාව ගෝල් 4-1ක අන්ත පරාජයකට ලක් කරමින් ඔවුන්ගේ ලෝක කුසලාන ගමන අවසන් කළා.
එංගලන්තය ඉරිදා නෝවේ සමග අර්ධ අවසන් පූර්ව වටයේ තරග වදින අතර ක්වාන්සා ට එම තරගයට සහභාගි වීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ.
එංගලන්තය එම තරගය ජයගෙන අවසන් පූර්ව වටයට පිවිසියහොත් ඔවුන්ට ඊළඟට මුණගැසෙනු ඇත්තේ ආජන්ටිනාව හෝ ස්විට්සලන්තය. එහෙත් ඒ තරගයට ද ක්වාන්සාට ක්‍රීඩා කිරීමට වරම් නැත්තේ ඔහුගේ දඬුවම දැන් තරග දෙකක තහනමක් දක්වා දීර්ඝ කර ඇති බැවින්.
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com




