ඔහුගේ පවුල ඝාතනය කරන බවට තර්ජනය කර තිබෙනවා. මේ මරණ තර්ජන එල්ල වී තිබෙන්නේ මැදපෙල ක්‍රීඩක ජැමින්තොන් කම්පාස් (Jaminton Campaz) ට.
‘කණ්ඩායම් 16’ වටයේදී ස්විට්සලන්තය හමුවේ පෙනල්ටි සටනින් පරාජය වීමත් සමග කොලොම්බියාවේ ලෝක කුසලාන ගමන අඟහරුවාදා අවසන් වුණා. එම තරගයේ අතිරේක කාලයේදී කම්පාස් ට ගෝලයක් ලබා ගැනීමට ලැබුණු තීරණාත්මක අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට ඔහු අසමත් වූ අතර ඔහු එල්ල කළ පහරින් පන්දුව ඉලක්කයෙන් ඈත්ව පියඹා ගියා. කම්පාස් ‘රොසාරියෝ සෙන්ට්‍රල්’ නමැති ආජන්ටිනා පාපන්දු සමාජයේ ක්‍රීඩකයෙක්.
තරගයෙන් පසුව මේ ක්‍රීඩකයාගේ සමාජ මාධ්‍ය ගිණුම් සෘණාත්මක ප්‍රකාශ හා තර්ජනවලින් උතුරා ගොස් තිබෙනවා. තමන්ගේ සමාජ මාධ්‍යයේ ලැබෙන ප්‍රකාශයන් සීමා කිරීමට තීරණය කළ කම්පාස් ආරක්ෂිත පියවරක් වශයෙන්, ඔහුගේ කණ්ඩායමේ සගයන් ආපසු සියරට බලා ගිය ගුවන් යානයට ගොඩවුනේ නැහැ.
කම්පාස් ට හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එල්ල කර තිබෙන මරණීය තර්ජන පිළිබඳව කොලොම්බියානු පාපන්දු සම්මේලනය දැඩි අප්‍රසාදය පළ කර තිබෙනවා.
“කිසිම ක්‍රීඩකයෙක් හෝ ඔවුන්ගේ සමීපතමයන්ගෙන් කිසිම කෙනෙක් ක්‍රීඩා පිටියකදී ඔවුන්ගේ රට නියෝජනය කිරීම ගැන තර්ජනයට ලක්විය යුතු නැහැ” යනුවෙන් එම සම්මේලනය නිවේදනයක් මගින් කියා තිබෙනවා.
ඉච්ඡා භංගත්වයට පත්ව තම මුහුණ වසාගෙන සිටින ඡායාරූපයක් කම්පාස් ඉන්ස්ටග්‍රෑම් හි පෝස්ට් කර තිබෙන්නේ ගෞරවය සඳහා කරන ආයාචනයක් ද සමගින්.
“පාපන්දුව යනු අසීරු අවස්ථාවන් ද ඇතුළත් ක්‍රීඩාවක්” යැයි ඔහු ලියා තිබෙනවා. “මගේ කොලොම්බියාව... කරුණාකරලා අපි කවදාවත් ගෙෘරවය ගැන අමතක කරන්න එපා. අපි වෙනස් විදියට හිතන්න හෝ අපට බලාපොරොත්තු සුන්වීමේ දුකක් දැනෙන්න හෝ පුළුවනි. නමුත් පාපන්දුව හෝ වෙනත් කිසිම ආශාවක් විසින් වෛරය හා බියෙන් ජීවත් වීම සාධාරණීකරණය කරන්නේ නැහැ.”
මේ හිරිහැර කිරීමට ප්‍රතිචාර දක්වන කොලොම්බියානු පාපන්දු බලධාරීන්, තර්ජන පිටුපස සිටින පුද්ගලයින් හඳුනා ගැනීම පිණිස පරීක්ෂණයක් පවත්වන ලෙසට රටේ නීතිපති කාර්යාලයෙන් ඉල්ලා තිබෙනවා.
“පාපන්දු ක්‍රීඩාව සමගිය, ගෞරවය හා අපේක්ෂාව සඳහා තිබෙන අවකාශයක් විය යුතුයි. කිසිවිටෙකත් එය වෛරය, තර්ජනය හෝ ප්‍රචණ්ඩත්වයේ තැනක් නොවිය යුතුයි” සම්මේලනය ප්‍රකාශ කර තිබෙන්නේ ක්‍රීඩාවේදී ඇතිවන කලකිරීම් කිසිම අවස්ථාවකදී සැබෑ ලෝකයේ ප්‍රචණ්ඩත්වයට පරිවර්තනය නොකිරීම තහවුරු කරන ලෙසට ක්‍රීඩා ලෝලීන්ගෙන් ඉල්ලා සිටිමින්.
මේ තර්ජනවලින් මතු කරන්නේ කොලොම්බියානු පාපන්දු ඉතිහාසයේ අඳුරු පරිච්ඡේදයක්. අමෙරිකාවේ පැවති 1994 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ කොලොම්බියාව ගෝල් 2-1කින් සත්කාරක රටට පරාජය වූ තරගයේදී ආරක්ෂක පෙල ක්‍රීඩක අන්ද්‍රීස් ඉස්කොබාර් (Andres Escobar) ඔහු විසින් ම ගෝලයක් (own-goal) ලබා දුන්නා. කොලොම්බියානු කණ්ඩායම තරගාවලියෙන් ඉවතට විසිවී යළි සියරට පැමිණ දින කිහිපයකට පසුව මෙඩලීන් නගරයේදී ඉස්කොබාර් මරා දැමුණා.
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com




