ජනේල කුඩුවී බස් රථයේ ඇතුළත ලෙයින් පිරෙද්දී තුවාල ලැබූ ක්‍රීඩා ලෝලියා බුවනොස් අයිරස් වෙත ආරක්ෂිතව රැගෙන එයි!
උරුගුවේ ක්‍රීඩාංගණයක පැවති තරගයකින් පසුව ආපසු පැමිණෙමින් සිටි ආජන්ටිනා වෘත්තීය පාපන්දු ලීගයේ ක්‍රීඩා ලෝලීන් රැගත් බස් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ප්‍රහාරයට ලක්වුනේ ආජන්ටිනා පාපන්දුවේ පළමු කොටසේ ක්‍රීඩා කරන ටීග්‍රේ (tigre) කණ්ඩායමේ ක්‍රීඩා ලෝලීන්.
වෙඩිතැබීම සිදුවූ ඊයේ දිනයේ ටීග්‍රේ ක්‍රීඩා ලෝලීන් 2,000ක් පමණ ඔවුන්ගේ කණ්ඩායම දිරිමත් කිරීම පිණිස උරුගුවේ හි මොන්ටෙවිඩේයෝ අගනුවර පිහිටි Gran Parque Central ක්‍රීඩාංගණයට ගොස් තිබෙනවා. එහිදී පැවති Copa Sudamericana තීරණාත්මක තරගයේදී ටීග්‍රේ ගෝල් 3-0ක ජයග්‍රහණයකින් Nacional නමැති උරුගුවේ සමාජයීය කණ්ඩායම තරගාවලියෙන් ඉවතට විසිවී තිබෙනවා. එම ජයග්‍රහණය සැමරීමෙන් පසුව ක්‍රීඩා ලෝලීන් ආපසු පැමිණෙමින් සිටියදීයි ඔවුන්ට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙන්නේ.
ක්‍රීඩා ලෝලීන් රැගෙන එමින් සිටි බස් රථයට අවම වශයෙන් වෙඩි දහයක් වැදී තිබෙන බව වාර්තා වනවා. එක් ක්‍රීඩා ලෝලියෙකුගේ අතට වෙඩි වැදී තිබෙන අතර ඔහු වහාම රෝහලකට ගෙන ගොස් තිබෙනවා. වෙඩි ප්‍රහාරයෙන් පසුව නිකුත් කර ඇති වීඩියෝ පටයක වීදුරු ජනේල කැබලිවලට සිඳී බිඳී ගොස් බිම ලෙයින් වැසී ඇති බසයේ ඇතුළත දිස්වනවා. බසයේ පිට පැත්තේ විවිධ කොටස් වෙඩි උණ්ඩවලින් සිදුරු වී තිබෙන අයුරු ද, ටයර්වලට හානි සිදුව තිබෙන ආකාරය ද එහි පෙනෙන්නට තිබෙනවා.
සිද්ධියෙන් පසුව වහාම නිවේදනයක් නිකුත් කර ඇති ටීග්‍රේ සමාජය, කිසිම ආකාරයේ ප්‍රචණ්ඩත්වයකට කවරදාකවත් ඉඩ නොදෙන බව කියා සිටිනවා. පාපන්දු තරගය උත්සවයක් විය යුතු බවත් ක්‍රීඩා ලෝලීන්ගේ ශාරීරික ආරක්ෂාවට තර්ජනය වන ඔ්නෑම ක්‍රියාවක් කිසිවිටකත් පිළිනොගන්නා බවත් ඔවුන් අවධාරණය කරනවා.
ක්‍රීඩා ලෝලීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම පිණිස හදිසි පියවර ගත් බව එම සමාජය කියා තිබෙනවා. එම බස් රථයට ගොඩවූ ක්‍රීඩා ලෝලීන් සුරක්ෂිතව අද උදෑසන ආජන්ටිනාවේ බුවනොස් අයිරස් අගනුවරට පැමිණි බව පැවසෙනවා. තුවාල ලැබූ ක්‍රීඩා ලෝලියා දේශීය රෝහලකින් ප්‍රතිකාර ලැබීමෙන් පසුව එම ක්‍රීඩා සමාජයේ විධායක නිලධාරීන් හා වෛද්‍ය මණ්ඩලයේ ආරක්ෂාව යටතේ කණ්ඩායම නැවතී සිටි හෝටලයේ රඳවාගෙන සිට අද පෙරවරුවේ අගනගරයට යළි ආරක්ෂිත ගෙනැවිත් තිබෙනවා.
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com




