අඩි 21.3ක් (මීටර් 6.5) උසට ලෝකඩ ප්‍රතිමාවක් ඉදිවුනු කොලොම්බියානු පොප් ගායිකා ෂකීරා

සහ ලෝක කුසලාන පාපන්දුව අතර තිබෙන්නේ සංගීතමය සබඳතාවක්.

ෂකීරා පිළිබඳව සංගීත ලෝකය දැන සිටියත් සමස්ත පාපන්දු ලෝකය දැන ගත්තේ දකුණු අප්‍රිකාවේ පැවති 2010 FIFA - ජගත් පාපන්දු සම්මේලන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ නිළ ගීතය වූ ‘වකා වකා’ - Waka Waka (This Time for Africa) ගායනයෙන්. 2010 වසරේ මැයි 7 වැනිදා ඉංග්‍රීසියෙන් මෙන්ම Waka Waka (Esto es Africa) නමින් ස්පාඤ්ඤ භාෂාවෙන් ද නිකුත් කෙරුණු මේ ගීතය කැමරූන් රටේ නාගරික සංගීතය වන Makossa ශෛලියේ Zamina mina (Zangalewa) නමැති මුල් ගීතයේ සාම්පලයක්. යුද බිමේ සිටින සොල්දාදුවෙකු මෙන් තමන්ගේ ඉලක්ක සඳහා කුරුමානම් අල්ලන ලෙසට මේ ගීතයේ  පදරචනයෙන් උනන්දු කරවනවා.

shakira
‘වකා වකා’ ගීතය වෙනුවෙන් සාමාන්‍ය වශයෙන් සතුටුදායක විචාරයන් ලැබුනත් මෙහි ගායනය සඳහා ෂකීරා තෝරා ගැනීමේ FIFA තීරණය සම්බන්ධයෙන් මතභේදයක් හටගත්තේ බොහෝ දකුණු අප්‍රිකානුවන් ඔවුන්ගේ කලකිරීම ප්‍රකාශ කිරීම නිසා. ස්වදේශිකයෙකු මේ කාර්යය සඳහා තෝරා ගත යුතුව තිබුනු බව ඔවුන්ගේ තර්කය වුනා.


ළමයින් හා නර්තන ශිල්පීන් කණ්ඩායමක් සමග ෂකීරා නටන අයුරු දිස්වන ‘වකා වකා’ ගීතය ලොව පුරා නොයෙකුත් රටවල ජනප්‍රිය ගීත සටහනේ මුදුන ට ම පිවිසි අතර රටවල් හතක 2010 වසරේ වඩාත් ම ජනප්‍රිය ගීතය බවට පත්වුනා. අමෙරිකාවේ Billboard Hot 100 නමැති ඉතාමත් ම ජනප්‍රිය ගීත සියය සටහනේ  ‘වකා වකා’ 38 වැනි ස්ථානයට පැමිණි අතර Billboard Hot Latin Songs සටහනේ අංක 2 ට පිවිසියා. ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ හා ලිඔනල් මෙසී වැනි විවිධ පාපන්දු තරුවල කෙටි රංගනයන් ද ඇතුළත් මේ ගීතය YouTube හි ඉතාමත් ජනප්‍රිය වී තිබෙන්නේ දැන් අවසන් වෙමින් තිබෙන 2023 දෙසැම්බර් මාසය වන විට views බිලියන 3.8කට වැඩි ප්‍රමාණයක් ලබා ගනිමින්. මේ අනුව ‘වකා වකා’ ගීතය එම වෙබ් අඩවියේ එදා මෙදා තුර වැඩියෙන් ම නරඹනු ලැබූ වීඩියෝ අතර 21 වැනි ස්ථානයට පත්ව තිබෙනවා.

ෂකිරා ඇගේ ‘වකා වකා’ ගීතය 2010 FIFA World Cup ජූනි 10 වැනිදා සමාරම්භක උළෙලේදී මෙන්ම ජූලි 11 වැනිදා සමාප්ති උත්සවයේදීත් රඟ දැක්වූවා.   

 
ෂකීරාගේ Waka Waka (This Time for Africa) ගීතය නිකුත් වී දොළොස් වසරකට පසුව ලෝක කුසලාන පාපන්දු තරගාවලියක් පසුගිය 2022 වසරේ කටාර් දේශයේදී පැවැත්වෙද්දී එම ගීතය Billboard Global Excl. U.S. හි පළමු වරට දිස්වෙමින් දෙසැම්බර් 3 වැනිදා ගණනයේදී අංක 46 ට පිවිස තිබුනා. Billboard Global 200 හි එම ගීතයේ මංගල පිවිසුම සිදුවුනේ අංක 96 ලෙසින්.


2010 ලෝක කුසලාන පාපන්දු සමාරම්භක උත්සවයේදී Waka Waka ගීතයට අමතරව ෂකීරා She Wolf හා Hips Don’t Lie යන ගීත ද රඟදැක්වූ අතර කටාර් ලෝක කුසලානය වෙනුවෙන් ද ඇය රැඟුමක් කෙසේ වෙතත් සම්රාම්භක උත්සවයේ කොටසක් බවට පත්වීම පිණිස අවම වශයෙන් අලුත් ගීතයක් හෝ නිකුත් කරනු ඇතැයි පාපන්දු ලෝලීන් බලාපොරොත්තු වුනා.

Billboard නමැති ජනප්‍රිය ගී පෙළගැසුම් සටහනේ ‘වකා වකා’ ගීතය නැවත ඉස්මතු වීමෙන් ෂකීරා ලෝක කුසලාන පාපන්දු සංගීතයේ පරම රැජින බවට පත්වන්නේ එය පසුගිය වසරවල පැවති ලෝක කුසලාන පාපන්දු නිළ ගීත අතරින් Billboard ගෝලීය සටහන්වල නැවත දිස්වූ එක ම ගීතය වන බැවින්.


ෂකීරාගේ ලෝක කුසලාන පාපන්දුවේ මංගල සහභාගිත්වය සිදුවුනේ 2006 වසරේ ජර්මනියේ ලෝක කුසලාන පාපන්දු සමාප්ති උළෙලේදී කළ Hips Don’t Lie ගීත රංගනයෙන්. ඉක්බිති දකුණු අප්‍රිකාවෙන් පසුව ඇය 2014 වසරේ බ්‍රසීලයේ පැවති ලෝක කුසලාන තරගාවලියෙන් නැවත පාපන්දු ලෝකයට පිවිසියේ La La La ගීතය නිකුත් කරමින්.

 

 

මේ සියළු ගීත අතරින් කෙනෙකුට ගැළවී යා නොහැකි ගීතය වන්නේ ‘වකා වකා’. එම ගීතය - රිකී මාටින් ගායකයාගේ 1998 වසරේ Cup of Life නමැති ගීතය ද සමග - වැඩිපුර ම මතකයේ රැඳී තිබෙන ලෝක කුසලාන පාපන්දු ගීතයක් ලෙසින් ඉතිහාසගතව තිබෙනවා.

සියළුම ලෝක කුසලාන නිළ ගීත ෂකීරා ට ගයන්න පුළුවන් නම් ලෝකය මීට වඩා හොඳ තැනක් වේවි!

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්