සෑම ක්‍රීඩකයෙකුගේම කෘතිම බුද්ධියේ (AI) තාක්ෂණයෙන් යුත් 3D අවතාර නිර්මාණය කිරීමට ජගත් පාපන්දු සම්මේලනය (FIFA) සැලසුම් කරනවා.
මෙයින් අදහස් කෙරෙන්නේ තරගාවලියට සහභාගි වන කණ්ඩායම් හතළිස් අටේ ක්‍රීඩකයින් 26 දෙනාගේ සංචිතවල සිටින සියලුම ක්‍රීඩකයන් 1,248 දෙනාගේ ඩිජිටල් ස්කෑන් නිර්මාණය කරන බවයි.
සෑම ක්‍රීඩකයෙකුම ස්කෑන් කිරීම පිණිස කුටියකට ඇතුළු වනු ඇති අතර මේ ක්‍රමවේදයට ගතවනු ඇත්තේ තත්පරයක් පමණයි. මෙය සිදු කිරීමට අවශ්‍ය වන්නේ එක් වරක් පමණක් වන අතර එය තරගාවලියට පෙර එක් එක් ක්‍රීඩකයන්ගේ ඡායාරූප ගැනීමේ ක්‍රියාවලියේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
වඩාත් නිවැරදි ඔෆ්සයිඩ් (සීමාවෙන් පිට) තීරණ ගැනීම සඳහා ඉතාමත් උසස් මට්ටමට නිරවද්‍ය ශරීර කොටස් මිනුම් මේ ස්කෑන් මගින් හසුකර ගන්නා බව FIFA ප්‍රකාශ කරනවා.
මෙමගින් තරගයකදී ක්‍රීඩකයන්ගේ වේගී හෝ බාධාවන් සහිත චලනය වීම් අතරතුර ඔවුන්ගේ දිවීම ගැන නිරික්සීමට තරගාවලියේ නිලධාරීන්ට හැකියාව ලැබෙනු ඇතැයි පවසන පාපන්දු බලධාරීන් මෙහි අවසන් තීරණ වඩාත් යථාර්ථවාදීව හා වඩාත් ක්‍රමවත් ආකාරයෙන් ප්‍රදර්ශනය කරනු ඇතැයි කියා සිටිනවා.
ප්‍රිමිය ලීගයේ මේ තරග වාරය මුලදී මැන්චෙස්ට සිටි කණ්ඩායමට එරෙහිව නිව්කාස්ල් කණ්ඩායම ලබා ගත් ගෝලයක් අනුමත වීමෙන් පසුව මතභේදයක් හටගත්තා.
එම සිදුවීමේදී රූබන් ඩයස් ක්‍රීඩකයා ඉහළ පනින බවක් අර්ධ-ස්වයංක්‍රීය ඔෆ්සයිඩ් ග්‍රැෆිකයේ දිස්වූ අතර එය තරගයේ රූපවාහිනී පිංතූර සමග සමාන වුනේ නැහැ.
එක් එක් ක්‍රීඩකයාගේ නිවැරදි ස්කෑන් ලබා ගැනීමෙන් මේ තීරණ නරඹන්නන්ට පෙන්වන ආකාරය දියුණු කිරීමට හැකිවනු ඇතැයි FIFA අපේක්ෂා කරනවා.
ජගත් පාපන්දු සම්මේලනය මෙහෙයවූ අන්තර් මහාද්වීප කුසලාන තරගාවලියේදී මේ තාක්ෂණය පරීක්ෂාවට ලක් කෙරුනු අතර එහිදී ෆ්ලැමෙන්ගෝ හා පිරමිඩ්ස් කණ්ඩායම් අතර දෙසැම්බරයේ පැවති තරගයට පෙර දෙපිලේ ක්‍රීඩිකයන්ව ස්කෑන් කෙරුනා.
ගෝලයක් ලබා ගැනීමට පෙර පන්දුව ක්‍රීඩාවෙන් පිටතට ගොස් තිබුණා ද යන්න නිවැරදිව තහවුරු කරගැනීම පිණිස නව තාක්ෂණය පිරික්සා බලන බවට FIFA පසුගිය මාසයේ නිවේදනය කළා.
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com




