මේ සාකච්ඡාව සිදුවන්නේ ඉන්ෆන්ටීනෝ පසුගිය සතියේ සූරිච් නගරයේදී FIFA හි සාමාජිකයින් 37 දෙනෙකුගෙන් සමන්විත පාලක කවුන්සලය ඉදිරියේ ප්රකාශයක් කරමින් ලෝක කුසලාන තරගාවලියේ කොටස් පෞද්ගලික ආයෝජකයන්ට විකිණීමට සැලසුම් කිරීමේ “වැරදිවලට” සමාව ඉල්ලීමෙන් පසුවයි.
ගෝලීයව පැතිරුණු නිලධාරීන්ගෙන් සමන්විත කවුන්සලය FIFA හි තීරණ ගැනීමේ ප්රධාන මණ්ඩලය යි.
ආසියානු පාපන්දු නායකයින් සමග රහස් කතාවක!
ආසියානු පාපන්දු නායකයින් සමග අද සැලසුම් කර තිබූ සාකච්ඡාව ටෝකියෝ නුවර තරු පහේ හෝටලයක මාධ්යවේදීන් නැතිව පැවැත්වීමට නියමිතව තිබුණා.
ආසියානු පාපන්දු සම්මේලනයේ සභාපති ෂෙයික් සල්මාන් බින් ඉබ්රහිම් අල් ඛලිෆා මීට කළින් ඉන්ෆන්ටීනෝ ට සහ ඔහුගේ ලෝක කුසලාන තරගාවලිය පෞද්ගලීකරණය කිරීමේ සැලසුමට විරුද්ධත්වය පළ කර තිබුණ ද ඔහු දැන් ඉන්ෆන්ටීනෝ ට සමීපව සිටීමට ඉඩ තිබෙන බව වාර්තා වනවා.
සිවු වැනි වරටත් මාර්තු මාසයේදී නැවත සභාපති ධූරයට පත්වීම සඳහා FIFA සාමාජික සම්මේලන 211න් අවශ්ය සරල බහුතරයේ කැමැත්ත ලබා ගැනීමේ ආසන්නයට ඉන්ෆන්ටීනෝ පැමිණ ඇතැයි පැවසෙනවා. ඒ උත්සාහයේදී සමහර තීරණාත්මක ඡන්ද ආසියාවෙන් ලැබීමට ඉඩ තිබෙනවා.
ආසියානු පාපන්දුවේ අසමගිය
ලෝක කුසලාන තරගාවලිය විකිණීමේ යෝජනාව හමුවේ ආසියානු පාපන්දු සම්මේලනය ද ඉන්ෆන්ටීනෝ විවේචනය කිරීමේ ක්රියාවලියට එක් වූව ද, එහි සාමාජිකයින් අතර ඒ සම්බන්ධයෙන් එකමුතු වීමක් පෙනෙන්නට නැහැ.
2022 ලෝක කුසලානයේ සත්කාරක රට වූ කටාර් දේශය ඔවුන්ගේ සහයෝගය ඉන්ෆන්ටීනෝ ට ලබා දෙන බවට ප්රකාශ කර තිබෙන අතර ජෝර්දානය ඔවුන්ගේ විරුද්ධත්වය දක්වා තිබෙනවා.
FIFA කවුන්සලය ඊළඟට දෙසැම්බර් 16 වැනිදා කටාර් හි ඩෝහා නගරයේ රැස්වීමට නියමිතයි.
සම්මේලන 211න් 87ක් ඉන්ෆන්ටීනෝ ට
FIFA සාමාජික සම්මේලන 211න් 87ක් ඔවුන්ගේ තනි ප්රකාශයන් හෝ නිවේදන මගින් ඉන්ෆන්ටීනෝ ට සහාය දක්වා ඇතැයි AP විදෙස් මාධ්ය ජාලය කළ ගණනය කිරීමකදී හෙළි වී තිබෙනවා. ඔහුට වැඩිම විරෝධයක් එල්ල වන ඡන්ද ප්රමාණය තිබෙන්නේ යුරෝපයේ.
FIFA සභාපති තනතුර හොබවමින් සිටියදී නැවත තේරී පත්වීමේ මැතිවරණයකට ඉදිරිපත් වූ කිසිම කෙනෙක් 1974 වසරෙන් පසුව පරාජය වී නැහැ. ඉන්ෆන්ටීනෝ ට එරෙහිව අපේක්ෂකයෙකු ඉදිරිපත් වීමට තිබෙන අවසාන දිනය වන්නේ නොවැම්බර් 18.
සටහන: වර්නන් ගුණසේකර (ක්රීඩා සංස්කාරක)




