The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන් මංගල ටෙස්ට් ගැටුම: සවස තේ පානයේදී ඇෆ්ගනිස්තානය කඩුලු 5ක් දැවී ලකුණු 168 යි

T

The Leader Desk

February 2, 2024 • 9:49 AM

ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන් මංගල ටෙස්ට් ගැටුම: සවස තේ පානයේදී ඇෆ්ගනිස්තානය කඩුලු 5ක් දැවී ලකුණු 168 යි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර එස්.එස්.සී.
  • ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වූ මංගල ටෙස්ට් ක්‍රිකට් තරගය සවස තේ පානය සඳහා නතර කරන විට ඇෆ්ගනිස්තානයේ කඩුලු 5ක් ලකුණු 168කට බිඳ වැටී තිබුනා.
  • මේ අනුව දිවා ආහාරයෙන් පසුව ඔවුන් ලකුණු 78ක් රැස්කර ගෙන තිබුනේ කඩුලු 3ක් අහිමි කරගෙන.
  • මෙයින් කඩුලු 2ක් ලබා ගත්තේ ප්‍රභාත් ජයසූරිය.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වූ මංගල ටෙස්ට් ක්‍රිකට් තරගය සවස තේ පානය සඳහා නතර කරන විට ඇෆ්ගනිස්තානයේ කඩුලු 5ක් ලකුණු 168කට බිඳ වැටී තිබුනා.

මේ අනුව දිවා ආහාරයෙන් පසුව ඔවුන් ලකුණු 78ක් රැස්කර ගෙන තිබුනේ කඩුලු 3ක් අහිමි කරගෙන. මෙයින් කඩුලු 2ක් ලබා ගත්තේ ප්‍රභාත් ජයසූරිය.

නොදැවී ක්‍රීඩා කරමින් සිටි පිතිකරුවන් වුනේ ඉක්රම් අලිඛිල් (21) හා කයිස් (8).

දෙරට අතර පැවැත්වෙන මංගල ටෙස්ට් ගැටුමේ පළමු පන්දුව යැවුවේ අසිත ප්‍රනාන්දු. දෙවැනි පන්දුවෙන් ම ඇෆ්ගන් පළමු කඩුල්ල ලබා ගැනීමට ඔහු සමත් වුනේ ඉබ්‍රහිම් සඩ්රාන් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමින්.

 

pix 4
මේ එතිහාසික ටෙස්ට් තරගයේ පළමු හතරේ පහර වාර්තා වුනේ අංක 1 පිතිකරු ලෙස පිටියට පිවිසි රහමට් ෂා ගෙන්. ‘තර්ඩ් මෑන්’ කලාපයෙන් ඔහු ඒ පහර විශ්ව ප්‍රනාන්දු ට එල්ල කළේ තරගයේ යැවුනු දෙවැනි ඔ්වරයේ දෙවැනි පන්දුවට. 11 වැනි ඕවරය අවසන් වන විට ඇෆ්ගන් මුළු ලකුණු 50 වාර්තා වුනා.

ආරම්භක පිතිකරු නූර් අල් සඩ්රාන් හා රහමට් ෂා දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 85කින් ලකුණු 57ක් රැස්කර ගෙන සිටියදී වමතින් මඳ වේග පන්දු යවන විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවට සඩ්රාන් දුන් උඩ පන්දුව ප්‍රනාන්දු විසින් ම රැක ගැනීමෙන් සඩ්රාන් දැවී ගියා. පන්දු 46කට මුහුණ දුන් ඔහුගේ මංගල ටෙස්ට් ඉනිම හතරේ පහර 5ක් සමග ලකුණු 31කින් සමන්විතව තිබුනා. ඇෆ්ගනිස්තානය කඩුලු 2 ට ලකුණු 57 යි.

දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ඇෆ්ගනිස්තානය කඩුලු 2ක් දැවී ලකුණු 90ක් රැස්කර ගෙන සිටියා.

ඇෆ්ගන් මුළු ලකුණු 100 වාර්තා වුනේ දිවා ආහාරයෙන් පසුව යැවුනු හය වැනි ඕවරයේ. සමස්ත තරගයේ 31 වැනි ඕවරයේදී මුළු ලකුණු 100 සටහන් වුනේ චාමික ගුණසේකර ට එරෙහිව රහමට් ෂා එල්ල කළ හතරේ පහරකින්.

ෂා සහ නායක නායක හෂ්මතුල්ලා ෂහිඩි එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 52ක සබඳතාවක් ගොඩනගමින් සිටියදී 33 වැනි ඕවරයේ විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවකට කඩුලු රකින සදීර සමරවික්‍රම අතට උඩ පන්දුවක් දෙමින් ෂහිඩි ලකුණු 17කට දැවී ගියා.

pix 5
ඊළඟ ඕවරයේදී සිවුවැනි කඩුල්ල බිඳ වැටුනේ වමතින් දඟ පන්දු යවන ප්‍රභාත් ජයසූරියගේ පන්දුවක් නසිර් ජමාල් විසින් නිදැල්ලේ යාමට ඉඩ දීම හේතුවන්. දඟ කැවීමක් නොතිබුනු ඒ පන්දුව පිත්ත පසුකර කෙළින් ම පිට ඉන්නේ ගැටෙන විට ජමාල් ලකුණු ලබා ගැනීම ආරම්භ කර තිබුනේ නැහැ. මේ අනුව ඇෆ්ගන් සිවුවැනි කඩුල්ල මුළු ලකුණු 110දී බිඳ වැටුනා.

රහමට් ෂා ලකුණු 91ක් රැස්කර ගෙන සිටියදී දැවී ගියේ කඩුල්ල පසුපස සිට සදීර සමරවික්‍රම ප්‍රදර්ශනය කළ නුවණක්කාර ක්‍රීඩාවකින්. පිතිකරුවාගේ පිට පෙදෙසින් පතිත වුනු ජයසූරියගේ පන්දුවට පා පෙදෙසට ස්වීප් පහරක් එල්ල කිරීමට ෂා සූදානම් වන අයුරු වටහා ගත් සමරවික්‍රම කළින් ම ඒ පැත්තට දිව යමින් පිත්තේ ගැටී ආ උඩ පන්දුව අල්ලා ගැනීමට සමත් වුනා. පන්දු 138ක ෂා ගේ අගනා ඉනිමට හතරේ පහර 13ක් ඇතුළත්ව තිබූ අතර ඔහු සහ ඉක්රම් අලිඛිල් පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 68කින් ලකුණු 45ක් රැස් කළා. ඇෆ්ගනිස්තානය කඩුලු 5 යි ලකුණු 155 යි (ඕවරය 46).

මංගල ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ ශ්‍රී ලංකා නව නායක ධනංජය ද සිල්වා. තම කණ්ඩායම සතුව වේග පන්දු යවන්නන් තිදෙනෙකු සිටින බැවින් පළමුව පන්දු යැවීමට තීරණය කළ බව ඔහු ප්‍රකාශ කළා. වේග පන්දු යවන චාමික ගුණසේකර ට ඊයේ මංගල ටෙස්ට් වරම් හිමිවුනා.

ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩකයන් සිවු දෙනෙක් ම ඊයේ කුළුඳුල් ටෙස්ට් වරම් ලබා ගත්තා. ආරම්භක පිතිකරු නූර් අල් සඩ්රාන්, වමතින් දඟ පන්දු යවන සියා උර් රෙහමාන් සහ වේග පන්දු යවන්නන් වන මොහමඩ් සලීම් හා නවීඩ් සඩ්රාන් එම ක්‍රීඩකයන්.

ශ්‍රී ලංකා කණ්ඩායම: දිමුත් කරුණාරත්න, නිශාන් මදුෂ්ක, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, සදීර සමරවික්‍රම, චාමික ගුණසේකර, අසිත ප්‍රනාන්දු, ප්‍රභාත් ජයසූරිය, විශ්ව ප්‍රනාන්දු.

ඇෆ්ගනිස්තාන කණ්ඩායම: ඉබ්‍රහිම් සඩ්රාන්, නූර් අල් සඩ්රාන්, රහමට් ෂා, හෂ්මතුල්ලා ෂහිඩි, නසිර් ජමාල්, ඉක්රම් අලික්ති, සියා උර් රෙහමාන්, කායිස් අහමඩ්, නිජාට් මසූඩ්, මොහමඩ් සලීම්, නවීඩ් සඩ්රාන්. 

මංගල ටෙස්ට් ගැටුමට අලුත් නායකයෙක්(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...