අප්‍රිකාවෙන් හා දකුණු අමෙරිකාවෙන් කණ්ඩායමක් බැගින් සුදුසුකම් ලබා සිටිනවා.
තරගාවලියේ අවසන් පූර්ව කණ්ඩායම් හතරට ඇතුළු වීමේ සටන සඳහා අමෙරිකාවේ වේලාවෙන් අද ජූලි 9 වැනි බ්‍රහස්පතින්දා රාත්‍රියේ ඇරඹෙන අර්ධ අවසන් පූර්ව වටයට පිවිස සිටින කණ්ඩායම් වන්නේ ප්‍රංශය හා මොරොක්කෝව, ස්පාඤ්ඤය හා බෙල්ජියම, එංගලන්තය හා නෝවේ, ආජන්ටිනාව හා ස්විට්සලන්තය යන රටවල්.
මේ කණ්ඩායම් අතරින් නෝවේ ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අර්ධ අවසන් පූර්ව වටයට එදා මෙදා තුර ප්‍රථම වතාවට පිවිස සිටින්නේ බ්‍රසීලය ගෝල් 2-1කින් පරාජය කරමින් වීම විශේෂත්වයක්. කොංගෝව සමග තරගයෙන් පසුව හැරී කේන්ගේ නායකත්වයෙන් යුත් එංගලන්තය තවත් බියජනක තරගයකින් බේරෙමින් මෙක්සිකෝව ගෝල් 3-2කින් පරාජය කළා.
ස්පාඤ්ඤය ගෝල් 1-0කින් පෘතුගාලය පරදවමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝගේ ලෝක කුසලාන සිහිනය නිමා කරමින්. ප්‍රංශය හා බෙල්ජියම පිළිවෙලින් පැරගුවේ (1-0) හා සම-සත්කාරක අමෙරිකාව (4-1) පරාජය කළා.
ආජන්ටිනාව අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේ ලෝක කුසලාන පාපන්දු වාර්තා පොතට අලුත් පරිච්ඡේදයක් එක් කරමින්. ඊජිප්තුව ට එරෙහිව පැවති තරගයේ දෙවැනි භාගයේදී ගෝල් 0-2කින් පසුපසින් සිටි ලයනල් මෙසීගේ නායකත්වයෙන් යුත් ආජන්ටිනාව අවසානයේදී වික්‍රමාන්විත අයුරින් නැවත තරගයට අවතීර්ණ වෙමින් ගෝල් 3-2ක ජයග්‍රහණයක් වාර්තා කළා. කෙසේ වෙතත් මේ තරගයේ විනිසුරු දුන් තීරණ කිහිපයක් විශාල මතභේදයන්ට ලක්ව තිබෙනවා. මෙසී හා ආජන්ටිනාව තරගාවලියේ තවදුරටත් රඳවා තබා ගැනීමේ අරමුණ පෙරදැරි කරගත් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය පක්ෂග්‍රාහීව කටයුතු කරමින් ඊජිප්තුවෙන් ජයග්‍රහණය සොරා ගත් බවට මහත් ආන්දෝලනයක් පාපන්දු ලෝකයේ දැන් ඇතිව තිබෙනවා.
අවසාන කණ්ඩායම් අට ට සුදුසුකම ලබා ගත් අන්තිම කණ්ඩායම වුනේ ස්විට්සලන්තය. කොලොම්බියාව සමග පැවති තරගයේ මිනිත්තු 120ක සම්පූර්ණ කාලය අවසානයේ පැවති පෙනල්ටි එල්ල කිරීමේදී ස්විට්සලන්තය 4-3ක ජයක් වාර්තා කිරීමට සමත් වුණා.
මොරොක්කෝව කණ්ඩායම් 16 දෙනාගේ වටය මුලදීම සම-සත්කාරක කැනඩාව ගෝල් 3-0කින් පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට ඇතුළු වුණා.
අර්ධ අවසන් පූර්ව වටය ප්‍රංශය හා මොරොක්කෝව අතර බොස්ටන් ක්‍රීඩාංගණයේ හෙට අළුයම 1.30 ට පැවැත්වෙන තරගයෙන් ආරම්භ වනවා.
2026 ලෝක කුසලාන පාපන්දු අර්ධ අවසන් පූර්ව වටය (ඉන්දියා වේලාවෙන්)
ජූලි 10 - පෙරවරු 1.30 - ප්‍රංශය හා මොරොක්කෝව (බොස්ටන් ක්‍රීඩාංගණය)
ජූලි 11 - පෙ.ව. 12.30 - ස්පාඤ්ඤය හා බෙල්ජියම (ලොස් ඇන්ජලීස් ක්‍රීඩාංගණය)
ජූලි 12 - පෙ.ව. 2.30 - එංගලන්තය හා නෝවේ (මයාමි ක්‍රීඩාංගණය)
ජූලි 12 - පෙ.ව.6.30 - ආජන්ටිනාව හා ස්විට්සලන්තය (කැන්සාස් සිටි ක්‍රීඩාංගණය)
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com




