බ්‍රසීලය ගෝල් 3-0කින් ස්කොට්ලන්තය පරාජය කළ ලෝක කුසලාන පාපන්දු තරගයට නේමා පිවිසියේ දෙවැනි භාගයේ ආදේශ ක්‍රීඩකයෙකු ලෙසින්.
නේමාගේ මේ සවේදී ආගමනයට පෙර 34 හැවිරිදි ක්‍රීඩකයා ජාතික කණ්ඩායමෙන් ඉවත් කර තිබුනේ 2023 ඔක්තෝබරයේ උරුගුවේ ට එරෙහිව බරපතල පාදයේ ආබාධයකට ලක්වීමෙන් පසුව. බ්‍රසීලය ගෝල් තුනකින් ස්කොට්ලන්තය ට වඩා ඉදිරියෙන් සිටියදී අද තරගයේ 74 වැනි මිනිත්තුවේදී නේමා පිටියට පා තබන විට මයාමි ක්‍රීඩාංගණයේ සෙනඟ අසුන්වලින් නැගිට ඔල්වරසන් දෙමින් හිටපු බ්‍රසීල පාපන්දු නායකයා පිළිගත්තා.
තරගයේ අවසන් විසිල් හඬ නිකුත් වනතෙක් මේ බ්‍රසීල පාපන්දු තරුව පන්දුව ස්පර්ශ කළ සෑම මොහොතකම ක්‍රීඩා ලෝලීන් ඔහුට ‘චියර්’ කළා. සිය හතර වැනි ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන නේමාගේ දෑස් තරගය අවසන් වන විට කඳුලින් පිරී තිබුණා.

“අවුරුදු තුනකට පස්සෙ ජාතික කණ්ඩායමේ ජර්සිය ආයෙත් අඳින්න ලැබීම ගැන මට ඉතාමත් සතුටුයි” යනුවෙන් නේමා බ්‍රසීලියානු මාධ්‍යයට ප්‍රකාශ කළා. “ශාරීරික වශයෙන් මම ඉතා හොඳයි කියලා මට දැනෙනවා. පැහැදිලිවම, පහුගිය දවස්වල පැත්තකට වෙලා ඉන්න සිදුවීම හරිම අමාරුයි.”
ඔහු තරගය ආරම්භ නොකළ අතර එය නේමා ආදේශිත ක්‍රීඩකයෙකු ලෙස මේ තරගයට ක්‍රීඩා කිරීමට ඉඩ තිබෙන බවට බ්‍රසීල පුහුණුකරු කාලෝ ඇන්චලොටී මේ සතිය මුලදී කියන විට ඔහුගේ සැලැස්ම වී තිබෙන්නට ඇති.
තරගයේ දෙවැනි භාගය අතරතුර නේමා බංකුවෙන් නැගිට ශරීරය උණුසුම් කර ගැනීම පිණිස පිටියේ පැති රේඛාව දිගේ එහාට මෙහාට දුවන්නට පටන් ගත් අවස්ථාවේ ඒ පෙදෙසේ සිටි ක්‍රීඩා ලෝලීන් උස් හඬින් ඝෝෂා කළා. පිටියට පා තැබූ විට හා නේමා පළමු වරට පන්දුව ස්පර්ශ කළ විට ‘චියර්’ හඬ වැඩි වුණා.
“මෙය අපි සියලු දෙනාටම ඉතා වැදගත් අවස්ථාවක්” යැයි බ්‍රසීලය වෙනුවෙන් ගෝල් දෙකක් ලබා ගත් විනීසියස් ජූනියර් පෘතුගීසි භාෂාවෙන් කියා සිටියා. “අපි අතිශයෙන් ඇලුම් දක්වන ක්‍රීඩකයා නැවත් ඇවිත්. සෑම අවස්ථාවකදීම ඉතාමත් ප්‍රබලව සටන් කළ, මෙතැනට එන්න හැම දෙයක්ම කළ ඔහු ආබාධයකට ලක්ව සිටි කාලයෙන් පසුව නැවත ඇවිත් සිටිනවා. ඔහුගේ දස්කම් ක්‍රමයෙන් ඇති කරගෙන දිගටම දියුණු වෙමින් අපට මේ තරගාවලියේ නියැලී සිටීම සඳහා උපකාර කිරීමට ඔහුට හැකිවනු ඇතැයි මම ප්‍රාර්ථනා කරනවා. දැන් වඩාත්ම වැදගත් වන්නේ එයයි” විනීසියස් ප්‍රකාශ කළා.

මේ තරගයට පෙර නේමා සහ බ්‍රසීල පාපන්දුවේ ලෙජන්ඩ් කෙනෙකු වන රොනල්ඩීන්යෝ (Ronaldinho) එකිනෙකා වැළඳ ගනු දුටු බ්‍රසීල පාපන්දු ලෝලීන්ගේ නෙත් කඳුලින් තෙත් වූ බව වාර්තා වනවා. 2002 වසරේ බ්‍රසීලය ට ලෝක කුසලානය දිනු දුන් කණ්ඩායමේ සිටි ප්‍රබල ඉදිරි පෙල ක්‍රීඩකයෙකි රොනල්ඩීන්යෝ. තමාගේ හිටපු කණ්ඩායම ක්‍රීඩා කරනු නැරඹීම පිණිස ඔහු මයාමි නගරයට පැමිණ සිටියා. 46 වැනි වියේ සිටින ඔහු තරගයට ආරම්භ වීමට පෙර බ්‍රසීල සංචිතය වෙත පැමිණ කාර්ය මණ්ඩලයට සහ ක්‍රීඩකයින්ට සුබ පැතුවා.
තරගය අවසන් වූ සැනින් නේමා පිටියේ පැත්තකට වී තරගය නරඹමින් සිටි ඔහුගේ පෙම්වතිය හා දියණියන් දෙදෙනා වෙත ගොස් ඔවුන් සිප වැළඳ ගත්තා.
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com




