The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ස්ත්‍රීපුරුෂත්වයේ සටන : Battle of the Sexes

T

The Leader Desk

November 4, 2023 • 1:24 PM

ස්ත්‍රීපුරුෂත්වයේ සටන : Battle of the Sexes

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉතිහාසයේ වැඩිම පිරිසක් නැරඹූ ටෙනිස් තරගය ට මේ වසරේදී අවුරුදු 50ක් පිරුනා.
  • ක්‍රීඩා ප්‍රතිමූර්තියක් වන බිලී ජීන් කිං ටෙනිස් ක්‍රීඩිකාව සහ හිටපු ලෝක අංක 1 ටෙනිස් ක්‍රීඩක බොබී රිග්ස් අතර පැවති මේ තරගය මිලියන 90ක් රූපවාහිනියෙන් නැරඹූ බවට ගණන් බලා තිබෙනවා.
  • තවත් මුදල් ප්‍රමාණයක් ඉපයීමේ අවස්ථාවක් දුටු ඔහු 29 හැවිරිදි බිලී ජීන් කිං ට හා 31 හැවිරිදි මාගරෙට් කෝට් යන මුල් පෙලේ ටෙනිස් ක්‍රීඩිකාවන්ට අභියෝග කළේ තමා අවුරුදු 55 වැනි වියේ පසුවූවත් ඔවුන් පරාජය කළ හැකි බවට පුරසාරම් දොඩමින්.
  • ජයග්‍රහණය සඳහා පිරිනැමෙන මුදල ඩොලර් 100,000ක්.
අකුරු ප්‍රමාණය (Font Size):

‘ස්ත්‍රීපුරුෂත්වයේ සටන’ ලෙසින් හැඳින්වුනු මේ තරගය පැවැත්වුනේ 1973 වසරේ සැප්තැම්බර් 20 වැනිදා.

xcfger6
ක්‍රීඩා ප්‍රතිමූර්තියක් වන බිලී ජීන් කිං ටෙනිස් ක්‍රීඩිකාව සහ හිටපු ලෝක අංක 1 ටෙනිස් ක්‍රීඩක බොබී රිග්ස් අතර පැවති මේ තරගය මිලියන 90ක් රූපවාහිනියෙන් නැරඹූ බවට ගණන් බලා තිබෙනවා.

උග්‍රජාතිභේදවාදියෙකු වූ හිටපු විම්බ්ල්ඩන් ශූර රිග්ස් තමාගේ ම ටෙනිස් තරග සූදුවෙන් විශාල ධනයක් උපයා ගත් පුද්ගලයෙක්. තවත් මුදල් ප්‍රමාණයක් ඉපයීමේ අවස්ථාවක් දුටු ඔහු 29 හැවිරිදි බිලී ජීන් කිං ට හා 31 හැවිරිදි මාගරෙට් කෝට් යන මුල් පෙලේ ටෙනිස් ක්‍රීඩිකාවන්ට අභියෝග කළේ තමා අවුරුදු 55 වැනි වියේ පසුවූවත් ඔවුන් පරාජය කළ හැකි බවට පුරසාරම් දොඩමින්.

ජයග්‍රහණය සඳහා පිරිනැමෙන මුදල ඩොලර් 100,000ක්.

කිං ඔහුව ගණනකට නොගත්තත් කෝට් අභියෝගය බාර ගෙන රිග්ස් සමග 1973 වසරේ මැයි 13 වැනිදා කැලිෆෝනියාවේදී තරගයකට ක්‍රීඩා කළා.

තරගයේ වැදගත්කම පිළිබඳව වටහා ගත් කිං එය බැරෑරුම් ලෙසට සලකන්නැයි කෝට් ට කියා සිටියේ ඇය තුළ උනන්දුවක් ඇති කිරීම ට.

“මාගරෙට්...මේක ටෙනිස් තරගයක් නෙවෙයි. මේක සමාජ වෙනස පිළිබඳ කාරණයක්. මෙය සමාජ යුක්තිය හා අපි පෙනී සිටින සෑම දෙයක් ම ගැන තිබෙන තරගයක්” යනුවෙන් තමා පැවසූ බව කිං මෙනෙහි කරනවා.

දේශපාලනය සම්බන්ධයෙන් උනන්දුවක් නොතිබුනු කෝට් තමා දැක්වූ අදහස ට එකඟ නොවූ බව කිං කියනවා.

මාගරෙට් 1973 වසරේ ‘මව්වරුන්ගේ දිනයේ’දී රිග්ස් සමග තරග වැදී ලකුණු 6-1, 6-2කින් පරාජය වූ අතර එම තරගය ට ‘මව්වරුන්ගේ දින අන්ත පරාජය’ යන නම පටබැඳුනා.

zdt45
මාගරෙට් කෝට්ගේ පරාජයෙන් පසුව බිලී ජීන් කිං ඇගේ තීරණය වෙනස් කර බොබී රිග්ස් සමග හියුස්ටන් හි ගෝලාකාර වහලයක් සහිත ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී 1973 සැප්තැම්බර් 20 වැනි දිනයේ තරග කිරීමට එකඟ වුනා.

“මම ඒ තරගය දිනුවේ නැත්නම් අපි අවුරුදු පණහක් ආපස්සට යයි කියලා මට හිතුනා. එයින් කාන්තා ටෙනිස් තරගමාලාව විනාශ වී කාන්තාවන් සියළු දෙනාගේ ආත්මාභිමානය ට අහිතකර බලපෑමක් ඇති වේවි කියා මම හිතුවා” යැයි කිං පවසා සිටියා.

තරග ප්‍රවර්ධකයන් මේ තරගය ‘Battle of the Sexes’ ලෙසින් හැඳින්වූ අතර එය ලොව පුරා ම සහ අමෙරිකාවේ රූපවාහිනිය වැඩියෙන් ම නරඹන කාලය තුළ විකාශය වුනා.

මේ තරගය තවත් වර්ණවත් කරමින් ක්‍රීඩිකාව සහ ක්‍රීඩකයා තරග බිමට පිවිසියේ නාට්‍යමය ස්වරූපයකින්. ක්ලියෝපැට්රා විලාසයෙන් රන් දෝලාවකින් කිං පැමිණි අතර රිග්ස් ආවේ මඳ පමණට ඇඳුම් ඇඳගත් නිරූපිකාවන් විසින් ඇදගෙන ආ රික්ෂෝවකින්.

xfyt56
තරගය ආරම්භ වූ පසු එය තම අණසකට යටත් කර ගත් කිං ලකුණු 6-4, 6-3, 6-3ක් ලෙස කෙළින් ම වට තුනකින් රිග්ස් පරාජය කළා.

කිං ට අනුව තරගයේ සැබෑ ජයග්‍රහණය තිබුනේ මීට වඩා ලොකු සාධකයක් මත.

“අවුරුදු 55ක කෙනෙක් පැරදවීම මට සතුටක් නෙවෙයි. මම ප්‍රීතියෙන් ප්‍රමෝදයට පත්වුනේ අලුත් මිනිසුන් ට ටෙනිස් ක්‍රීඩාව ට එන්න මාර්ගය විවෘත කිරීම ට හැකි වීම ගැන යි” කිං පසුව සඳහන් කර සිටියා.

කිං සහ රිග්ස් තරගය අවසානයේ එකිනෙකා වැළඳ ගත් අතර 1995 වසරේදී පිළිකාවකින් රිග්ස් මිය යන තුරු ම දෙදෙනා අතර පිටියෙන් පිට මිතුදම පැවතුනා.

‘ස්ත්‍රීපුරුෂත්වයේ සටන’ ට පෙර සිට ම කිං කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කෙනෙක් ලෙසින් නමක් දිනා ගෙන සිටියා. ටෙනිස් ක්‍රීඩාවේදී කාන්තාවන්ට සම තැන ලබා ගැනීමේ උත්සාහයේ තීරණාත්මක අවස්ථාවක් වූ කාන්තා ටෙනිස් සංගමය 1973 වසරේදී පිහිටුවා ගැනීම ට ඇය මූලිකත්වය ගෙන ක්‍රියා කළා.

1973 අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල ශූරතාව සඳහා ද එහි පිරිමි ශූරතාව වෙනුවෙන් ගෙවන ත්‍යාග මුදල ම ලබා නොදෙන්නේ නම් එම තරගාවලිය වර්ජනය කරන බවට කිං තර්ජනය කළා.

gu567

“1972දී මම අමෙරිකානු විවෘත තරගය දිනලා මට ඩොලර් 10,000ක් ලැබුනා. පිරිමි ජයග්‍රාහකයා ඩොලර් 25,000ක් දිනා ගත්තා. මට ඒ ගැන සතුටක් නැහැ.

1972 මාධ්‍ය හමුවේදී මම ඔවුන්ට කීවා එක සමාන ත්‍යාග මුදලක් අපටත් ලැබෙන්නේ නැත්නම් අපි ලබන අවුරුද්දේ තරගයට එන්නේ නැහැ කියලා.”

කිංගේ සටන සාර්ථක වෙමින් 1973 වසරේ අමෙරිකා විවෘත ටෙනිස් තරගාවලිය පිරිමි හා කාන්තාවන්ට එක සමාන ත්‍යාග මුදල් පිරිනමන ලොව පළමු ප්‍රධානතම ටෙනිස් තරගාවලිය බවට පත්වුනා.

‘ග්‍රෑන්ඩ් ස්ලෑම්’ ඉසව් සියල්ලේම එක සමාන මුදල් ගෙවීමක් සඳහා කිං ආරම්භ කළ සටනේ මල් ඵල ගැන්වීමට අවුරුදු 34ක් ගතවුනා. විම්බ්ල්ඩන් තරගාවලිය ‘ග්‍රෑන්ඩ් ස්ලෑම්’ තරගාවලි හතරෙන් මේ ගෙවීම්වලට එකඟ වූ අන්තිමයා බවට 2007 වසරේ පත්වීමත් සමග කිංගේ වෑයම සම්පූර්ණ වුනා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
 

 

 

 

WhatsApp Image 2023 11 03 at 19.11.22 5fdb5551

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...