ලොව ප්‍රධාන ක්‍රීඩා තරග ධාරාවේ තහනම් කර ඇති ක්‍රීඩා ශක්තිය වැඩි කරන ශරීර උත්තේජන (මත්ද්‍රව්‍ය) භාවිතා කරමින් ඉහළ පෙළැන්තියේ ක්‍රීඩකයින් 42ක් සහභාගි වන Enhanced Games ලෙසින් නම් කර තිබෙන මේ මංගල ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ සාධාරණව තරග කරන ක්‍රීඩකයින් අධෛර්යය කරමින් මෙන්ම ඔවුන් තුළ කුතුහලය ද අවුස්සමින්.
ක්‍රීඩාවේදී වංචා කිරීම හා ශරීර සෞඛ්‍යයට අවදානමක් ගෙන එන තහනම් ශරීර උත්තේජන භාවිතයට එරෙහි දීර්ඝ කාලීන සටනක නිරතව සිටින විවේචකයින් බොහෝ දෙනෙක් ‘පාපයේ නගරයේ’ පැවැත්වෙන මේ ක්‍රීඩා උළෙල දෙස බලන්නේ එය ක්‍රීඩකයින් තහනම් මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම සාමාන්‍ය තත්ත්වයට පත්කරවන අනතුරුදායක සිදුවීමක් ලෙසටයි.
බොහෝ හෝමෝන විටමින හා ඇල්කොලයිඩ ද ඇතුළත් ‘ස්ටෙරොයිඩ ඔලිම්පික්ස්’ යැයි හඳුන්වා ගන්නා මේ ක්‍රීඩා උළෙල පිටුපස සිටින අය දැඩි ලෙස කියා සිටින්නේ මේ ඉසව්වෙන් මලල ක්‍රීඩා උත්කෘෂ්ටතාව, විද්‍යාත්මක නවෝත්පාදනය සැමරීම හා මානව හැකියාව ගවේෂණය කිරීම යන ප්‍රතිඵල ගෙන එන බවයි.
කෙටි දුර ධාවනය, පිහිනුම් හා බර ඉසිලීම යන ඉසව්වලින් මේ ක්‍රීඩා උළෙලට සහභාගි වීමට නියමිතව සිටි ක්‍රීඩකයින් 40 දෙනෙකුගෙන් පමණ සමන්විත වූ කණ්ඩායමක් සියලු වියදම් ගෙවනු ලැබූ, අතිනවීන ක්‍රීඩා පහසුකම්වලින් යුත් අබුඩාබි හි සුඛෝපභෝගී නිවාඩු නිකේතනයක රැස්වී දැන් මාස තුනක කාලයක් ගෙවී ගොස් තිබෙනවා.
බොහෝ දෙනෙකුට සිහිනෙන් පමණක් සිතාගත හැකි තරගවලට පෙනී සිටීමේ මුදලක් සහ තමන් සහභාගි වන ක්‍රීඩාවේ ලෝක වාර්තාව බිඳ දැමීමට සමත් වුවහොත් ඩොලර් මිලියනයක ත්‍යාගයක් දිනා ගැනීමේ අවස්ථාවක් පිරිනැමෙන මේ ක්‍රීඩා උළෙල මගින් ක්‍රීඩා ජීවිත දීර්ඝ කර ගැනීමට හෝ නැවත ප්‍රාණවත් කර ගැනීමට අවස්ථාවක් උදා කර දී තිබුණා.
ඉන්පසුව පැමිණියේ මත්ද්‍රව්‍ය.
අබුඩාබි නගරයෙන් බැහැර, මිනිත්තු 30ක පමණ වාහනයකින් යන දුරින් පිහිටි රෝහලකදී මේ ක්‍රීඩකයින්ට ඔවුන් වෙනුවෙන් තනි තනිව විශේෂයෙන් සකස් කරන ලද තහනම් ශරීර උත්තේජන පිළිගැන්වුණා. ලෝක මත්ද්‍රව්‍ය-විරෝධී ඒජන්සිය (WADA) විසින් දැඩි ලෙස තහනම් කර තිබෙන මේ මේ මත්ද්‍රව්‍ය එම රෝහලේදී භාවිතා කිරීමට ඉඩ දී තිබුණා.
ඒ ඒ ක්‍රීඩකයින් ලබා ගෙන තිබෙන ශරීර උත්තේජන මත්ද්‍රව්‍ය මොනවාද යන්න Enhanced Games ප්‍රධානීන් හෙළිදරව් කර නැතත් ඔවුන් පහත සඳහන් විස්තර නිකුත් කර තිබෙනවා.
*ක්‍රීඩකයින්ගෙන් සියයට 91ක් ටෙස්ටොස්ටරෝන් නමැති ප්‍රධාන පුරුෂ හොර්මෝනය හෝ ටෙස්ටොස්ටරෝන් සංයෝජන භාවිතා කළා
*සියයට 79ක් මානව වර්ධනයේ හෝමෝන භාවිතා කළා
*සියයට 62ක් උත්තේජක භාවිතා කළා
*සියයට 50ක් රසායනික අනුකලන භාවිතා කළා
*සියයට 41ක් රතු රුධිර සෛල නිපදවන ද්‍රව්‍ය භාවිතා කළා
*සියයට 29ක් කෘතිම උත්තේජක හෝමෝන කාරක භාවිතා කළා
*සියයට 5ක් හෝමෝනමය ආධාරක ප්‍රතිකාරක භාවිතා කළා
පෙබරවාරියේ පැවති Enhanced Games පුහුණු කඳවුරට ගිය BBC Sport මාධ්‍යවේදීන්ට මේ රෝහලට ඇතුළු වීමට ඉඩ නොදුන් අතර මේ ශරීර උත්තේජක සියල්ල අමෙරිකානු ආහාර සහ ඖෂධ පරිපාලනය (FDA) විසින් අනුමත කර තිබෙන බවත් ශායනික අත්හදා බැලීමක කොටසක් වශයෙන් දැඩි වෛද්‍ය අධීක්ෂණය යටතේ ලබා දුන් මේ ශරීර උත්තේජක භාවිතා කළ සියලු දෙනාවම හොඳින් අධීක්ෂණය කළ බවත් සංවිධායකයින් අවධාරණය කර තිබෙනවා. තමන්ගේ ක්‍රීඩකයින් සිවු දෙනෙක් ස්වභාවික ලෙස තරග කරන බව Enhanced Games බලධාරීන් සඳහන් කරනවා.
කෙසේ වෙතත්, මේ ක්‍රීඩා උළෙලේ කටයුතු ආරම්භ කළ දා පටන් ලෝකයේ ක්‍රීඩා පාලක මණ්ඩල හා තහනම් මත්ද්‍රව්‍ය විරෝධී බලධාරීන් මේ ව්‍යාපෘතියට දැඩි අප්‍රසාදය පළ කර තිබෙනවා.
මේ තත්ත්වය මධ්‍යයේ, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) සහ WADA මේ ක්‍රීඩා උළෙල ‘දුරාචාර’ සහ ‘භයානක හා වගකීම් රහිත’ සංකල්පයක් ලෙස හඳුන්වා දී තිබෙනවා. මේ ක්‍රීඩා උළෙලට සහභාගි වන ඔ්නෑම අයකු මන්ද බුද්ධිකයෙක් බව ලෝක මලල ක්‍රීඩා සභාපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. මීට අමතරව, ලෝක ජලක්‍රීඩා සම්මේලනය මේ ක්‍රීඩා උළෙලට සහභාගි වන කිසිම කෙනෙකුට ඔවුන්ගේ තරගවලට පැමිණීම තහනම් කළ පළමු ක්‍රීඩා පාලක මණ්ඩලය බවට පත්ව සිටිනවා.
ක්‍රීඩාව දශක ගණනාවක් තිස්සේ මත්ද්‍රව්‍ය වංචාකරුවන්ට එරෙහිව වෙහෙසකර සටනක් කරගන යන්නේ තරගකාරිත්වයේ අවංකත්වය ආරක්ෂා කිරීමේ හා තරග නරඹන්නන්ට ඔවුන් දකින දේ විශ්වාස කළ හැකි බවට සහතික වීමේ උත්සාහයක යෙදෙමින්.
එහෙත් දැන්, පිරිසිදු ක්‍රීඩාව විසින් විශ්වාසය රඳවා ඇති සම්ප්‍රදායික මූලධර්ම උල්ලංඝනය කරන ක්‍රීඩා උළෙලක් පැමිණ තිබෙනවා. Enhanced Games යනු ක්‍රීඩාවේ ප්‍රධාන ධාරාවෙන් වෙන්වූ ක්‍රීඩා උළෙලක් බවට සංවිධායකයින් කොතෙක් පැවසූවත්, මෙයින් ගෙන එන්නේ නරක ආදර්ශයක් ම යි. මෙමගින් සම්ප්‍රදායානුකූල තරගකාරිත්වයේ තිබෙන වංචාවේ වැඩිවීමක් ආරම්භ වීමට ඉඩ තිබෙනවා.
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com




