ඒ අනුව, උසාවියේ පෙනී සිටින ලෙසට ඔවුන් ගෝලීය පාපන්දු පාලක මණ්ඩලයට සිතාසි යවා තිබෙන්නේ ලොව පුරා පාපන්දු ලෝලීන් මහත් කලකිරීමට පත්කර තිබෙන ටිකට් අලෙවි කිරීමේ ‘නීතිවිරෝධී’ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉතා බරපතල විමර්ශනයක් ක්‍රියාත්මක කරමින්. රොකට් වේගයෙන් ඉහළ ගොස් තිබෙන ප්‍රවේශ පත් මිල ගණන් හා ඒවායේ ‘ව්‍යාජ හිඟකම’ පිළිබඳව නීතිපතිවරු ගෝලීය පාපන්දු ප්‍රධානීන්ගෙන් පිළිතුරු ඉල්ලා තිබෙනවා.
ලෝක කුසලාන අවසාන මහා තරගය ද ඇතුළුව MetLife ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරග අට සඳහා වන ප්‍රවේශ පත් පිළිබඳ විස්තර තමන් විශේෂයෙන් ඉල්ලා ඇති බව Letitia James (නිව්යෝක්) හා Jennifer Davenport (නිව් ජර්සි) නීතිපතිවරුන්ගේ කාර්යාල ප්‍රවෘත්ති නිවේදනයකින් කියා තිබෙනවා.

මේ විමර්ශනය මගින් FIFA ගේ ප්‍රවේශ පත් අලෙවි ක්‍රමවේදයෙන් හටගෙන තිබෙන ප්‍රශ්න ගණනාවක් පිළිබඳව පරීක්ෂණ පවත්වන බව එම නිවේදනයෙන් ප්‍රකාශ කර තිබෙනවා. ටිකට් මිලියන ගණනින් දැනටමත් විකිණී අවසන් වීමෙන් පසුවත් ක්‍රීඩාංගණයේ ආසන සිතියම හා FIFA වැඩි මිලකට නිර්මාණය කර තිබෙන ‘ඉදිරි’ අසුන් පේළි අංශය මගින් තමන්ව මුළා කිරීම, එහි ව්‍යාකූලත්වය හා පොදුවේ තිබෙන මිල ගණන් සම්බන්ධයෙන් ක්‍රීඩා ලෝලීන්ගේ පැමිණිලි නීතිපති කාර්යාල විසින් උපුටා දක්වා තිබෙනවා.
පාපන්දු ලෝලීන් මුළා කිරීමේ හංවඩුව ගැසී තිබෙන ලෝක කුසලාන ටිකට් සිතියමේ නීත්‍යානුකූල භාවය පිළිබඳව ප්‍රශ්න කරමින් කැලිෆෝනියාවේ නීතිපතිවරයා ද FIFA වෙත ලිපියක් යවා තිබෙනවා.
මීට අමතරව අමෙරිකානු කොංග්‍රසය ද, ටිකට් මිල වැඩි කිරීමේ අරමුණින් ප්‍රවේශ පත් සැපයුම සීමා කිරීම ඇතුළු රවටන සුලු ක්‍රියාවන් පිළිබඳව සැලකිල්ල යොමු කර තිබෙනවා.
තොරතුරු ලබා දෙන ලෙසට තමන් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයට නියෝග කර තිබියදී තමන්ට පාරිභෝගික හා සේවක ආරක්ෂාව පිළිබඳ නිව්යෝක් නගර දෙපාර්තමේන්තුවෙන් ගවේෂණාත්මක සහායක් ද ලැබෙන බව නීතිපතිවරු කියනවා. මේ කාරණයට අදාළ සිතාසියෙන් සිදුවන්නේ අභ්‍යන්තර තොරතුරු හෝ ලේඛන නිදහස් කිරීම සඳහා FIFA ආයතනය බලෙන් යොමු කරවා ගැනීමයි.

මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භයට පෙර මහත් බලපෑමක් ඇති කර තිබෙන ප්‍රවේශ පත්‍ර අලෙවිය සම්බන්ධයෙන් මාස ගණනාවක් තිස්සේ පවතින කතාවක අලුත්ම සිදුවීමයි මේ විමර්ශනය.
FIFA පසුගිය කාලය මුළුල්ලේම අංශ හතරකින් ටිකට් මිලියන ගණනක් අලෙවි කර තිබෙනවා. ක්‍රීඩා ලෝලීන්ගේ කෝපයට හේතු වී තිබෙන පළමු කාරණය වන්නේ මෙවර තරගාවලියේ ටිකට්වල මිල ගණන් මීට කලින් පැවති සෑම ලෝක කුසලාන තරගයකම සෑම අංශයක් වෙනුවෙන් නියම කර තිබූ ප්‍රවේශ පත් මිලට වඩා ඉතා වැඩි වී තිබීමයි.
මේ සම්බන්ධයෙන් හටගෙන තිබූ විරෝධතා මධ්‍යයේත් ඔක්තෝබර් සිට නොවැම්බර් දක්වා කාලයේදී ටිකට් මිල ඉහළ දැමීමෙන් නතර නොවූ FIFA නැවත දෙසැම්බර් මාසයේ පැවති ලෝක කුසලාන තරගාවලියේ කුසපත් ඇදීමෙන් පසුවත්, ඊටත් පසුව අප්‍රේල් මාසයේ ‘අවසාන-මිනිත්තුවේ අලෙවි අදියරක්’ විවෘත කළ අවස්ථාවේදීත් ටිකට් මිල වැඩි කළේ හිතුවක්කාර ලෙස කටයුතු කරමින්.

(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com




