The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

පියාඹන ෆිජියන්ස්ලා - Flying Fijians

T

The Leader Desk

October 18, 2023 • 9:37 AM

පියාඹන ෆිජියන්ස්ලා - Flying Fijians

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ෆිජි රගර් ක්‍රීඩාව සහ ශ්‍රී ලංකා රග්බි ක්ෂේත්‍රය අතර කලක් තිබුනේ සමීප සබඳතාවක්.
  • ෆිජි ක්‍රීඩකයින් 1984 සිට 2008 දක්වා වූ වකවානුවේ ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩා සමාජ කණ්ඩායම් නියෝජනය කළ අන්තර් සමාජ රග්බි තරග නැරඹූ ක්‍රීඩා ලෝලීන්ගේ සිත්සතන් තුළ ඔවුන්ගේ ඒ දර්ශනීය ක්‍රීඩා විලාසයන් තවමත් රැඳී තිබෙනු නොඅනුමානයි.
  • පසුව ඔවුන් 3 වැනි චාල්ස් රජ්ජුරුවන් එම පලාතේ සංචාරය කළ අවස්ථාවේදී “Au Rai Vei Kemuni” භක්ති ගීතිකාව ගැයුවේත් එක ගොඩට වෙලා.
  • ජොෂුආ ටුවීසෝවා කණ්ඩායමේ සගයෙකු වන ජොෂුආ ටුවීසෝවා ඔහුගේ හත් හැවිරිදි පුතා වන ටිටො දීර්ඝ කාලීන රෝගයකින් බෙලහීන වී සිට මිය ගිය බව දැනගෙන දුක් වෙමින් සිටියදී ඔහු සමග මේ ක්‍රීඩකයන් දුක බෙදා ගත්තේත් එකට සිටිමින්.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙරට අන්තර් සමාජ රග්බි තරගාවලියන් සඳහා විදෙස් ක්‍රීඩකයන් ගෙන්වූ වකවානුවේදී ලාංකේය රග්බි තරග බිම ආලෝකමත් කළේ මහනුවර ක්‍රීඩා සමාජය නියෝජනය කළ අප්සි නගාටා වැනි දක්ෂ ‌ෆිජි ක්‍රීඩකයන්.

ෆිජි ක්‍රීඩකයින් 1984 සිට 2008 දක්වා වූ වකවානුවේ ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩා සමාජ කණ්ඩායම් නියෝජනය කළ අන්තර් සමාජ රග්බි තරග නැරඹූ ක්‍රීඩා ලෝලීන්ගේ සිත්සතන් තුළ ඔවුන්ගේ ඒ දර්ශනීය ක්‍රීඩා විලාසයන් තවමත් රැඳී තිබෙනු නොඅනුමානයි.

fiji rugby 2891231

ෆිජි කණ්ඩායම එංගලන්තය ට එරෙහිව ප්‍රබල සටනක් ලබාදුණි

මෙවර ලෝක කුසලාන රග්බි තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණි ෆිජි කණ්ඩායම එංගලන්තය ට එරෙහිව ප්‍රබල සටනක් දී අවසානයේ ලකුණු 24-30කින් පරාජය වෙමින් තරගාවලියෙන් ඉවත්ව ගියේ ගෝලීය ගෞරවය දිනා ගනිමින් සහ අනාගතය වෙනුවෙන් වූ අපේක්ෂාවන් පොදි බැඳ ගෙන.

ලෝක කුසලාන රග්බි තරගාවලියේදී ඉතිහාසය නිර්මාණය කිරීම පිණිස ෆිජි ක්‍රීඩකයන්ට මඟ පෙන්වූ ප්‍රතිපත්තිය වූයේ කැපවීම හා මිත්‍රත්වය යි.

ගෙවුනු ජූලි මාසයේ වැසි හා සුළං සහිත එක් සැඳෑවක පැවති අතිශය වෙහෙසකර ලෝක කුසලාන රග්බි පුහුණු කඳවුරකදී ඔවුන් ෆීටී ලෙවේ නමැති ප්‍රධාන දූපතේ සිගටෝකා නගරයේ තෙත බරියම්ව තිබුනු වැල්ලේ මීටර් සියයක කන්දක් අමාරුවෙන් නැග්ගේ එකිනෙකාගේ අත් අල්ලා ගෙන.



විනෝද සවාරියක් යන්නාක් මෙන්, සිය මුතුන් මිත්තන්ගේ ආරම්භය සිදුවූ ටවේයුනි දූපතට දිගු කාලීන පුහුණු කඳවුරක් සඳහා ගිය මේ ක්‍රීඩකයින් එතැනින් වෙලගී ගම්මානයට බෝට්ටුවෙන් ගොස් ගමේ ශාලාවේ නිදා ගත්තේ ඉතා කුඩා මෙට්ට උඩ. 

 

පියාඹන ෆිජියන්ස්ලා - Flying Fijians - යන සුරතල් නාමයෙන් හඳුන්වනු ලබන ෆිජි රග්බි කණ්ඩායමේ ක්‍රීඩකයින් ලෝක කුසලාන රග්බි තරගාවලියට සහභාගි වීම පිණිස ප්‍රංශයට පැමිණීම සංකේතවත් කරමින් බෝඩ උපනගර පෙදෙසේ ටවුමක් මැද වේදිකාවක් මතට නැග නගර වැසියන් වෙනුවෙන් ගීත ගායනා කළේ ද එක ට රොද බැඳ ගනිමින්. පසුව ඔවුන් 3 වැනි චාල්ස් රජ්ජුරුවන් එම පලාතේ සංචාරය කළ අවස්ථාවේදී “Au Rai Vei Kemuni” භක්ති ගීතිකාව ගැයුවේත් එක ගොඩට වෙලා.

තරගාවලියේ ඔවුන්ගේ ආරම්භක තරගයේදීම වේල්ස් කණ්ඩායම වෙතින් දරුණු පරාජයකට ලක්ව නැවත සටනට අවතීරණ වී අවුරුදු  69කට පසුව ප්‍රථම වතාවට ඔස්ට්‍රේලියාව පරදවමින් මෙවර ලෝක කුසලාන රග්බි තරගාවලියේ ‘විස්මිත පැකේජය’ තම කණ්ඩායම බවට වන මතය අවධාරණය කළ අවස්ථාවේදීත් ‌මේ ෆිජියන්ස්ලා සිටියේ එක ට එක්ව.

joshua 242

ජොෂුආ ටුවීසෝවා

කණ්ඩායමේ සගයෙකු වන ජොෂුආ ටුවීසෝවා ඔහුගේ හත් හැවිරිදි පුතා වන ටිටො දීර්ඝ කාලීන රෝගයකින් බෙලහීන වී සිට මිය ගිය බව දැනගෙන දුක් වෙමින් සිටියදී ඔහු සමග මේ ක්‍රීඩකයන් දුක බෙදා ගත්තේත් එකට සිටිමින්. ෆිජි සංචිතය සමග ටුවීසෝවා දිගටම ප්‍රංශයේ රැඳී සිටි බැවින් ඔහුට ටිටෝගේ අවමංගල්‍යය මගහැරුනා.

“අපි සියළු දෙනාම ඔහුව රැකබලා ගැනීමට උත්සාහ කරනවා” යැයි ෆිජි නායක වයිසී නයකැලවු එදා ප්‍රකාශ කර තිබුනා. “ඔහු ඉන්නේ දුකෙන් වුනත් ඔහු ඇත්තටම ශක්තිමත්. මේ දේ මට සිද්ධ වුනා නම්, එයා කරන දේ මට කරන්න පුළුවන් ශක්තියක් මට තියේවිද කියා මම දන්නේ නැහැ.”

“ටිටෝ මීට වඩා හොඳ තැනකට ගිහිං එහෙ හොඳින් ඉන්නවා කියමින් අපි ටුවීසෝවා සනසනවා. එයාව උනන්දු කරනවා. ටුවීසෝවා එයාගෙ හැඟීම් පාලනය කරගෙන ඉන්නවා. මට ඔහු ගැනත්, කණ්ඩායම වෙනුවෙන් ඔහු කර තිබෙන කැප කිරීම ගැනත් හරිම ආඩම්බරයි.”

fiji 2023match

එංගලන්තයට ලෝක කුසලාන රග්බි තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය ට පිවිසීම සඳහා පසුකර යාමට සිදුව තිබුනේ මෙවැනි කිට්ටු සහෝදරත්වයකින් බැඳුනු කණ්ඩායමක්. ෆිජි කණ්ඩායම ලෝක කුසලාන රග්බි තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට 2007 වසරෙන් පසුව ප්‍රථම වරට පිවිසියේ ඔවුන්ගේ ඉතිහාසයේ තෙවැනි වතාවට.

ෆිජි කණ්ඩායමේ සහාය පුහුණුකරු සෙරමයා බායි ට අනුව ෆිජි දූපත් වැසියන්ට රග්බි ක්‍රීඩාවට එහා ගිය තවත් දෙයක් නැති තරම්. “එය අපට ජීවිතය ලබා දෙනවා. රග්බි අපි සියළු දෙනාවම සතුටින් තියා ගන්නවා” යනුවෙන් බායි කියනවා. 

SeremaiaBaikeinukuFijiසෙරමයා බායි“රග්බි ක්‍රීඩාව අපේ රට එක්සත්ව තබා ගන්නවා. ලෝක කුසලාන තරග නැරඹීම සඳහා ෆිජි දූපත්වල සියළු දෙනාම පාන්දර තුනට හෝ පහට ඇහැරෙනවා. ඔවුන් තුළ තිබෙන්නේ උමතු උනන්දුවක්. අපි තරග දිනුවම රෝගාතුරව ඉන්න පුද්ගලයන් ප්‍රාණවත් වෙනවා.”

“මේ තරගාවලියේ අපේ ප්‍රතිඵලය කුමක් වුනත්, අපි අපේ රටට ආඩම්බරය ගෙන එනවා.”

ලොව බොහෝ රග්බි ක්‍රීඩා ලෝලීන්ගේ ජනප්‍රියතම කණ්ඩායම බවට පත්ව සිටින මේ පියාඹන ෆිජියන්ස්ලාගේ ආත්මය සසල කර තිබෙන තරමට වඩා වැඩි යමක් කිරීමට රග්බි ක්‍රීඩාවේ වෙනත් කිසිම දෙයකට හැකි වී නැහැ. ඒ, ඔවුන් ක්‍රීඩා කළේ සිනාවෙන් පිරුණු මුහුණුවලින් සහ ටුවීසෝවා සහ ඉදිරි පෙල ක්‍රීඩක සෑම් මටවෙසී ට සිදුවූ ද්විත්ව ඛේදවාචකයෙන් ශක්තිමත් වුනු ප්‍රබෝධමත් ජීවයකින් යුක්තව නිසා.

sam342

සෑම් මටවෙසී

මටවෙසීගේ පියා වූ සිරලී මටවෙසී ද ෆිජි කණ්ඩායම එංගලන්තය සමග තරග වැදීමට නියමිතව තිබූ දිනට පෙර සතියේදී මිය ගියා. සිරලි ෆිජි ‘බාබේරියන්ස්’ කණ්ඩායමට ක්‍රීඩා කර තිබෙන අතර සෑම්ගේ වැඩිමල් සහෝදරයා වන ජොෂ් 2015 සහ 2019 ලෝක කුසලාන තරගාවලියන්හිදී ෆිජි කණ්ඩායමට ක්‍රීඩා කර තිබෙනවා.

“ෆිජි රටේදී, ඔක්කොටම වඩා වැදගත් වන්නේ පවුල යි. මේ වර්තමාන කණ්ඩායම පවුලක් බවට පත්වෙලා තිබෙනවා” යනුවෙන් බායි පවසනවා. “එක් කෙනෙක් වේදනාවක් වින්දොත්, අපි ඔක්කොම ඒ වේදනාව විඳිනවා.” 

ෆිජියන් රග්බි ක්‍රීඩකයන් මෙවර ලෝක කුසලාන රග්බි තරග බිමෙන් ඉවත්ව යමින් පැවසූ වදන් රග්බි ලෝකයේ දෝංකාරය වනු ඇත.

“මේ අපේ ආරම්භය පමණයි!”


සටහන :
නවසිලන්තය හමුවේ අයිරිෂ් හදවත් බිඳුනු රාත්‍රිය(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පියාඹන ෆිජියන්ස්ලා - Flying Fijians | The Leader