මේ මාතෘකාව කෙරෙහි නැවත වතාවක් අවධානය යොමුව තිබෙන්නේ දකුණු අප්‍රිකානු පිතිකරු ඩේවිඩ් මිලර් (David Miller) කළ ප්‍රකාශයකින්. ලාහෝර් නුවරදී නවසිලන්තය හමුවේ ඊයේ ලැබූ අවසන් පූර්ව තරග පරාජයට පෙර ඩුබායි දේශයට ගොස් එසැණින් ආපසු පාකිස්තානය ට සංචාරය කිරීමට සිදුවීම තම කණ්ඩායමේ ක්‍රීඩා තත්ත්වයට යහපත් නොවූ බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
අවුල් ජාලයක් බවට පත්ව තිබූ තරගාවලියේ තරග වැඩසටහන ප්‍රශ්නයක් බවට පත්වූයේ අවසන් පූර්ව වටයට පෙර ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව යන කණ්ඩායම් දෙක ට ම පාකිස්තානයේ සිට ඩුබායි බලා පියාසර කිරීමට සිදුවීම හේතුවෙන්. ඉන්දියාව සමග මාර්තු 4 වැනිදා ඩුබායි හි පැවැත්වූ අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කරන කණ්ඩායමට ඒ සඳහා සූදානම් වීමට උපරිම කාලයක් ලබා දීම මේ ගමනේ අරමුණ වූ බව ජගත් ක්‍රිකට් කවුන්සලය (ICC) පවසා තිබුණා.

දකුණු අප්‍රිකානු කණ්ඩායම කිසිම තරගයක් ක්‍රීඩා නොකර ගුවන් යානයෙන් ආපසු පාකිස්තානය ට පැමිණියේ ඩුබායි හි පැය 24කටත් වඩා අඩු කාලයක් රැඳී සිටීමෙන් පසුව. ඔස්ට්‍රේලියාව ඩුබායි දේශයේ රැඳී සිට අවසන් පූර්ව තරගයේදී ඉන්දියාව ට පරාජය වුණා. මේ අක්‍රමවත් තරග වැඩසටහන, ඉන්දියා කණ්ඩායම පාකිස්තානයේ සංචාරය කිරීම ප්‍රතික්ෂේප කරමින් ඔවුන්ගේ සියලු තරග ඩුබායි හි ක්‍රීඩා කිරීමේ ප්‍රතිඵලයක්.
පාකිස්තානයේ සිටි ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව යන ‘බී’ කොටසේ කණ්ඩායම් දෙක ට ම ඩුබායි යාමට සිදුවූයේ ඉන්දියාව හා නවසිලන්තය අතර ඉරිදා පැවති තීරණාත්මක මූලික වටයේ තරගය යි. තරගාවලියේ ‘ඒ’ කොටසේ කණ්ඩායම් ස්ථානගතව සිටින ආකාරය මෙන්ම ඉන්දියාවේ අවසන් පූර්ව වටයේ ප්‍රතිවාදීන් කවුරුන්ද යන්න තීරණය වූයේ ද මේ තරගයෙන්. ඉන්දියාවේ අවසන් පූර්ව තරග ස්ථානය ඩුබායි වනු ඇති බවට කළින්ම තීරණය වී තිබූ අතර නවසිලන්තයේ අවසන් පූර්ව තරගය ක්‍රීඩා කිරීමට නියමිතව තිබුනේ පාකිස්තානයේ ලාහෝර් ක්‍රීඩාංගණයේ.

ඉන්දියාව හා නවසිලන්තය අතර මූලික වටයේ අවසාන තරගය ක්‍රීඩා කිරීමට පෙර සිටම මේ කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටියා. අවධානය යොමුව තිබුනේ ඉන්දියාව ට ඔවුන්ගේ කොටසේ ජයග්‍රාහකයන් ලෙස සිටිය හැකිද එසේත් නැත්නම් දෙවැනි ස්ථානයට පත්වේවිද යන කාරණයට.
ඉන්දියාව විසින් නවසිලන්තය පරාජය කිරීම නිසා ඉන්දියාව ‘ඒ’ කොටසේ ඉහළ ට ම පිවිසි අතර ඒ අනුව ඔවුන්ගේ අවසන් පූර්ව ප්‍රතිවාදියා බවට ඔස්ට්‍රේලියාව පත්වුණා. මේ අතර නවසිලන්තය එම කොටසේ දෙවැනි ස්ථානයට පත්වෙමින් ඔවුන්ගේ අවසන් පූර්ව තරගය දකුණු අප්‍රිකාව සමග ලාහෝර් නුවර ක්‍රීඩා කළා.

ඉන්දියාව අඟහරුවාදා ඔස්ට්‍රේලියාව පරාජය කරමින් අවසාන තරගයට පිවිසි අතර නවසිලන්තය බදාදා දකුණු අප්‍රිකාව පරාජය කරමින් ‘බී’ කොටසෙන් අවසාන තරගයට සුදුසුකම් ලැබුවා.
යම් හෙයකින් ඉරිදා මූලික වට තරගයේදී ඉන්දියාව නවසිලන්තය ට පරාජය වූවා නම්, ඉන්දියාව ට ‘ඒ’ කොටසේ හිමිවන්නේ දෙවැනි ස්ථානය. එහි ප්‍රතිඵලය වීමට තිබුනේ ඔවුන් දකුණු අප්‍රිකාව සමග ඩුබායි ක්‍රීඩාංගණයේ ඔවුන්ගේ අවසන් පූර්ව තරගය ක්‍රීඩා කිරීම. ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව යන කණ්ඩායමේ දෙක ට ම ඩුබායි යාමට සිදුවූයේ මේ හේතුවෙන්.
දකුණු අප්‍රිකානු කණ්ඩායමේ අවසන් පූර්ව තරග සංචාරය අනපේක්ෂිත ආපසු හැරී ඒමක් බවට පත්වෙමින් එම කණ්ඩායම පැය 18ක් ඇතුළත ඩුබායි ගොස් ආපසු පාකිස්තානය ට පියාසර කළා. “මෙය ක්‍රීඩකයන්ගේ ශරීරවලට යහපත් ක්‍රියාවක් නොවූ බවත් එය පැය 18ක පිස්සු හැදෙන කාලයක් වූ බවත් දකුණු අප්‍රිකානු පිතිකරු හයින්රික් ක්ලාසන් (Heinrich Klaasen) නවසිලන්තය ට එරෙහිව ඊයේ පැවති අවසන් පූර්ව තරගයට පෙර කියා තිබුණා.
අවසන් පූර්ව තරගයට පෙර දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන්ට විඳින්නට සිදුවූ මේ අපහසුතාව සම්බන්ධයෙන් ඩේවිඩ් මිලර්, ඊයේ පරාජයෙන් පසුව වක්‍රාකාරයෙන් ICCයට දොස් නැගුවා.
කරච්චි නුවරදී සෙනසුරාදා එංගලන්තය පරාජය කළ සැණින් දකුණු අප්‍රිකාව ගියේ අවසානයේ කාලය අපතේ යැවීමක් බවට පත්වූ ඩුබායි සංචාරයක.
“එය පැයයි මිනිත්තු 40ක ගුවන් ගමනක් පමණක් තමයි. නමුත් අපට එය කරන්න සිදුවීම යන කාරණය යහපත් එකක් නෙවෙයි’ යනුවෙන් මිලර් කියා සිටියා. “වෙලාව උදේ පාන්දර, එය අපි තරගයක් ක්‍රීඩා කර අවසන්ව තිබූ වෙලාවක්. එහෙම තියෙද්දී අපට යන්න සිද්ධ වුණා. ඊට පස්සේ අපි හවස 4.00 ට ඩුබායිවලට ආවා. ඊටත් පස්සේ උදේ 7.30 ට අපට ආපහු එන්න සිදුවුණා. ඒක හොඳ දෙයක් නෙවෙයි. මෙතන තියෙන්නේ අපි පියාසර කළේ පැය පහයි, අපට යථා තත්ත්වයට පත්වීමට ප්‍රමාණවත් කාලයක් තිබුණා කියන කාරණා නෙවෙයි. නමුත් මෙය ක්‍රීඩකයන්ට එතරම් සුවදායක එකක් වුනේ නැහැ.”
රචින් රවීන්ද්‍ර සහ කේන් විලියම්සන්ගේ අගනා ශතක මත නවසිලන්තය ඊයේ ලකුණු 50කින් දකුණු අප්‍රිකාව පරාජය කළේ චැම්පියන්ස් කුසලාන තරග බිමේ වැඩිම මුළු ලකුණු ප්‍රමාණය වන කඩුලු 6 ට ලකුණු 362ක් වාර්තා කරමින්. මිචල් සැන්ට්නර්ගේ ලකුණු 43 ට කඩුලු විසින් මෙහෙයවනු ලැබූ නවසිලන්ත දඟ පන්දු යවන්නන් විසින් ඕවර 50 ඇතුළත කඩුලු 9 ට 312ක මුළු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට පෙර දකුණු අප්‍රිකානු ඉනිම ස්ථාවර කරමින් ටෙම්බා බවුමා (56) සහ රාසී වැන් ඩ ඩුසන් (69) දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 105ක සබඳතාවක් ගොඩනැගුවා.
ඩුබායි ක්‍රීඩාංගණයේදී ඉරිදි පැවැත්වෙන අවසාන තරගයේදී තමා නවසිලන්තය ට ‘චියර්’ කරන බව මිලර් පැවසුවා.
අවසන් පූර්ව තරගයේදී අංක 6 පිතිකරුවා ලෙසින් කඩුල්ලට පිවිසීමෙන් පසුව දකුණු අප්‍රිකාවේ තනි සටන්කරුවා බවට පත්වූ මිලර්, පන්දු 67කින් ශතකයක් ලබා ගත්තේ චැම්පියන්ස් කුසලාන ඉතිහාසයේ වේගවත්ම ශතකය වාර්තා කරමින්. මේ තරග ඉතිහාසයේ පන්දු 70කට අඩුවෙන් ශතකයක් ලබා ගත් පළමු ක්‍රීඩකයා වනුයේ මිලර්. මේ වාර්තාවේ වසර 23කම හිමිකරුවා බවට පත්ව සිටියේ 2002 වසරේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී එංගලන්තය ට එරෙහිව පන්දු 77කින් ශතකයක් ලබා ගත් ඉන්දියාවේ විරෙන්ද්‍ර සෙවාග්.
ICC තරගාවලියන්හි පිළිමළුන් පිටුදැකීමේ තරගවලදී ශතක දෙකක් වාර්තා කළ පළමු දකුණු අප්‍රිකානුවා බවට ඩෙව්ඩ් මිලර් පත්වනවා. ඒ, 2023 ලෝක කුසලාන තරගාවලියේ කොල්කටාවේ ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේ පැවති අවසන් පූර්ව තරගයේදී ද ඔස්ට්‍රේලියාව ට එරෙහිව ශතකයක් ලබා ගැනීමෙන් පසුව.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



