The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

PSG ලීගය යුරෝපා කිරුළ රැකගනිද්දී පැරිසිය ගිනිගනී !

T

The Leader Desk

May 31, 2026 • 4:18 PM

PSG ලීගය යුරෝපා කිරුළ රැකගනිද්දී පැරිසිය ගිනිගනී !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යුරෝපීය පාපන්දු චැම්පියන්ස් ලීග් අවසාන තරගයේදී එංගලන්තයේ ආසනල් කණ්ඩායමට එරෙහිව ප්‍රංශයේ පැරිස් සැන්-ජමෑන් (PSG) කණ්ඩායම
  • තරගයේ පළමු භාගය මුළුල්ලෙහි තවදුරටත් ගැටුම් ඇතිවෙද්දී සමහර සාමාන්‍ය ආපන ශාලා ඔවුන්ගේ රූපවාහිනී යන්ත්‍ර ක්‍රියා විරහිත කළා.
  • පෙනල්ටි 4-3ක ජයග්‍රහණයකින් PSG ඔවුන්ගේ පිට පිට දෙවැනි ශූරතාව හිමි කරගන්නා අයුරු 40,000කට වැඩි ජනතාවක් බටහිර පැරිසියේ Parc de Princes ක්‍රීඩාංගණයේ සිට දැවැන්ත රූපවාහිනී තිරයෙන් නැරඹුවා.
  • නමුත් තරගයේ මිනිත්තු 45කට වැඩි කාලයක ක්‍රීඩාවක් ඉතිරිව තිබියදීත් PSG ආධාරකරුවන් පැරිසියේදී අත්අඩංගුවට ගැනෙමින් තිබුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඊයේ රාත්‍රියේ ලැබූ ජයග්‍රහණයෙන් පසුව වියරු වැටුනු දහස් සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීන් මධ්‍යම පැරිසිය ඇතුළු ප්‍රංශය පුරා සිදුකළ ප්‍රචණ්ඩ ක්‍රියාවලදී පුද්ගලයින් 400කට වැඩි දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආසනල් කණ්ඩායම වේදනාත්මක අයුරින් පෙනල්ටි මත පරාජය වූ මේ තීරණාත්මක තරගය පළමු භාගයේ සිටම ඔවුන්ගේ ග්‍රහණයෙන් හෙමින් ගිලිහී යමින් තිබියදී කලින්ම කෝලාහල ආරම්භ වුණා.

සෙනසුරාදා රාත්‍රියේ ප්‍රචණ්ඩ ක්‍රියාවන් වැඩියෙන්ම සිදුවුනේ පැරිස් නගරයේ Notre Dame දේවස්ථානය හා Louvre කෞතුකාගාරය අතර Chatelet ප්‍රදේශයේ.

හාවර්ට්ස්ගේ ගෝලයෙන් ආසනල් පෙරමුණට: පළමු භාගයේදීම පැරිසිය උණුසුම් වෙයි

හංගේරියාවේ බූඩපෑස්ට් අගනුවර පැවති අවසාන තරගයේ හය වැනි මිනිත්තුවේදී Kai Havertz ලබා ගත් ගෝලයෙන් ආසනල් කණ්ඩායම තරගයේ ඉදිරියට පැමිණීමත් සමග පැරිසියේ සිටින ප්‍රංශ ක්‍රීඩා ලෝලීන්ගෙන් පළමු ප්‍රචණ්ඩකාරී ක්‍රියා ආරම්භ වුණා.

පොලිසිය වෙත පුටු හා බෝතල විසි කිරීමෙන් පසුව පොලිසිය එම පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. ප්‍රංශ අගනුවර තිබෙන එක් ප්‍රධාන සාප්පු වීදියක් වන Rue de Rivoli අසල තිබෙන ගොඩනැගිල්ලක පලංචියට නැගීමට PSG ක්‍රීඩා ලෝලීන් කිහිප දෙනෙකුට හැකිවුණා. ඔවුන් පහළට ගැනීමට පොලිසිය උත්සාහ කරද්දී කලබල තවත් වැඩිවුණා.

තරගයේ පළමු භාගය මුළුල්ලෙහි තවදුරටත් ගැටුම් ඇතිවෙද්දී සමහර සාමාන්‍ය ආපන ශාලා ඔවුන්ගේ රූපවාහිනී යන්ත්‍ර ක්‍රියා විරහිත කළා.

තරගයේ කලින්ම පසුබා සිටියදීත් දෙවැනි භාගයේ ගෝලයක් ලබා ගෙන සම තත්ත්වයට පිවිසෙමින් හා පන්දුව වැඩි වේලාවක් අයිති කරගෙන ගෝල් ලබා ගැනීමේ අවස්ථාවන් ද වැඩියෙන් ලබා ගැනීමෙන් පසුව අවසානයේදී පෙනල්ටි මත ජයග්‍රාහකයින් වීමට PSG සමත් වුණා.

එසී සහ ගේබ්‍රියෙල් පෙනල්ටි වරද්දද්දී PSG පිට පිටම දෙවන වරටත් යුරෝපා කිරුළ සිපගනී

තරගය බියකරු පෙනල්ටි ප්‍රහාරය දක්වා ගිය අතර ආසනල් කණ්ඩායමේ Eze හා Gabriel යන ක්‍රීඩකයින් ඔවුන්ට ලැබුණු පෙනල්ටි සාර්ථකව එල්ල කිරීමට අසමත් වුණා.

පෙනල්ටි 4-3ක ජයග්‍රහණයකින් PSG ඔවුන්ගේ පිට පිට දෙවැනි ශූරතාව හිමි කරගන්නා අයුරු 40,000කට වැඩි ජනතාවක් බටහිර පැරිසියේ Parc de Princes ක්‍රීඩාංගණයේ සිට දැවැන්ත රූපවාහිනී තිරයෙන් නැරඹුවා.

නමුත් තරගයේ මිනිත්තු 45කට වැඩි කාලයක ක්‍රීඩාවක් ඉතිරිව තිබියදීත් PSG ආධාරකරුවන් පැරිසියේදී අත්අඩංගුවට ගැනෙමින් තිබුණා.

පැරිස් අගනුවරදී පමණක් අත්අඩංගුවට ගැනීම් 235කට වැඩියෙන් සිදුකර ඇතැයි පවසන පොලිසිය කලකෝලාහලවලින් වාහන හා කඩ සාප්පු ගණනාවකට අලාභහානි සිදුව ඇතැයි කියනවා.

ප්‍රංශයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයට අනුව, රට පුරා පුද්ගලයින් 400කට වැඩි  දෙනෙක් රඳවා ගෙන තිබෙනවා. තරගය අවසන් වෙද්දී පොලිසිය දහස් ගණන් පුද්ගලයින් නතර කර පරීක්ෂා කර තිබුණා.

පොලිසිය විසින් රාජසන්තක කරන ලද භාණ්ඩ අතර ආයුධ හා ගිනිකෙළි ද්‍රව්‍ය තිබූ බවට වාර්තා වනවා.

අසල තිබෙන Notre Dame හා Louvre වැනි ස්මරණීය ස්ථාන නැරඹීමට පැමිණ සිටි සිය ගණන් විදේශිකයින් ද මේ කෝලාහලයට මැදිවුණා.

8,000ක පොලිස් බලඇණියක් වීදිවලට: සංචාරකයින් කොටුවෙද්දී 400කට වැඩි පිරිසක් අත්අඩංගුවට

බූඩපෑස්ට් හි පැවැති අවසාන තරගය නැරඹීම පිණිස පැරිසියේ විවිධ ස්ථානවලට රොක්ව සිටි සෙනඟ පාලනය කිරීම සඳහා 8,000ක පොලිස් සේනාවක් හා කැරලි මර්දන හමුදාවක් නගරයේ වීදිවලට යොදවා තිබුණා.

තරගය සජීවීව පෙන්වනු ලැබූ ස්ථානවලට ටිකට් නැතිව ඇතුළු වීමට උත්සාහ කළ සිය ගණනින් යුත් පාපන්දු ලෝලීන් වෙත කඳුළු ගෑස් හා බැටන් ප්‍රහාර එල්ල කිරීමට පොලිසියට සිදුවුණා. පොලිසිය එක් ක්‍රීඩා ලෝලියෙකු අත්අඩංගුවට ගනිද්දී ඔවුන්ට බෝතලවලින් දමා ගසන අයුරු සමාජ මාධ්‍යයේ පෝස්ට් කර ඇති වීඩියෝවක දිස්වනවා.

තවත් ක්‍රීඩා ලෝලියෙක් මාර්ගයේ රථවාහන සංඥා කණුවක නැග සිටින අයුරු හා ගිනිමැල හා ගිනිකෙළි රැගෙන මාර්ගවල ගිනි අවුලමින් සිටි ක්‍රීඩා ලෝලීන්ව පොලිසිය ලුහුබඳින අන්දම තවත් වීඩියෝවකින් පෙන්නුම් කරනවා.

පාපන්දු ප්‍රචණ්ඩත්වය ප්‍රංශය හරහා වැඩිවෙමින් තිබෙන ප්‍රශ්නයක් වී තිබෙනවා. බොහෝ පැරිස් ක්‍රීඩා ලෝලීන් මේ තරගය නැරඹීම පිණිස හංගේරියාව ට ගොස් සිටිය ද, දස දහස් ගණනක තවත් පාපන්දු ලෝලීන් ප්‍රංශ අගනුවර වීදිවල රැඳී සිටියා.

පැරිසියේ තිබෙන එක් ජනප්‍රියතම ස්මාරකයක් වන Arc de Triomphe සමීපයේ ඇති මාවත් දිගේ පෙළපාළි ගමනක යෙදුනු ක්‍රීඩා ලෝලීන්ගෙන් සමහරු ගිනිමැල දල්වමින් මහ හයියෙන් කාර්වල නළාව හඬනැගුවා. පැරිසියේ Champs-Elysees මාවතට පමණක් රොක්වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 20,000ක්.

මීට වඩා කුඩා කණ්ඩායම් නගරයේ විවිධ ස්ථානවල කෝලාහල ඇති කරමින් කඩ සාප්පු විනාශ කරද්දී තව සමහරු ඒවාට ගිනිතැබූ බව පැරිස් පොලිසිය සඳහන් කරනවා. ඔවුන් මෝටර් රථවලටත් ගිනි තැබුවා. එක් පොලිස් නිලධාරියෙක් තුවාල ලැබූ බව ද පැවසෙනවා.

නගරයේ අලංකාර පෙදෙසක තිබෙන පොලිස් ස්ථානයකට කඩා වැදීමට උත්සාහ කළ පිරිසක් විසුරුවා හැරි බව පොලිසිය කියා තිබෙනවා.

පැරිසිය වටේ තිබෙන කවාකාර ප්‍රධාන මාවත ද සෙනඟ විසින් අවහිර කර තිබූ අතර ඔවුන් පලවා හැරි බව පොලිසිය පවසනවා. මෙහිදී, බේකරියක් හා අවන්හලකට හානි සිදුව තිබෙනවා. PSG ක්‍රීඩාංගණය අසල රොක්ව සිටි පුද්ගලයින් 1,000ක් පමණ මෙල්ල කර ගත් පොලිසිය ඔවුන් විසින් බයිසිකල් හරස් කර දමා තිබූ මාර්ග බාධක ඉවත් කළා.

පසුගිය වසරේ මැයි මාසයේ PSG ඔවුන්ගේ පළමු කිරුළ දිනා ගැනීමෙන් පසුව හටගත් ප්‍රචණ්ඩත්වයේදී ප්‍රංශ අගනුවර පුද්ගලයින් 201කට තුවාල සිදුවූ අතර රට පුරා පුද්ගලයින් 500කට වැඩි දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)

'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...