The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ලෝක රග්බි කුසලානය පිට පිට දෙවැනි වතාවටත් දකුණු අප්‍රිකාවට

T

The Leader Desk

October 29, 2023 • 3:13 PM

ලෝක රග්බි කුසලානය පිට පිට දෙවැනි වතාවටත් දකුණු අප්‍රිකාවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝකයේ කිසිම කණ්ඩායමක් ලෝක රග්බි කුසලානය සිවු වතාවක් දිනා ගෙන නැහැ.
  • දකුණු අප්‍රිකාව 2019දී තමන් සතුකර ගත් ලෝක රග්බි කිරුළ රැක ගැනීමට සමත් වුනා.
  • 2023 ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසාන මහා තරගයේදී ලකුණු 12-11ක් ලෙස එක ලකුණකින් නවසිලන්ත ‘ඕල් බ්ලැක්ස්’ කණ්ඩායම පරාජය කරමින් ඔවුන් තමන්ගේ සිවුවැනි ලෝක රග්බි කුසලානය හිමිකර ගත්තා.
  • මෙවර තරගාවලියේ පිලිමළුන් පිටු දැකීමේ (අර්ධ අවසන් පූර්ව, අවසන් පූර්ව, අවසාන) තරග තුනේදී ම සියුම් ජයග්‍රහණ වාර්තා කිරීමෙන් ‘ස්ප්‍රිංබොක්ස්’ කණ්ඩායම ඉතාමත් කුඩා ලකුණු පරතරයකින් තරග ජය ගැනීමේ මාස්ටර්ලා බවට ප්‍රදර්ශනය කර තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

එහෙත් ඊයේ ඉතා තෙත්ව තිබූ පැරිස් සන්ධ්‍යාවක එය වෙනස් වුනා.

දකුණු අප්‍රිකාව 2019දී තමන් සතුකර ගත් ලෝක රග්බි කිරුළ රැක ගැනීමට සමත් වුනා. 2023 ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසාන මහා තරගයේදී ලකුණු 12-11ක් ලෙස එක ලකුණකින් නවසිලන්ත ‘ඕල් බ්ලැක්ස්’ කණ්ඩායම පරාජය කරමින් ඔවුන් තමන්ගේ සිවුවැනි ලෝක රග්බි කුසලානය හිමිකර ගත්තා.



මෙවර තරගාවලියේ පිලිමළුන් පිටු දැකීමේ (අර්ධ අවසන් පූර්ව, අවසන් පූර්ව, අවසාන) තරග තුනේදී ම සියුම් ජයග්‍රහණ වාර්තා කිරීමෙන් ‘ස්ප්‍රිංබොක්ස්’ කණ්ඩායම ඉතාමත් කුඩා ලකුණු පරතරයකින් තරග ජය ගැනීමේ මාස්ටර්ලා බවට ප්‍රදර්ශනය කර තිබෙනවා.


එය වාසිය දෙපැත්තට දෝලනය වුනු වීර කාව්‍යයක් බඳු තරගයක්. එය මතකයේ තිබෙනු ඇත්තේ නායකයන් දෙදෙනෙකුගේ කතාන්දරයක් ලෙසින්. දකුණු අප්‍රිකාවේ පළමු කළු ජාතික රග්බි නායකයා වන සියා කලිසී (Siya Kolisi) සිවු වසරකට පෙර ජපානයේදී ලෝක රග්බි කුසලානය ඉහළට ඔසවද්දී එය ලෝක ක්‍රීඩාවේ වඩාත් ම අමතක නොවන අවස්ථාව වුනා. දැන් මේ ජයග්‍රහණයත් සමග එය ඊටත් වඩා හොඳ තත්ත්වයකට පැමිණ තිබෙනවා. එහෙත් නවසිලන්ත නායක සෑම් කේන් (Sam Cane) ට නම් එය ඉතාමත්ම අඳුරු වූ රාත්‍රියක්.

Siya Kolisi

සිරස් අතට ටැක්ල් කිරීම හේතුවෙන් කේන් පිටියෙන් ඉවත් කෙරෙන විට ක්‍රීඩා කෙරෙමින් තිබුනේ තරගයේ 27 වැනි මිනිත්තුව. මීට වඩා බලය හා ශක්තිය යොදා කෙරුණු ඉතා නරක ටැක්ල් තිබෙනවා. නමුත් ‘අනතුරක් සිදුවීමේ හැකියාව ඉතා වැඩියි’ යන ප්‍රකාශය ක්‍රියාවට නංවන විට සාමාන්‍යයෙන් ඇත්තේ එකම ප්‍රතිඵලය යි.

නවසිලන්ත නායකයා කෙසේ වෙතත්, ක්‍රීඩකයෙක් ලෝක කුසලාන රග්බි අවසාන තරගයකින් ඉවත් කිරීම මීට පෙර කවදාවත් සිදුවෙලා නැහැ. පළමුව පෙන්වන ලද කහ කාඩ්පත පසුව රතු කාඩ්පතක් දක්වා උසස් කෙරුණු බැවින් කේන් ට නැවත ක්‍රීඩා කරන්න ලැබුනේ නැහැ.

rugby world cup 2023 final 2
වේගයෙන් හද ගැහෙන නාටකය එතැනින් කෙළවර වුනේ නැහැ. විරාමයෙන් පසුව තරගය නැවත ආරම්භ වී මිනිත්තු පහකට පසුව දකුණු අප්‍රිකානු නායක කලිසී ට කහ කාඩ්පත පෙන්වනු ලැබුවා. ඒ, ප්‍රතිවාදී ක්‍රීඩකයෙකු සමග හිසෙන් ගැටීමේ වරදට. එය, මේ වන විට ක්‍රීඩකයන් 14 දෙනෙකුගෙන් පමණක් යුතුව ක්‍රීඩා කරමින් සිටි නවසිලන්ත කණ්ඩායමට නැවත නැගී සිට වියරු සටනක් දියත් කිරීම සඳහා උනන්දු කරවන්නක් වුනා.

පැයක් ගතවන ආසන්නයේ ඔවුන් බර්ඩන් බැරට් (Beauden Barrett) මාර්ගයෙන් ට්‍රයි දිනුමක් ලබා ගත්තා. මේ ට්‍රයි එකට පෙර දකුණු අප්‍රිකානු කණ්ඩායම ලෝක කුසලාන අවසාන තරග තුනකදී එක ම ට්‍රයි දිනුමක් හෝ ප්‍රතිවාදීන්ට ලබා දී තිබුනේ නැහැ.

තියුණු මුහුණුවරකින් පැවැත්වෙන මේ ගැටුම ක්‍රීඩාමණ්ඩපයේ සිට නරඹමින් සිටි පුද්ගලයන් අතර ජගත් ටෙනිස් ක්‍රීඩාවේ මෙතෙක් බිහිවූ දක්ෂතම ක්‍රීඩකයන් දෙදෙනෙකු වන රොජ ෆෙඩර සහ නෝවැක් ජොකොවිච් ද සිටියා.

Handre Pollard
අතිවිශිෂ්ට අයුරින් පන්දුවට පාදයෙන් පහර දෙන හොන්ඩ්‍රි පොලාඩ් (Handre Pollard) සහ නිරතුරුවම සටන්කාමී ක්‍රීඩාවක යෙදෙමින් 2019 වසරේදී ලෝක රග්බි ක්‍රීඩකයා බවට පත්කළ සිය හැකියාවන් නැවත ප්‍රදර්ශනය කරමින් සිටි පීට-ස්ටෙෆ් ඩූ ටුආ (Pieter-Steph du Toit) සිටින තාක් කල් ‘ස්ප්‍රිංබොක්ස්’ කණ්ඩායමේ සුපිරි ක්‍රීඩාව අවසන් වුනේ නැහැ.

ඊයේ වාර්තා කළ ජයග්‍රහණයත් සමග දකුණු අප්‍රිකාව, 2015 වසරේ නවසිලන්තය ට පසුව ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසාන මහා තරගය පිට පිට ජය ගත් දෙවැනි කණ්ඩායම බවට පත්වුනා.

ඊයේ පැවති අවසාන තරගය සැමවිටම අකුණු වැනි මහත් ඝෝෂා නැගෙන සටනක් බවට පත්වීමේ සැකයක් තිබුනේ නැහැ. මේ බිහිසුණු ආඩම්බර රටවල් දෙක අවුරුදු 102ක් තිස්සේ ම එකිනෙකා සමග රග්බි තරගවල යෙදී සිටිනවා.

වැලපෙන අහස විසින් තරගය තවත් තීව්‍ර කරනු ලැබුවා. නවසිලන්තය ට ලිස්සන බෝලය යනු ඔවුන්ගේ දියුණුවට අයහපත් වන ප්‍රවෘත්තියක්. පන්දුව අතින් ගිලිහෙන තරමට ‘ස්ක්‍රම්’ පැවැත්වීමත් වැඩි වන අතර එංගලන්තය සාක්ෂි දරණ පරිදි (පසුගිය සතිඅන්තයේ තරගය) මේ දකුණු අප්‍රිකානු කණ්ඩායම ‘ස්‍ක්‍රම්’වලට ඉතාමත් කැමැත්තක් දක්වනවා.

rugby world cup 2023 final 3

අවසානයේ තීරණාත්මක සාධකය වූනේ දකුණු අප්‍රිකානුවන්ගේ හිතුවක්කාර ක්‍රීඩා විලාසය. සියළුම ආකාරයේ අසීරුතාවන් සැහැල්ලුවට ගෙන ඔවුන් මෙවර තරගාවලියේ ඔවුන්ගේ සියළුම පිළිමළුන් පිටු දැකීමේ තරග එක ලකුණකින් ජය ගෙන ඇත්තේ විස්මිත අයුරින්. මේ අවස්ථාවේදී ඔවුන්ගේ හිතුවක්කාර ක්‍රීඩාවට හේතුවූයේ ඔවුන්ගේ ‘හුක’ ක්‍රීඩක බම්මී එම්බෝනම්බී (Bongi Mbonambi) අහිමි වීම. බම්මී තුවාල ලබන විට තරගයේ ගතව තිබුනේ මිනිත්තු තුනක් පමණයි. මේ හේතුවෙන් 37 හැවිරිදි ඩිඔන් ෆෝරී (Deon Fourie) වෙත ආපසු හැරෙන්නට දකුණු අප්‍රිකාවට සිදුවුනා.

ඉතාමත් උණුසුම් තරගයකින් දකුණු අප්‍රිකාව ලෝක රග්බි කුසලානය දිනා ගැනීමෙන් පසුව දකුණු අප්‍රිකානු ආධාරකරුවන් ක්‍රීඩාංගණයෙන් පිටත නටමින් ගයමින් නළා පිඹිමින් ප්‍රීති වූ අතර මව්රටේ ජොහැන්නස්බර්ග් නුවර ප්‍රධාන කරගත් ජනයා ද ඒ ආකාරයේ ම උන්මාදයට පත්ව සිටියා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

 

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...