ලෝක කුසලානය දිවයිනේ ප්‍රධාන නගර කිහිපයකදී ඊයේ සිට ලබන 24 දක්වා සිවු දිනක් තිස්සේ ප්‍රදර්ශනය කෙරෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරනවා.

කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද පැවැත්වෙන ශ්‍රී ලංකා - එංගලන්ත පළමු ජාත්‍යන්තර එක්දින තරගයේදී මේ රන් කුසලානය සමීපව දැක ගැනීමේ මහඟු අවස්ථාව ක්‍රිකට් ලෝලීන්ට ලැබුණා.
මහනුවර, දඹුල්ල හා යාපනයේ ක්‍රිකට් ලෝලීන්ට ද මෙම කුසලානය දැක ගැනීමට හා එම කුසලානය සමග සමරු ඡායාරූප ගැනීමට අවස්ථාව උදා කරමින් කුසලානය එම නගරවලට ද ගෙන යාමට සැලසුම් කර තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ T20 ලෝක කුසලාන තරගාවලිය පෙබරවාරි 7 සිට මාර්තු 8 දක්වා පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ. 2012 වසරේ පැවති T20 ලෝක කුසලානයෙන් පසුව ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරණ ලොකුම තරගාවලිය වන්නේ මේ 2026 විස්සයි20 ලෝක කුසලානය යි.

මෙම ලෝක කුසලාන ප්‍රදර්ශන චාරිකාව ආරම්භ කිරීමේ අවස්ථාවට ක්‍රීඩා ඇමති සුනිල් ගමගේ, නියෝජ්‍ය ක්‍රීඩා ඇමති සුගත් තිලකරත්න, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් එස්.අච්චුදන්, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව සහ ශ්‍රී ලංකා විස්සයි20 ලෝක කුසලාන කණ්ඩායමේ නායක දසුන් ශානක හා ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය ඇතුළු කණ්ඩායමක් ද සහභාගි වුණා.

(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com




