දෙපිල අතර පැවති ‘සුපිරි අට’ තරගයේදී එංගලන්ත නායකයා පන්දු 51කින් චමත්කාරජනක ශතකයක් වාර්තා කළ අතර එම ඉනිමට හතරේ පහර 10ක් සහ හයේ පහර 4ක් ඇතුළත්ව තිබුණා.
අභියෝගාත්මක තණතීරුවක ලකුණු 165ක් හඹා ගිය එංගලන්තය ලකුණු 35කට කඩුලු 3ක් සහ පසුව ලකුණු 58කට කඩුලු 4ක් අහිමි කරගෙන අසීරු අඩියකට පත්ව සිටියදී බෲක් තනිවම පාහේ කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවූයේ තරගයේ පන්දු පහක් ඉතිරිව තිබියදී.

බෲක්ගේ ඉනිම විස්සයි20 ලෝක කුසලාන තරග බිමේ වැඩිම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව වූවා පමණක් නොව එය T20 ලෝක කුසලාන ඉතිහාසයේ නායකයෙකුගෙන් වාර්තා වූ වැඩිම ලකුණු ප්‍රමාණය ද වුණා. බෲක් ට පෙර, විස්සයි20 ලෝක කුසලාන තරගයක වැඩිම පෞද්ගලික ලකුණු සංඛ්‍යාවේ වාර්තාව තිබුණේ බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු ක්‍රිස් ගේල් ගේ නමින්. ගේල් 2010 වසරේ මැයි 9 වැනිදා බ්‍රිජ්ටවුන් හිදී ඉන්දියාව ට එරෙහිව පන්දු 66කින් ලකුණු 98ක් රැස් කළා.
එංගලන්තය දැන් පිවිස සිටින්නේ ඔවුන්ගේ අඛණ්ඩ පස් වැනි විස්සයි20 ලෝක කුසලාන අවසන් පූර්ව වටයට.
අංක 3 ස්ථානයේ ප්‍රථම වතාවට පිතිකරණයේ යෙදුනු බෲක් ප්‍රදර්ශනය කළේ ගෞරවයෙන් පිළිගත යුතු ක්‍රිකට් නිපුණතාවක්. ඔහු හතරේ සහ හයේ පහර එල්ල කළේ ඉතාමත් නිවැරදිව පන්දු තෝරා ගනිමින්. ඔහු උස්මාන් ටරික් (2/31) ට එරෙහිව අනවශ්‍ය අවදානමක් ගත්තේ නැහැ. ෂහීන් අෆ්රිඩි (4/30) ඔහුගේ ආරම්භක පන්දු යැවීමේ වාරයේදී කඩුලු තුනක් ලබා ගනිමින් සැලකිය යුතු හානියක් සිදු කරද්දීත් බෲක් ස්ථිරව සිටියා.

හයේ පහරක් සහ හතරේ පහරක් එල්ල කරමින් සිය මංගල ජාත්‍යන්තර විස්සයි20 ශතකය සම්පූර්ණ කළ බෲක් තවත් එවැනිම පහරක් අෆ්රිඩි ට එරෙහිව එල්ල කිරීමට ගත් උත්සාහයේදී පන්දුව කෙළින්ම කඩුල්ලේ ගැටීමෙන් දැවී ගියා. ඒ වන විට ඔහු එංගලන්තය ට මෙවර තරගාවලියේ අවසන් හතර දෙනාගේ ස්ථානය සුරක්ෂිත කර තිබුණා.
බෲක්ගේ ඉනිමේ විශිෂ්ටත්වයේ සලකුණ වූයේ සයිම් අයුබ්, මොහමඩ් නවාස් හා ෂඩාබ් අහමඩ් යන දඟ පන්දු යවන්නන්ට එරෙහිව ක්‍රීඩා කළ ආක්‍රමණශීලී පිතිකරණය. පිටියේ අවකාශය උපරිම කරගත් ඔහු පන්දු රකින්නන් නැති පෙදෙස්වලට පන්දුව තල්ලු කරමින් ලකුණු දෙක බැගින් ලබා ගැනීම පිණිස 13 වතාවක් කඩුලු අතර දිව්වා. බෲක්ගේ ඉනිම ආරම්භ වුනේ වමතින් දඟ පන්දු යවන නවාස්ගේ ඕවරයකින් ලකුණු 17ක් උදුරා ගනිමින්. එම ලකුණු ප්‍රමාණය හයේ පහරක් සහ හතරේ පහර දෙකකින් සමන්විත වුණා.

අභිරහස් දඟ පන්දු යවන්නා වන ටරික් විසින් ටොම් බැන්ටන් දවාලීමෙන් පසුව පාකිස්තාන නායකයා යළිත් ෂඩාබ් අහමඩ් ප්‍රහාරය සඳහා කැඳවූව ද බෲක් ඔහුට ද පහර දුන්නා. ටරික් ඔහුගේ පන්දු යැවීමේ දෙවැනි වාරයේදී සෑම් කරන් දවාලුවේ එංගලන්තය 103/5කට ඇද දමමින්. මේ අවස්ථාවේදී විල් ජැක්ස් (පන්දු 23කින් ලකුණු 28) තුළින් දක්ෂ සහකරුවෙකු බෲක් සොයා ගත් අතර මේ දෙදෙන එක්ව ඔ්වර 5.1ක් ඇතුළත ලකුණු 52ක් ලකුණු පුවරුවට එක් කළා.
බෲක්ගේ දැවී යාමෙන් පසුව නවාස්, ජැක්ස් හා ජැමී ඔවර්ටන් දවාලුව ද, සල්මාන් මිර්සාගේ අවසාන ඕවරයේ පළමු පන්දුවට ජොෆ්රා ආචර් හතරේ පහරක් එල්ල කරමින් එංගලන්තය අවසන් පූර්ව වටයට රැගෙන ගියා.

ඊට පෙර, සහිබ්සාඩා ෆර්හාන් සිය පිතිකරණ දක්ෂතාවයේ දිගටම නියැලෙමින් තවත් අර්ධ ශතකයක් වාර්තා කළේ මන්දගාමී තණතීරුවක් මත පාකිස්තානය ට 164/9ක තරගකාරී මුළු ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට උපකාරී වෙමින්. ෆර්හාන් එංගලන්ත දඟ පන්දු යවන්නන් සමග තරගවදිමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමග පන්දු 45කින් ලකුණු 63ක් ලබා ගත්තා.
වමතින් දඟ පන්දු යවන ලියාම් ඩෝසන් එංගලන්ත පන්දු යවන්නන් අතර කැපී පෙනෙමින් ලකුණු 24කට කඩුලු 3ක් ලබා ගත් අතර 18 වැනි ඕවරයේ ඔහුගේ කඩා බිඳගෙන යාම පාකිස්තානය මුළු ලකුණු 175ක් වාර්තා කිරීම වැළැක්වීමට සමත් වුණා.

(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com




