අර්ධ ශතකයක් ලබා ගත් පළමු අංක 9 පිතිකරුවා ලෙස ඔහුගේ නම ඉතිහාස පොතට ඇතුළත් කර ගත්තා.
31 හැවිරිදි ෂෙපර්ඩ් දකුණු අප්‍රිකාව ට එරෙහිව අහමදාබාද් නුවර පැවති කොදෙව් පිලේ දෙවැනි ලෝක කුසලාන ‘සුපිරි අට’ තරගයේ අංක 9 පිතිකරුවා ලෙස කඩුල්ලට පිවිස පන්දු 37කින් ලකුණු 52ක ඉනිමක් ක්‍රීඩා කිරීමට සමත් වුණා.
ෂෙපර්ඩ් කඩුල්ලේ රැඳී සිටි කාලය තුළ හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් එල්ල කරමින් ජේසන් හෝල්ඩර් සමග අට වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 57කින් ලකුණු 89ක වාර්තාගත සබඳතාවක් ද පිහිටුවූවා. ෂෙපර්ඩ් ඔහුගේ ලකුණු 50 සම්පූර්ණ කළේ කොදෙව් ඉනිමේ අවසාන පන්දුවේ.
මීට පෙර, T20 ලෝක කුසලාන තරගයක අංක 9 පිතිකරුවකුගේ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව තිබුනේ ඇෆ්ගනිස්තානයේ කඩුලුරකින-පිතිකරු ශෆිකුල්ලාගේ නමින්. දිල්ලියේදී 2016 මාර්තු 23 වැනිදා එංගලන්තය ට එරෙහිව පැවති 2016 විස්සයි20 ලෝක කුසලාන තරගයේදී ශෆිකුල්ලා පන්දු 20කින් නොදැවුනු ලකුණු 35ක් ලබා ගෙන තිබුණා.
ජාත්‍යන්තර විස්සයි20 තරගයක අංක 9 පිතිකරුවෙකුගේ වැඩිම ලකුණු වාර්තාව හිමිකර ගෙන සිටින්නේ ඔස්ට්‍රේලියාවේ හමිඩ් සාෆි. ඔහු 2025 වසරේ මැයි 17 වැනිදා ස්ලොවේනියාව ට එරෙහිව පන්දු 18කින් ලකුණු 58ක ඉනිමක් ක්‍රීඩා කළා.
ෂෙපර්ඩ් හා සාෆි හැරුනුවිට ජාත්‍යන්තර විස්සයි20 තරගයක අර්ධ ශතකයක් වාර්තා කළ අනෙක් එකම අංක 9 පිතිකරුවා වන්නේ බංග්ලාදේශයේ ටන්සිම් හසන් සකිබ්. ඔහු 2025 වසරේ මැයි 30 වැනිදා ලාහෝර් නුවරදී පාකිස්තානය ට එරෙහිව පන්දු 31කින් ලකුණු 50ක් රැස් කළා.
වාර්තාගත සබඳතාව

රොමාරියෝ ෂෙපර්ඩ් හා ජේසන් හෝල්ඩර් (පන්දු 31කින් ලකුණු 49) ලකුණු 89කින් ගොඩනැගුවේ ජාත්‍යන්තර විස්සයි20 තරගයකදී අට වැනි කඩුල්ල හෝ ඊට පහළ කඩුල්ලක් වෙනුවෙන් පිහිටුවූ දෙවැනියට ඉහළම සබඳතාව. පළමුවැන්න ලෙස සටහන්ව තිබෙන්නේ බෙල්ජියමේ සබර් සඛිල් හා සක්ලේන් අලි ඔස්ට්‍රියාව ට එරෙහිව වාර්තා කළ ලකුණු 132ක නොබිඳි සබඳතාව.
එහෙත් විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම අට වැනි කඩුලු සබඳතාව වන්නේ ෂෙපර්ඩ්-හෝල්ඩර් සබඳතාව.
කෙසේ වෙතත්, අවසානයේදී කොදෙව්වන් කඩුලු නවයකින් දකුණු අප්‍රිකාව ට පරාජය වුණා.
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com




