ක්‍රීඩාංගණයට රොද බැඳගෙන පැමිණ සිටි දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන් මහත් කලකිරීමට පත් කරමින්.
ලකුණු 147ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින් ලකුණු 95කට දැවී ගියේ එංගලන්තය ට තරගයේ තවත් පන්දු 20ක් ම ඉතිරිව තිබියදී ලකුණු 51ක පහසු ජයග්‍රහණයක් පිළිගන්වමින්.
මෙය එංගලන්තය ට එරෙහි ජාත්‍යන්තර විස්සයි20 තරගවල ශ්‍රී ලංකා අවාසනාවේ තවත් දිගුවක්. මේ ශෛලියේ ක්‍රිකට් ක්‍රීඩාවේදී ශ්‍රී ලංකාව අද වාර්තා කළේ එංගලන්තය හමුවේ අඛණ්ඩ 12 වැනි පරාජය. 2014 වසරේ සිට මේ දක්වා එංගලන්තය ජාත්‍යන්තර T20 තරගයක් ශ්‍රී ලංකාව ට පරාජය වී නැහැ.
ශ්‍රී ලංකා පන්දු යවන්නන් විනයානුකූල පන්දු යැවීමක නිරත වෙමින් ක්‍රමානුකූලව කඩුලු බිඳ දමමින් එංගලන්තය ලකුණු 146කට සීමා කිරීමට සමත් වුණා. එහෙත් ඔවුන්‌ගේ උත්සාහයට සාධාරණයක් ඉටු කිරීමට ශ්‍රී ලංකා පිතිකරුවන් අසමත් වුණා.
“ඇත්තෙන්ම මෙය ලොකු කලකිරීමක්. නමුත් අපට පන්දුවෙන් ගොඩක් ධනාත්මක දේවල් තිබුණා. අපි ඔවුන්ව ලකුණු 20කට අඩු සාමාන්‍ය ප්‍රමාණයක තියා ගත්තා. මගේ පිතිකරුවන් මීට වඩා හොඳින් ක්‍රීඩා කරාවි කියා මම බලාපොරොත්තු වුණා. එය දුර්වල පිතිකරණයක් හා හොඳ පන්දු යැවීමක්. අපේ පිතිකරණය දුර්වල වුණා. එය ඔවුන් ඇත්තටම හොඳින් පන්දු යැවීමක් නෙවෙයි. අපි තීරණාත්මක අවස්ථාවල කලබලයෙන් යුතුව පහරවල් එල්ල කළා” යනුවෙන් ශ්‍රී ලංකා නායක දසුන් ශානක කියා සිටියා.
ඉලක්කය හඹා යාමේදී ශ්‍රී ලංකා පළමු කඩුල්ල තෙවැනි ඔ්වරයේදී මුළු ලකුණු 15කට බිඳ වැටුනා. ජොෆ්රා ආචර්ගේ පන්දුවට ‘ඩීප් මිඩ් විකට්’ ස්ථානයට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේ පැතුම් නිස්සංක. ඔස්ට්‍රේලියාව ට එරෙහි තරගයේදී සුපිරි ශතකයක් ලබා ගත් ශ්‍රී ලංකාවේ වීරයාට මේ තරගයේ ලබා ගත හැකිවූයේ පන්දු 8කින් ලකුණු 9ක් පමණයි.
විල් ජැක්ස් සිවු වැනි ඕවරයේ පිට පිට පන්දුවලින් ශ්‍රී ලංකා කණ්ඩායමේ වටිනා කඩුලු දෙකක් බිඳ හෙලමින් කුසල් මෙන්ඩිස් (4) හා පවන් රත්නායක (0) දවාලුවා. ශ්‍රී ලංකාව 20/3 යි.
ඕවර පහක් අවසන් වන විට ශ්‍රී ලංකා කඩුලු හතරක් ලකුණු 22කට බිඳ වැටී තිබුණා. දැවී ගිය අනෙක් පිතිකරුවා වූයේ කමිල් මිෂාර (6). ‘ගලී’ ස්ථානයට උඩ පන්දුවක් දෙමින් මිෂාර දැවී ගියේ ද ආචර්ගේ පන්දුවකට.
‘පවර් ප්ලේ’ ඔ්වර හය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ගෙන් අඩක් ලකුණු 34කට දැවී ගොස් තිබුණා. පස් වැනි කඩුල්ල ලෙස දැවී ගියේ පන්දු 10කින් ලකුණු 10ක් ලබා ගත් දුනිත් වෙල්ලාලගේ.
කමිඳු මෙන්ඩිස් හතරේ සහ හයේ පහරක් බැගින් එල්ල කරමින් පන්දු 11කින් ලකුණු 13ක් රැස් කර ලියාම් ඩෝසන්ගේ පන්දුවට ඔහු අතටම උඩ පන්දුවක් දෙමින් දැවී ගියා. ඔ්වර දහයක් අවසන් වන විට ශ්‍රී ලංකාව ට කඩුලු හයක් ලකුණු 56කට අහිමි වී තිබුණා.
දසුන් ශානක හා දුශාන් හේමන්ත මුළු ලකුණු ප්‍රමාණය 52 සිට 69 දක්වා ප්‍රවේශමෙන් ඉහළ නංවමින් සිටියදී 12 වැනි ඔ්වරයේ ජැමී ඔවර්ටන්ගේ පන්දුවට මුහුණ දෙමින් සිටි හේමන්තගේ පිත්ත ‘බේල්ස්’ සමග ගැටීම හේතුවෙන් ඔහු ලකුණු 5කට දැවී ගියා.

හතරේ සීමාව අසල දර්ශනය වූ විල් ජැක්ස් හා ටොම් බැන්ටන්ගේ විශිෂ්ට සහාය උඩ පන්දු රැකීමකින් දැවී යාමට පෙර දසුන් ශානක හතරේ පහරක් සහ හයේ පහර දෙකක් සමග පන්දු 24කින් ලකුණු 30ක් රැස් කළා. ඉන්පසුව ලකුණු 13ක් ඇතුළත ඉතිරි කඩුලු දෙක බිඳ වැටෙමින් ශ්‍රී ලංකාව ඕවර 16.4ක් ඇතුළත ලකුණු 95කට දැවී ගියා.
‘තරගයේ වීරයා’ වූ විල් ජැක්ස් ලකුණු 22කට කඩුලු 3ක් බිඳ හෙලූ අතර ජොෆ්රා ආචර්, ලියාම් ඩෝසන් හා අඩිල් රෂිඩ් කඩුලු දෙක බැගින් ලබා ගත්තා.
කාසියේ වාසිය හිමිකර ගත් ශ්‍රී ලංකාව තීරණය කළේ පළමුව පන්දු යැවීමට. මේ තරගය වෙනුවෙන් ශ්‍රී ලංකාව වෙනස්කම් දෙකක් සිදු කරමින් දුෂ්මන්ත චමීර සහ කමිල් මිෂාර කණ්ඩායමට ඇතුළත් කර තිබුණා. ඒ, ප්‍රමෝද් මදුශාන් හා කුසල් ජනිත් පෙරේරා වෙනුවට. එංගලන්තය මේ තරගාවලියේ එක දිගට සිවු වැනි තරගය සඳහාත් එකම කණ්ඩායම නම් කර තිබුණා.
දඟ පන්දු යවන දුනිත් වෙල්ලාලගේ ඔහුගේ දෙවැනි ඔ්වරයෙන් කඩුල්ලක් ලබා ගනිමින් ජොස් බට්ලර් (7) කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට සමත් වුණා. ‘පවර් ප්ලේ’ ඕවර හය අවසන් වන විට එංගලන්තයේ කඩුලු දෙකක් ලකුණු 37කට බිඳ වැටී තිබූ අතර දැවී ගොස් සිටි අනෙක් පිතිකරුවා වූයේ ජේකබ් බෙතල් (3). එම කඩුල්ල මහීෂ් තීක්ෂණ ලබා ගත්තේ ඔහු යැවූ පළමු පන්දුවෙන්.
එංගලන්ත ඉනිමේ අඩක් ගෙවී යන විට ලකුණු තත්ත්වය වුයේ 68/4ක්. ටොම් බැන්ටන් (6) දුවද්දී දැවී ගොස් සිටි අතර නායක හැරී බෲක් ට ඔහුගේ 27 වැනි උපන්දිනයේදී ලබා ගත හැකිවූයේ ලකුණු 14ක් පමණයි. ඔහු දැවී ගියේ ද බට්ලර් මෙන්ම වෙල්ලාලගේ ගේ පන්දුවට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින්.
පිල් සෝල්ට් හා සෑම් කරන් මුළු ලකුණු සංඛ්‍යාව 94 දක්වා ගෙන එමින් සිටියදි දුෂ්මන්ත චමීරගේ පන්දුවට ‘ලෝන්ග් ඔ්න්’ හි පන්දු රකිමින් සිටි කමිල් මිෂාර අතට උඩ පන්දුවක් දෙමින් කරන් (11) දැවී ගියා.
හතරේ පහර හයක් සහ හයේ පහර දෙකක් එල්ල කරමින් සාර්ථකව ලකුණු රැස් කරමින් සිටි ආරම්භක පිතිකරු පිල් සෝල්ට්ගේ කඩුල්ල ලබා ගත්තේ ද වෙල්ලාලගේ. ඔහුගේ පන්දුවට ‘ලෝන්ග් ඔ්ෆ්’ හි දුශාන් හේමන්ත වෙත උඩ පන්දුවක් දෙමින් සෝල්ට් දැවී යන විට පන්දු 40කින් ලකුණු 62ක් රැස් කරගෙන සිටියා. 15 වැනි ඕවරය අවසන් වන විට එංගලන්තය 106/6 යි.
ලියාමි ඩෝසන් (6) දැවී යාමෙන් පසුව 19 වැනි ඔ්වරයේදී විල් ජැක්ස් හා ජොෆ්රා ආචර් (0) ඩිල්ශාන් මදුශංකගේ පිට පිට පන්දුවලට දැවී ගියා. ජැක්ස් පන්දු 14කින් ලකුණු 21ක් ලබා ගත් අතර ජැමී ඔවර්ටන් නොදැවී පන්දු 10කින් ලකුණු 10ක් රැස් කළා. එංගලන්තය කඩුලු 9 ට ලකුණු 146 යි.
පන්දු යැවීමේදී වෙල්ලාලගේ ලකුණු 26කට කඩුලු 3ක් ලබා ගත් අතර මදුශංක සහ තීක්ෂණ කඩුලු 2 බැගින් ලබා ගත්තා.

(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com




