සිම්බාබ්වේ හා අයර්ලන්තය අතර ඊයේ පල්ලෙකැලේදී පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි20 ලෝක කුසලාන ‘බී’ කොටසේ තරගය කාසියේ වාසිය උරගා බැලීමක් හෝ සිදු නොවී සම්පූර්ණයෙන්ම වැස්සට සේදී ගියා. මේ හේතුවෙන් තරගය පස්වරු 5.30 ට අහෝසි කෙරුනේ එය ආරම්භ වීමට නියමිතව තිබූ වේලාවෙන් පැය දෙකහමාරකට පසුව.
ඔ්මානය හා ඔස්ට්‍රේලියාව ට එරෙහිව ලබා ගත් ජයග්‍රහණවලින් පසුව සිම්බාබ්වේ ට ‘සුපිරි අට’ වටයට සුදුසුකම් ලබා ගැනීම පිණිස අවශ්‍යව තිබුනේ තවත් එක ලකුණක් පමණයි. තරගය නොපැවැත්වීමෙන් සිම්බාබ්වේ සහ අයර්ලන්තය ලකුණු බෙදා ගැනීමත් සමග සිම්බාබ්වේ ට දැන් ‘බී’ කොටසේ ලකුණු සටහනේ ලකුණු පහක් හිමිව තිබෙනවා. ශ්‍රී ලංකාව හමුවේ සඳුදා පරාජයට පත් ඔස්ට්‍රේලියාව ලකුණු දෙකක් සමග අතරමං වුණා.

මේ අනුව, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ ‘බී’ කොටසෙන් තරගාවලියේ ඉදිරියට යමින් Super Eight වටයට පිවිසෙනවා. සිම්බාබ්වේ කණ්ඩායමට ‘සුපිරි අට’ වටයේදී ඔස්ට්‍රේලියාව ට හිමිවීමට නියමිත X2 ස්ථානය ලැබෙන අතර ඒ අනුව ඔවුන් බටහිර ඉන්දීය කොදෙව් පිල සමග පෙබරවාරි 23 වැනිදා මුම්බායි හිදීත්, ඉන්දියාව සමග පෙබරවාරි 26 වැනිදා චෙන්නායි හිදීත්, දකුණු අප්‍රිකාව සමග දිල්ලියේදී මාර්තු 1 වැනිදාත් තරග වැදීමට නියමිතයි.
මේ අතර ශ්‍රී ලංකාව, මව්බිමේදී එංගලන්තය හා නවසිලන්තය සමග තරග වදින අතර ඔවුන්ගේ තෙවැනි ප්‍රතිවාදීන් කවුරුන් ද යන්න තවම තීරණය වී නැහැ. එම කණ්ඩායම පාකිස්තානය හෝ අමෙරිකාව වීමට ඉඩ තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ‘සුපිරි අට’ තරග තුනෙන් දෙකක් රාත්‍රී තරග ලෙසත් අනෙක් තරගය දිවා/රාත්‍රී තරගයක් ලෙසත් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඔස්ට්‍රේලියාව ‘සුපිරි අට’ වටයට සුදුසුකම් නොලැබුවත් ඔවුන්ට මේ තරගාවලියේ ක්‍රීඩා කළ යුතු තවත් මූලික වට තරගයක් ඉතිරිව තිබෙනවා. එම තරගය ඔ්මානය සමග සිකුරාදා පල්ලෙකැලේදී පැවැත්වෙනවා.
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම්වලටත් තරගයක් ඉතිරිව තිබෙනවා. එය හෙට (19) පස්වරු 3.00 ට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වනවා.
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com




