IPL සමග සබඳතා තිබෙන ඉන්දියානුවන්ට ප්‍රධාන වශයෙක් අයිතිය තිබෙන ෆ්‍රැන්චයිස හතරක් The Hundred තරගාවලිය සඳහා ක්‍රීඩකයින් තෝරා ගන්නා වෙන්දේසියේදී කිසිම පාකිස්තාන ක්‍රීඩකයෙකුව තෝරා නොගන්නා බවට එම මාධ්‍ය වාර්තා සඳහන් කර තිබෙනවා. එම්.අයි.ලන්ඩන්, මැන්චෙස්ටර් සුපර් ජයන්ට්ස්, සන්රයිසර්ස් ලීඩ්ස් හා සදර්න් බ්‍රේව් යන මේ කණ්ඩායම් හතර ඔවුන්ගේ මව් IPL කණ්ඩායම් අනුගමනය කරමින් පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයන් මත පනවා තිබෙන නොකියූ තහනම ක්‍රියාත්මක කරනු ඇති බවට එම වාර්තාවලින් ප්‍රකාශ වනවා.
The Hundred තරගාවලියේ සිටින ෆ්‍රැන්චයිස අටෙන් IPL සමග කෙළින්ම සම්බන්ධකම් ඇති මේ සිවු දෙනාට අමතරව ලන්ඩන් ස්පිරිට් හා වෙල්ෂ් ෆයර් යන කණ්ඩායම් දෙක ට ද ඉන්දීය සබඳතා තිබෙනවා.

ළඟ එන ක්‍රීඩක වෙන්දේසියේදී The Hundred තරගාවලියේ සිටින ඔ්නෑම ෆ්‍රැන්චයිසයක් හිතාමතා පාකිස්තාන ක්‍රීඩකයින් නොසලකා හැරියොත් එම වෙනස්කම් කිරීමට එරෙහිව එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ කණ්ඩායමක් එක්සත්ව නැගී සිටිනු ඇති බවට හිටපු එංගලන්ත ක්‍රීඩක මොයීන් අලි අනතුරු අඟවනවා.
“එංගලන්තයේදී එවැනි දෙයක් සිදුවේවි කියලා මට සැකයි. එහෙම නොවේවි කියලා මම ප්‍රාර්ථනා කරනවා” යනුවෙන් මොයීන් කියා සිටිනවා. “ඒක කොහෙත්ම සිදු නොවිය යුතුයි. එහෙම වෙයිද කියලා අපට බලා ඉන්න සිදුවෙනවා. එවැන්නක් සිදුවුනොත් ඒක මහත් ලජ්ජාවක්. එංගලන්ත හා වේල්ස ක්‍රිකට් මණ්ඩලය (ECB) පැහැදිලිවම මේ ගැන විමසිල්ලෙන් සිටීවි.”
මේ කතාව සැබෑවක් වුනොත් එයින් මහත් ලජ්ජාවක් සිදුවනු ඇතැයි එංගලන්තයේ සුදු පන්දු ක්‍රිකට් නායක හැරී බෲක් සහ හිටපු නායක මයිකල් වෝන් දැනටමත් ප්‍රකාශ කර තිබෙනවා. නමුත් මෙයට විරෝධය පළ කරමින් තව බොහෝ දෙනෙක් මේ අය සමග එක්වනු ඇතැයි මොයීන් අනතුරු අඟවනවා.
“මෙවැනි දේවල් ගැන කුමන ආකාරයක හෝ කැක්කුමක් තියෙන අය ඉදිරියට ඇවිත් කතා කළ යුතුයි. අනෙක් රටවලට ඔවුන්ට කැමති දේ කරන්න පුළුවන්. පැහැදිලිවම ඒවා පාලනය කරන්න අපට බැහැ. නමුත් එංගලන්තයේදී මේ වගේ දේවලට ඉඩ දෙන්න බැහැ” මොයීන් පවසනවා.

මේ ආකාරයේ සෙවණැලි තහනමක් දක්නට ලැබෙනු ඇති පළමු ෆ්‍රැන්චයිස් ලීගය මෙය වන්නේ නැහැ. දකුණු අප්‍රිකාවේ ක්‍රීඩා කෙරෙන SA20 සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ILT20 (ජාත්‍යන්තර ලීග් විස්සයි20) තරගාවලියන්හි සිටින ඉන්දියාවට අයත් කණ්ඩායම් ද කිසිම පාකිස්තාන ක්‍රීඩකයෙකුව තෝරා ගන්නේ නැහැ. වෙනස්කම් කිරීම සම්බන්ධයෙන් වන තමන්ගේ ප්‍රතිපත්තිය බිඳ දැමුවහොත් ඊට එරෙහිව ක්‍රියාත්මක වන බවට ECBය සියලුම කණ්ඩායම් අයිතිකරුවන්ට ලිඛිතව දන්වා ඇති බව පැවසෙනවා.
පාකිස්තාන ක්‍රීඩකයින් 63ක්
මේ අතර, ඉන්දියාව ට හිමිකාරිත්වය තිබෙන කණ්ඩායම්වලින් මතුව තිබෙන මේ අවිනිශ්චිතතාව මධ්‍යයේ පාකිස්තාන ක්‍රීඩකයින් 63 දෙනෙක් ලබන මස ලන්ඩනයේ පැවැත්වීමට නියමිත The Hundred ක්‍රීඩක වෙන්දේසිය සඳහා ලියාපදිංචි වී තිබෙන අතර පාකිස්තාන ක්‍රිකට් නායක සල්මාන් අලි අඝා, ෂහීන් අෆ්රිඩි, සයිම් අයූබ් සහ උස්මාන් ටරික් ද මේ අතර සිටිනවා. ඉන්දියාව හැර ලෝකය හරහා රටවල ක්‍රීඩකයින් 711 දෙනෙක් මේ තරගාවලියට ලියාපදිංචි වී සිටිනවා.
මේ පාකිස්තාන සුපිරි ක්‍රීඩකයින් සිවු දෙනා ලියාපදිංචි වී සිටින්නේ බ්‍රිතාන්‍ය පවුම් 100,000ක මූලික මිලකට බව වාර්තා වී තිබෙනවා. මේ හතර දෙනා හැරුනුවිට වෙන්දේසි සංචිතයේ සිටින අනෙක් ඉහළම පෙලේ පාකිස්තානුවන් වන්නේ ෂඩාබ් ඛාන්, හැරිස් රවුෆ්, මොහමඩ් නවාස් හා නසීම් ෂා.
අබ්රා අහමඩ්, මොහමඩ් අමිර් සහ සමාන් ඛාන් වැනි ක්‍රීඩකයින් ලියාපදිංචි වී ඇත්තේ පවුම් 75,000 මූලික මිලකට. ෆහීම් අෂ්රෆ්, ශහිබ්සාඩා ෆර්හාන්, උසාමා මිර්, ඉමාඩ් වසිම්, අබ්බාස් අෆ්රිඩි, අෆාක් අෆ්රිඩි සහ අසිෆ් අෆ්රිඩි සංචිතයේ සිටින්නේ පවුම් 50,000ක මූලික මිලකට.

The Hundred ක්‍රීඩක වෙන්දේසියේ නම ලියාපදිංචි කර සිටින ප්‍රධාන ක්‍රීඩකයින් අතර ශ්‍රී ලංකාවේ ඇන්ජලෝ මැතිව්ස් හා වනිඳු හසරංග ද සිටිනවා. ෆින් ඇලන්, ජොනී බෙයාස්ටෝ, ට්‍රෙන්ට් බෝල්ට්, කුයින්ටන් ඩි කොක්, ශිම්රෝන් හැට්මියර්, ඩේවිඩ් මිලර්, අඩිල් රෂිඩ්, ශර්ෆේන් රදෆෝඩ්, ඩේවිඩ් විලී, මොයීන් අලි, ෆසාල්හක් ෆරූකි, අල්සාරි ජෝසප්, නන්ද්‍රි බර්ගර්, ජෙරල්ඩ් කෝට්සී හා ෂොයිබ් බෂිර් මේ වෙන්දේසි සංචිතයට ඇතුළත් අනෙක් ප්‍රධාන නම් කිහිපයක්.
The Hundred යනු කණ්ඩායම් දෙකක් පන්දු සියයකින් සමන්විත ඉනිමක් බැගින් ක්‍රීඩා කරන ක්‍රිකට් ක්‍රමවේදයක්. T20 ශෛලියෙන් ක්‍රීඩා කරන මේ තරගවල ඔ්වරයකට තිබෙන්නේ පන්දු පහක් පමණයි. එක්සත් රාජධානියේ වෘත්තීය ක්‍රිකට් ලීගයක් වන මෙය පන්දු 100 ක්‍රමවේදය භාවිතා කරන ලොව එකම ක්‍රිකට් ලීගය වනවා. එංගලන්ත හා වේල්ස ක්‍රිකට් මණ්ඩලය විසින් සංවිධානය කරන The Hundred තරගාවලිය සෑම වසරකම ජූලි හා අගෝස්තු මාසවලදී පැවැත්වෙනවා.
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com




