පුරුෂයා ගැන තථාගතයන් වහන්සේ හෙලන බැල්ම සොයා බලන්නට වටිනා තරම්ය.
ගැහැණිය දෙස හෙලන දැක්ම පූර්ණ වන්නේ පුරුෂයා දෙසද දකින දැක්ම තුලය. එය අනෙක් පසට ස්ත්‍රීය දෙස හෙලන දැක්මටද බලපාන්නකි. පුරුෂත්වය හා ස්ත්‍රීත්වය එකිනෙකට බැඳෙන භාව රාග සරාග බැඳීමකින් බැඳී ගෙතුණු අපරිමිත විෂයකි. ආලය බන්ධනය සහ රාගය වෙත පුරුෂ සිරුර බැඳෙන්නේ කෙසේද? එය ලෞකික ලොව උදාකර ගැනීමේ මුදුන් සිහිනය සේ බුදුන් වහන්සේද දකින්නේය. මේ කරුණේදී පුරුෂයා ස්ත්‍රියගෙන් වියුක්තවද, ස්ත්‍රියට පුරුෂයාගෙන් වියුක්තවයද පවතින්න නොහැකිව ඇත්තේ ද උපතට බැඳුණු ප්‍රජනනය නිසාවෙන්ය. මෙම බන්ධනය ගැන සාරතම කිමිදීමක් තථාගත ඥාන මාවතේදී හමුවේ. එය කියවා වටහා ගන්නට හැකි නම් මානව සාරගය නිදහස් කළ ගෞතමයන් වහන්සේගේ නිවහල් දහම ජීවිතයට ආලෝකය ගෙන දේ. නමුත් සිදුව ඇත්තේ නම් මේ විෂය ගැන උන්වහන්සේ යමක් නොකී තරමට බෞද්ධ කතිකාව නිහඬ වීමයි.
මේ නිහඬ බව බිඳ දමන්නට කිසිවෙක් ඉදිරිපත් නොවන්නේ මන්ද. පුරුසබන්ධන සූත්‍රය ඔස්සේ පුරුෂ හැඟීම් භාව ආලයන් හා ලෝක යථාව අතර හැබෑව මෙසේ උන්වහන්සේ අවධාරණය කර තිබියදී සැඟවුණු ධර්මයක් සේ පුරුසබන්ධන සූත්‍රය යටත් කොට තිබේ. පුරුෂයා වෙනම ගෙන විවරණ කිරීමට තථාගතයන් ඉදිරිපත් වූයේ මන්ද, ස්ත්‍රීය ගැන නැති තරමට පුරුෂයා විවරණය වන්නේ කුමන හේතු මතද, පුරුෂයාගේ ජීව රාග ආල භාව හැසිරිම පුරුෂ බන්ධන සූත්‍රයෙන් පටන් ගෙන දිගු සූත්‍ර ගණනාවකට විහිදුවා ඇත. “ පුරිසරූප පරියඥාන සූත්‍රය” සහ “පුරිසගන්ධ පරියඥාන සූත්‍රය” ලෙස ගෞතමයන් වහන්සේ පුරුෂ භාව ලීලා ගැන තවදුරටත් ගැඹුරු විහිදීමක් සිදු කරයි.
බුදුන් වහන්සේ මඟ පෙන්වන්නේ ප්‍රථමව අවබෝධය පිණිසයි. අවබෝධයෙන් බැඳීමටත් අවබෝධයෙන් යුතුව අත්හැරීමටත්ය. නමුත් බැඳීම් පාපයක් ලෙස ගෞතමයන් වහන්සේ කියා දී ඇති ලෙස දහම පටලවා ඇත. ඒ නිසා අත්හැරීමට මාන බලයි. අත්හැරීම ලෙස ලතැවුල්ල වෛරය කෝපය පළිගැනීම හා මංමුලා වීමට ගමන් කරයි. මේ ගැන ලෞකකිවත් ලොව්තුරුවත් සිතන්නට සමබර ගමනක් තෝරා දුන් බුදුන්ගේ ඔවදන දන්නේ නැත.

ඒ නිසා “ පුරුස බන්ධන සූත්‍රය” නොදන්නේමය. ඒ නිසා ගිහියන්ට උවමනාම සූත්‍ර ගිහියන් නොදනී. ඒ නිසා දේවවාදීන් විසින් දෙවියන්ට යටත් කළ ලෞකිකත්වය අපද බුදුන් කීවා සේ දෙවියන්ටම යටත් කොට ඇත. සරලව කියන්නේ නම් ලංකාවේ ආදර වන්තයන්ද පළතුරු වට්ටියක් අරගෙන දෙවියන් යදින්න යනවා මිසක පළතුරු වට්ටියක් අරගෙන එය බෙදාගෙන කමින් ආදරය නොකරයි. මෙහෙම උනේ මේ ව්‍යාජ ශාසනධාරීන් දහම සඟවා තැබූ නිසාය. පුරුෂ බන්ධනය ගැන සූත්‍රයක් වියමන් බඳින තථාගතයන් වහන්සේ ඉන් නොනැවතී පෙරට වැඩම කළේය.
කාමය වරදවා හැසිරෙන්නෝම කාමයේ නොහැසිරෙන අයට බුදු බණ විකෘති කර දේ. හොඳම වනචරයන් හොඳම උපාසකයන් ගැන කියයි. උපාසකයා යනු අවබෝධගාමීයා බවට බුදුහාමුදුරුවන් කියා වදාරා ඇත.ඒත් මේ විකෘති උපාසකයන් උපාසකයා ලෙස නම්කරන්නේ බුදු බණ උඩින් වෙන බණක් කියන අයටය. කොටින්ම ලෞකික සැපත බුදුන් වදාළ මඟ නොවේ යැයි කියන්නා සහ අදහන්නාය.ඒ වගේම ලෞකික සතුට අවභාවිතා කරන රහසිගත පුද්ගලයා බෞද්ධයා කොට ඇත. පුරිස බන්ධන සූත්‍රය ලක්බිමේ පුරුෂ හදවත් වලට තේරුම් යන දවසක් කවදා ලැබේද? ඒ නිසා පුරුෂයන් විමුක්තිය ලබන්නටවත් මහ පුරුෂ ගෞතමයානන්ගේ පුරුෂ සූත්‍ර ඇසිය යුතුය.
(සුජිත් අක්කරවත්ත)
දේශපාලන හා සමාජ විශේලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
වායාම අනෙකුත් ලිපි මෙතනින් බලන්න