අප ඉදිරියේ තිබෙන්නේ ජාතික ජන බලවේගයද වෙනත් පක්ෂයක්ද යන ප්‍රශ්නයක් නොව, වංචාව, දූෂණය
සමග තවදුරටත් විනාශය කරා යනවාද, එයින් රට මුදා ගෙන නිෂ්පාදන ආර්ථිකයක් තුළින් ඉදිරියට යනවාද යන්න තෝරා ගැනීම බව ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජික ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පවසයි.

ඔහු එම කරණය අවධාරණය කර සිටියේ, පසුගිය 25 වනදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවති ජාතික ජන බලවේගයේ බැංකු හා මූල්‍ය සංසදයේ කොළඹ දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

ජාතික ජන බලවේග රජයක් යටතේ ක්‍රියාත්මක කෙරෙන ආර්ථික ප්‍රතිපතින් කිහිපයක් සම්මබන්ධයෙන් ඔහු මෙහිදී මෙසේ කරුණු විග්‍රහ කළේය.

 
ජාතික ජන බලවේගයේ විසඳුම කුමක්ද, සැලැස්ම මොකක්ද ?
 
“රටේ ජනතාවගේ තැන්පත් එකතු කර, බැංකු පද්ධතිය තුළ රුපියල් ට්‍රිලියන 11ක පමණ වත්කම් ප්‍රමාණයක් පවතිනවා. බරපතළ ආර්ථික කඩා වැටීම නිසා බැංකු පද්ධතියේ අක්‍රීය ණය ට්‍රිලියන 1.1 දක්වා වැඩිවීමෙන් රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් දක්වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට අවශ්‍ය මූල්‍ය පහසුකම් සපයන්න හැකි වෙන්නේ නැහැ.

පසුගිය අවුරුදු කිහිපය තුළ ඔබ සියලු දෙනාම මෙය අත්දැක තිබෙනවා. ජාතික ජන බලවේගයෙන් මේ සඳහා තිබෙන විසඳුම කුමක්ද, සැලැස්ම මොකක්ද යන්න පැහැදිලි කිරීමට මා යොමු වෙනවා.

අපේ ආර්ථික සැලැස්ම තිබෙන්නේ රටේ පුරවැසියන් එකතුකර ගත් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමයි. ඒ තුළින් දරාගත හැකි මිලකට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ මෙන්ම අධ්‍යාපන පහසුකම් සහ පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම මූලිකම පදනමයි. දියුණුවේ යාන්ත්‍රණයේ පෙරගමන්කරුවා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවාය යන පදනමේ සිට හුදු ආර්ථිකය පමණක් හඹා යන සමාජයක් නොව මානව සබඳතා දියුණු කරන වැඩපිළිවෙළක්ද අපට තිබෙනවා.

රටේ විසිරී තිබෙන සම්පත් ඒකරාශී කරගෙන උපරිම ප්‍රයෝජන ගැනීම වෙනුවෙන් ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කර ලෝකය සමග ඉදිරියට යාම අපේ සැලසුමයි. ව්‍යවසායකයන්ගේ හැකියාව මත ව්‍යාපාර දිනාගෙන තාක්ෂණය සමග ඒකාබද්ධව අපනයන වැඩි දියුණු කරගැනීම වෙනුවෙන් ක්‍රියාකරනවා. ඒ තුළින් රාජ්‍ය ආදායම වර්ධනය කරගෙන තිරසාර සංවර්ධනයක් අත්කර ගැනීම අරමුණයි.

ව්‍යාපාරිකයන් සහ ජනතාව තලාපෙළනවා වෙනුවට තමන්ගේ හැකියාවේ ධාරිතාවය වර්ධනය කරගෙන ඉදිරියට යාමේ පුළුල් ඉඩකඩ ලබාදෙනවා.

මේ වන විට බදු ගෙවීම් පැහැර හැරීම නිසා රජයට අහිමි වූ විශාල ආදායමේ අඩුව පුරවා ගන්න ඔබ, මම, මත බදු පටවා තිබෙනවා. එමෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ වගේම විශාල පරිමාණ ව්‍යාවසායකයන්ටත් විශාල බදු බරක් පැටවා තිබෙනවා.
 
නොගෙවා සිටින බදු අයකර ගැනීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් අප සකස් කර තිබෙනවා. ඒ වගේම බදු පැහැර හැරීම වැළැක්වීමට සංකීර්ණ බදු ක්‍රමය වෙනුවට සරල සහ පහසු බදු ක්‍රමයක් තාක්ෂණය යොදාගෙන ක්‍රියාත්මක කරනවා. වක්‍ර බදු මගින් ජනතාවට විශාල බරක් පටවනවා වෙනුවට ඍජු බදු මගින් තමන්ගේ හැකියාව සහ වත්කම් මත ආදායමට සරිලන ලෙස බදු අයකිරීමේ ක්‍රමයක් සකස් අප කරනවා.

ඒ වගේම විෂය භාර ඇමතිවරයාට තම අත්තනෝමතික තීරණ මත ක්‍රියාකිරීමේ හැකියාව අවසන් කිරීමෙන් සීනි බදු වංචාව වැනි බදු වංචාවකට තිබෙන ඉඩකඩ අවසන් කරනවා. ඒ වගේම අවප්‍රමාණික තක්සේරු කිරීම් සහ මඟහැරීම් අවසන් කරමින් සෑම ආයතනයකම මුල් බැසගෙන තිබෙන දේශපාලන මැදිහත් කිරීම් අවසන් කර, ආයතනික ආචාරධර්ම පද්ධතියකින් නැවත නඟා සිටුවීමට කටයුතු කරනවා.
 

රාජ්‍ය ආදායම නිවැරදිව කළමනාකරණය කිරීමේ මධ්‍යගත ආයතනයක්
 
රාජ්‍ය ආදායම නිවැරදිව කළමනාකරණය කිරීමේ මධ්‍යගත ආයතනයක් පිහිටුවනවා. රාජ්‍ය ව්‍යවසායන් ලාභ ලබන සහ පාඩු ලබන තත්වයට තල්ලු කළේ කොහොමද කියන එක නිවැරදිව සලකා බලා, ක්‍රමෝපායික වශයෙන් වැදගත් වන රාජ්‍ය ව්‍යාපාර හඳුනාගෙන කෙටිකාලීන, මැදි කාලීන සහ දිගු කාලීන සංවර්ධනයට අවශ්‍ය කාර්යභාරය පිළිබඳ වගකීම් හඳුනාගන්නවා.

ටෙලිකොම් ආයතනය, ලංකා බැංකුව, මහජන බැංකුව වැනි ආයතන රටේ ඉතිරි අනාගතය වෙනුවෙන් ස්ථාවර කරමින් ලෝකය පිළිගත් ක්‍රමවේද අනුව ඉදිරියට ගෙන යනවා. විදේශ ආයෝජකයින් කැඳවා ගැනීමේදී විනිවිදභාවයකින් යුතුව ජාතික සැලැස්මට අනුගතව මෙහෙයවනවා. රටට අවශ්‍ය විදේශ සංචිත වැඩිකර ගැනීමට ආයෝජන විනිවිද පෙනෙන සුළු ආකාරයෙන් රඳවා ගන්නවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කිරීම පිළිබඳව විශාල අවධානයක් යොමු වී තිබෙනවා. දැන් ක්‍රියාත්මක කර තිබෙන්නේ මුල්‍ය අරමුදල සමග යන ක්‍රියාමාර්ග. ආර්ථිකය ප්‍රතිසංස්කරණය කිරීමේදී ජනතාවට විශාල බරක් පටවමින් යන ක්‍රියාවලිය වෙනුවට පුරවැසියන්ට උපරිම ප්‍රතිලාභ ලැබෙන ආකාරයෙන් අපේ ස්ථාවරයන් ගොඩනඟා ගැනීමට මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරනවා.

ආර්ථිකය ප්‍රසාරණය කර, පුරවැසියන්ගේ ආදායම ඉහළ නැංවීමත් රාජ්‍ය ආදායම ඉහළ නැංවීමත් මූලික කරගත් සාකච්ඡා ආරම්භ කර, ණය නැවත ගෙවීමේ කොන්දේසි නැවත සමාලෝචනය කරනවා. මේ තුළින් රටේ ණය ශ්‍රේණිගත කිරීම් නැවත ඉහළ මට්ටමකට ගෙන එන්න අලුත් ක්‍රමවේදයන් අනුගමනය කිරීමේ හැකියාව සොයා බලනවා. උදාහරණයක් හැටියට විදේශ ආයෝජනයන් සමග රට තුළ රුපියල්වලින් ගනුදෙනු කර ලාභය ඩොලර්වලින් ගෙන යන ආයෝජන දිරි ගන්වනවා වෙනුවට ඩොලර් උපයන විදේශ ආයෝජන වර්ධනය කරමින් ලාභ ගෙනයාමේ අවස්ථාව සලසා දෙනවා.


''ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර සම්බන්ධයෙන් වෙනම සලකා බලන්න ඕනෑ''
 
ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර සම්බන්ධයෙන් වෙනම සලකා බලන්න ඕනෑ. දළ ජාතික නිෂ්පාදිතයට සම්බන්ධ කර, පවත්වාගෙන යා යුතු අනුපාතයක් තීරණය කර, එම බැඳුම්කර යම් ප්‍රමාණයක් රුපියල්වලට පරිවර්තනය කරගෙන කටයුතු කිරීමේ උත්සාහයක් තිබෙනවා. බැංකු ක්ෂේත්‍රයේ ප්‍රතිප්‍රාග්ධනීකරණය වෙනුවෙන් ඒ ඩොලර් යෙදවීමේ හැකියාව සොයා බලනවා.

රුපියල්වලට පරිවර්තනය කරන මුදල්වලට පවා ඒ වෙනුවෙන් යොදවා ගැනීමේ හැකියාව ප්‍රාථමික ගැනුම්කරුවන් මාර්ගයෙන් බැංකුවලට ලබාදීමේ හැකියාව සොයා බලනවා. ඒ තුළින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට අවශ්‍ය ප්‍රාග්ධනය ලබාදීමේ වැඩපිළිවෙළක් ගැන සලකා බලනවා. 
ජාතික ජන බලවේගයේ ආර්ථික සැලැස්ම තුළ තිබෙන්නේ මෙවැනි සංයුක්ත සමස්ත ආර්ථික වැඩපිළිවෙළක්. ආර්ථිකය සම්බන්ධ මහාචාර්යවරුන් විශාල පිරිසක් සම්බන්ධ කරගෙන ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි ආකාරයෙන් සකස් කර තිබෙනවා.

අප ඉදිරියේ තිබෙන්නේ ජාතික ජන බලවේගයද වෙනත් පක්ෂයක්ද යන ප්‍රශ්නයක් නොවෙයි. වංචාව, දූෂණය සමග තවදුරටත් විනාශය කරා යනවාද, එයින් රට මුදා ගෙන නිෂ්පාදන ආර්ථිකයක් තුළින් ඉදිරියට යනවාද යන්න තෝරා ගැනීමයි.

බැංකු සහ මූල්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරමින් මේ එකතු වී සිටින්නේ ශ්‍රී ලංකාව මේ අර්බුදයෙන් ගොඩයාම සඳහා කැපවීමෙන් වැඩකරන පිරිසක්. ඉදිරියේදී තවත් මේ පිළිබඳව සාකච්ඡා කරමින් ගැටලු නිරාකරණය කරගෙන රට ගොඩනැගීමේ කාර්යයට සියලු දෙනාටම අවස්ථාව ලැබෙන ඇතැයි ප්‍රාර්ථනා කරනවා.”

(lankatruth.com)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්