අගනගරයේදී පැහැරගෙන ගොස් කොළඹ අධි ආරක්ෂක කලාපයක් තුල ඝාතනය කරන ලදුව මේතාක් යුක්තිය ඉටුවී නැති
ප්‍රවීණ දෙමළ මාධ්‍යවේදියකුගේ දහනම වැනි ගුණ ගුණානුස්මරණය උතුරු නැගෙනහිර දෙපළාතේ ස්ථාන කිහිපයක දීම පවත්වා තිබේ.
යාපනය මාධ්‍ය සමාජය, වව්නියාව මාධ්‍ය සමාජය, මඩකලපුව මාධ්‍ය සමාජය මෙන්ම බලහත්කාරයෙන් අතුරුදහන් කළ සිය සමීපතමයන් සොයා ගැනීම වෙනුවෙන් වව්නියාවේ අඛණ්ඩව ක්‍රියාත්මක වන සත්‍යග්‍රහ භුමියේ දී ද ගුණානුස්මරණය කරන ලද්දේ චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලනය පැවති 2005 අප්‍රේල් 28 දා වෑන් රථයකින් පැමිණි කණ්ඩායමක් විසින් බම්බලපිටිය පොලීසිය අසලදී පැහැරගෙන ගොස් ඝාතනය කර තිබු තරාකී නමින් ප්‍රකට ධර්මරත්නම් සිවරාම්ය.
ශ්‍රී ලංකාවේ ඝාතනයට ලක් වු මාධ්‍යවේදීන් අනුස්මරණය උදෙසා මඩකලපුව ගාන්ධි උද්‍යානය ඉදිරිපිට ස්ථාපිත ස්මාරකය ඉදිරිපිට දී ධර්මරත්නම් සිවරාම්ගේ ඡායාරූපයකට මල් මාලයක් පලඳා මලින්, පහනින් ඔහුට උපහාර දැක්වු මඩකලපුව දිස්ත්‍රික් දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමය, මඩකලපුව මාධ්‍ය සමාජය හා නැගෙනහිර පළාත් මාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකාවේ ඝාතනය වු සියළු මාධ්‍යවේදීන්ට යුක්තිය ඉල්ලා විරෝධතාවයක්ද දියත් කර තිබේ.
කොළඹ සිට එම අනුස්මරණය සදහා මඩකලපුවට ගොස් සිටි මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ අප්‍රේල් 28 වැනිදා දෙමළ මාධ්‍යවෙත සදහන් කළේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් දකුණ මෙන්ම දකුණේ මාධ්‍ය ද නිහඩ බවයි.
“කියන්න කණගාටුයි, විශේෂයෙන්ම දමිළ ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් දකුණ නිහඩයි. දකුණේ මාධ්‍ය නිහඩයි. දකුනේ දේශපාලන කණ්ඩායම් නිහඩයි.”
බලයට ඒම සදහා බලාගෙන සිටින විපක්ෂයේ බල කණ්ඩායම් වටා හිටපු හමුදාවේ ලොක්කන් ඒකරාශි වීම තුළ එම දේශපාලන බලවේග වලින් ද දෙමළ ජනයාට යුක්තිය ඉටු වෙතැයි විශ්වාසය තැබිය නොහැකි හෙයින් දිගටම අරගල කිරීම අවශ්‍ය වෙතැයිද ඔහු එහිදී වැඩි දුරටත් අවධාරණය කළේය.
”ඊටත් වඩා භයානක තත්වයක් තියනවා. මොකද බලයට එන්න බලාගෙන ඉන්න විපක්ෂයේ බල කණ්ඩායම් පවා දමිල ජනතාවගේ ප්‍රශ්න, ඝාතනයට ලක්වෙච්ච මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න සාකච්ඡා කරන්නේ නෑ. ඒ විතරක් නෙමෙයි අද ඒ බලවේග පිරීගෙන යනවා හිටපු හමුදාවේ ලොක්කන්ගෙන්.”
එම විරෝධයට එක්ව සිටි මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දෙමළ ඊළාම් විමුක්ති ව්‍යාපාරයේ මහලේකම් ගෝවින්දන් කරුණාකරම් සදහන් කළේ ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන් වෙනුවෙන් මෙන්ම දෙමළ ජනයා වෙනුවෙන් වසර ගණනාවක් ඉල්ලා සිටින යුක්තිය ලබා දීමට කිසිදු ආණ්ඩුවක් සුදානම් නොමැති බවයි.
“ අපි මේ රටේ යුක්තිය ඉල්ලනවා. ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන්ට යුක්තිය ඉල්ලනවා. ඒ වගේ ම අපි බලහත්කාරයෙන් අතුරුදන් කළ අය වෙනුවෙන් වසර ගණනාවක් යුක්තිය ඉල්ලනවා. ඒ වගේම උතුරු නැඟෙනහිර විනාශ වූ සහ ඝාතනය වූ සියලු දෙනාට සහනයක් අපි ඉල්ලනවා. නමුත් රට පාලනය කරන ආණ්ඩු ඒ යුක්තිය ඉටු කිරීමට සූදානම් නැහැ.”
ආදේශකයක් තවමත් නෑ
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම්ගේ ඡායාරූපයකට මල් දමක් පළඳා අප්‍රේල් 27 වැනි සෙනසුරාදා මලින් පහනින් ඔහුට ගෞරව දැක්වු යාපනය මාධ්‍ය සමාජය 2007 වසරේ අප්‍රේල් 29 වැනිදා යාපනය ස්ටැන්ලි පාරේ දී වෙඩි තබා ඝාතනය කළ උදයන් පුවත්පතේ මාධ්‍යවේදී සෙල්වරාජා රජීවර්මන් ද එහිදී සිහිපත් කර තිබුනි.
එම අවස්ථාවට එක්ව සිටි යාපනය මාධ්‍ය සමාජයේ ලේකම් රත්නම් දයාබරන් පවසා සිටියේ ධර්මරත්නම් සිවරාම් ඝාතනයට ලක්වී දහනම වසරක් ගතවී ඇතත් ඔහුට සමකළ හැකි අයකු තවමත් හමුවී නොමැති බවයි.
"දෙමළ ජාතිය වෙනුවෙන් කටයුතු කළ මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ක්‍රියාකාරීන් 39 දෙනෙක් අපට අහිමි වෙලා තියනවා. සිවරාම් ඝාතනය වී වසර 19ක් ගතවූවත් ඔහු වෙනුවට ආදේශකයක් තවමත් අපට හම්බවෙලා නෑ. ඇත්තෙන්ම කැපකිරීම් අගය කළ යුතුයි. ගරු කළ යුතුයි. මතක තබා ගත යුතුය. ඒ තුළින් පමණයි අපට ඉදිරි පරම්පරාවට ඉතිහාසය කියා දිය හැක්කේ."
අප්‍රේල් 28 වැනි ඉරිදා වව්නියාව මාධ්‍ය සමාජය ද ධර්මරත්නම් සිවරාම් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා අනුස්මරණය කළ අතර බලහත්කාරයෙන් අතුරුදහන් කළ සිය සමීපතමයන් සොයා ගැනීම වෙනුවෙන් වව්නියාවේ දින 2625 ක් තිස්සේ අඛණ්ඩව ක්‍රියාත්මක වන සත්‍යග්‍රහ භුමියේද දෙමළ මව්වරුන් විසින් ඔහුව අනුස්මරණය කළ බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.
මාධ්‍යවේදීන් 44 ක්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ධුරය දරන සමයේදී ඝාතන සහ පැහැරගැනීම් ඇතුළු පීඩාවලට රට තුලදී ලක්වූ මාධ්‍යවේදීන් ගණන 44 ක් බව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) විසින් සම්පාදනය කරන ලද වාර්තාවක දැක්වේ.
ඉන් වැඩි ප්‍රමාණයක් උතුරේ දෙමළ මාධ්‍යවේදීන්ය. ඔවුන් කිසිවකුටත් මේ තාක් යුක්තිය ඉටු වී නොමැත.
ආරක්ෂා සහිත ඝාතනයක්
1959 අගෝස්තු 11වන දින මඩකලපුවේදී උපන් ධර්මරත්නම් සිවරාම් 2005 අප්‍රේල් 28 වැනි දා බම්බලපිටිය පොලිස් ස්ථානය ඉදිරිපිටදී පැහැරගැනුණේ සුදු වෑන් රථයකින් පැමිණුනු පුද්ගලයන් සිව් දෙනකු විසිනි.
ඝාතනය කර දමන ලද සිවරාම්ගේ සිරුර පසුදින හමුවූයේ ශ්‍රී ලංකා පාර්ලිමේනතුව ආසන්නයේ කිඹුලා ඇල ඉවූරේ අධි ආරක්ෂක කලාපයේ දී ය. ඔහු වධබන්ධනයට ලක්කර හිසට වෙඩිතබා තිබිණ.
ඝාතනයට ලක්වන විට සුප්‍රකට ටැමිල් නෙට් වෙබ් අඩවියේ ප්‍රධාන සංස්කාරකවරයා වශයෙන් කටයුතු කළ සිවරාම් සිය මාධ්‍ය ජීවිතය ඇරඹූයේ 1990 දී ඝාතනය කෙරුණු සහෝදර මාධ්‍යවේදී රිචඩ් ද සොයිසාගේ මඟ පෙන්වීම යටතේ ය.
1997දි ටැමිල් නෙට් වෙබ් අඩවිය අරඹන තුරු සිවරාම් ‘දි අයිලන්ඩ්’, ‘සන්ඩේ ටයිම්ස්‘, ‘ඩේලි මිරර්‘, ‘වීරකේසරී‘, ‘ටැමිල් ටයිම්ස්‘ යන මාධ්‍ය ආයතනවල නිදහස් මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළේ ය.
තරාකී
1989දී ‘දි අයිලන්ඩ්‘ පුවත්පතේ ප්‍රධාන සංස්කාරක ගාමිණී විරකෝන් විසින් දේශපාලන විශ්ලේශකයෙක් සොයනු ලබමින් සිටියදී රිචඩ් ද සොයිසා විසින් ඔහුට සිවරාම් හඳුන්වා දෙනු ලැබිණ.
ගාමිණී වීරකෝන් විසින් සිවරාම් වෙනුවෙන් නිර්මිත අරූඪ නාමය වූයේ ‘තාරක‘ යන්නයි. නමුත් උප සංස්කරණ දෝෂයක් හේතුවෙන් ඒ නම මුද්‍රණය වී තිබුණේ ‘තරාකී‘ වශයෙනි. දෝෂ සහිතව පළවූ එම නම සිවරාම් විසින් මියෙන තුරාම තම ආරූඪ නාමය ලෙස භාවිතා කෙරුණි.