(A) සෑම දෙයක්ම නිරන්තරයෙන් වෙනස් වේ (අනිත්‍ය).
(B) වෙනස් වෙන බැවින් සෑම දෙයක්ම අසම්පූර්ණ වේ (දුක්).
(C) වෙනස් වෙන බැවින් සහ අසම්පූර්ණ බැවින් කිසිවක එහිම වූ පැවැත්මක් නොවේ (අනාත්ම).
බුදුන් වහන්සේ දේශනා කළ දර්ශනයේ පදනම කුමක්ද කියා යමෙකු ඇසුව හොත් මා කියන්නේ “අනිත්‍ය දුක් අනාත්ම” යන ත්‍රිලක්ෂණය බව ය. ලෝකය පිළිබඳව දිය හැකි සරලතම දර්ශනය මෙය වේ. බුදුන් වහන්සේ මෙම සත්‍යය පහදන්නේ ඕනෑම අයෙකුට කළ හැකි නිරීක්ෂණ සහ තාර්කික නිගමන මත ය.
කෙතරම් සරල වුවත් මෙම සත්‍යය අවබෝධ කර ගැනීම බොහෝ අයට අපහසු ය. එයට හේතුව වන්නේ බොහෝ දෙනා ලෝකය පිළිබඳ පදනම් විරහිත අතාර්කික අවිද්‍යාත්මක විශ්වාස හෙවත් මිත්‍යා දෘෂ්ටි තුළ දැඩිව එල්බ සිටින නිසා ය. පරිපූර්ණ දෙවියෙකු වැඩ හිඳින ස්වර්ග රාජ්‍යයක සදාකාලික ආත්මයක් විශ්වාස කරන අයට මෙම ත්‍රිලක්ෂණය අවබෝධ කර ගැනීම සෑහෙන්න අපහසු ය. නමුත් එම ආත්මවාදී කතෝලික ක්‍රිස්තියානි ඉස්ලාම් ආගමිකයන්ට ත්‍රිලක්ෂණය තේරුම් කර දෙනවාට වඩා වික්ෂිප්ත සිංහල බෞද්ධයාට ත්‍රිලක්ෂණය තේරුම් කර දීම දැන් වඩාත් අපහසු බව පෙනේ.
ඇතැම් බෞද්ධයන් පවා දැන් කියන්නේ “මගේ ලෝකය හදා ගන්නේ මගේ මනසින් නිසා රූපය සත්‍යය වශයෙන්ම අනිත්‍යද කියා දැන ගැනීමට ඔවුන්ට නොහැකි ය” කියා ය. එක්තරා උගත් තරුණ උපාසකයෙකු මට කීවේ “රූපය අනිත්‍ය බව හරියටම අවබෝධ වන්නේ නිවන් ගිය විට” කියා ය… ඔහු එම දෘෂ්ටියේ දැඩිව එල්බ සිටී. වහරක සහ මීවනපලානට පෙර සිටම සියුම් ධර්ම විකෘතියක් සිදුව තිබේ. බුද්ධ ශාසනයේ වත්මන් පරිහානියට එය ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ. මෙය මාගේ නිරන්තර මැසිවිල්ලක් මෙන් ඔබට පෙනෙනු ඇත. ඒ පිළිබඳව මට සිහි කල්පනාව තිබේ. නමුත් මාගේ උත්සාහය මෙම ශාසන පරිහානියෙන් අනාගත බෞද්ධ සිංහලයා ගලවා ගැනීම ය. එබැවින් කවුරු අකමැති වුවත් ධර්ම විකෘතීන් බිඳිය යුතු ය.
ඔබේම රූපය නිරීක්ෂණය කරන්න. නැතිනම් ඔබගේ පවුලේ කෙනෙකුගේ හෝ මිතුරෙකුගේ හෝ රූපය නිරීක්ෂණය කරන්න. මීට වසර දහයකට විස්සකට පෙර තිබූ රූපය අද තිබේද? වයස දහසයක යොවුන් රූපය කල් යත්ම වැහැරේ. එය වෙනස් වුණාද? වෙනස් වුණා. හැමදාම දකින නිසා තමන්ගේ දරුවාගේ රූපය වෙනස් වෙන ආකාරය මව්පියන්ට පෙනෙන්නේ නැත. නමුත් දරුවාගේ කුඩා කල පින්තූරයක් සමග සසඳා බැලූ කල වෙනස් වී ඇති තරම පෙනේ. සෑම මොහොතකම සෑම දෙයක්ම වෙනස් වේ. වසරකට පෙර සිටි ඔබ නොවේ අද මෙය කියවන්නේ. කාලය යනු මෙම වෙනස්වීමම ය. වෙනස් නොවන කිසිවක් ඔබ දැක තිබේද? එසේ නම් රූපය නිත්‍යද, අනිත්‍යද, කියා ඇසුවොත් ඔබගේ පිළිතුර කුමක්ද? රූපය අනිත්‍ය වේ. එය පරම සත්‍යයකි.
ඔබේ රූපය වෙනස් වෙනවා නම් එය අසම්පූර්ණයි නේද? ඒ ගැන සතුටට පත් වෙන්න බැහැ. ඒක අපහසුවක්. ඔබේ රූපය වෙනස් වෙනවා. වැහැරෙනවා. කැඩෙනවා. බිඳෙනවා. මැරෙනවා. පිච්චිලා අළු වෙනවා. පොළොවට දිරාපත් වෙනවා. සර්ව සම්පූර්ණ සදාකාලික දෙවියෙකු පිළිබඳ මිත්‍යා සංකල්පය මිනිසුන් විසින් හදා ගන්නේම ඔවුන්ගේ අසම්පූර්ණ රූපය පිළිබඳ පරම සත්‍යයට මුහුණ දීමට ඔවුන් අකමැති නිසා ය. බුදුන් වහන්සේ දේශනා කරන “දුක්” මෙය වේ. ගතට දැනෙන දුක් සහ සිතට දැනෙන දුක් ආදියත් දුක් තමයි. නමුත් මෙතන දුක් කියන්නේ ඒවාත් ඇතුළුව සියලු දෙයෙහි අසම්පූර්ණ නොසතුටු අපහසු ස්වභාවයට ය. “අසම්පූර්ණත්වය” පරම සත්‍යයකි. හොඳින් කල්පනා කරන විට දුක් යනු අනිත්‍ය ස්වභාවයේම තවත් විදිහකි.
රූපය වෙනස් වෙනවා නම්, වෙනස් වෙන නිසා අසම්පූර්ණත් නම් ඔබේ රූපයට එහිම වූ පැවැත්මක් තිබේද? නැත. එය තාර්කික නිගමනයකි. තවත් විදිහකට කියනවා නම් යමක් නිරන්තරයෙන්ම වෙනස් වෙනවා නම් එය සැබැවින්ම නොපවතී. ඔබේ රූපය යැයි ඔබ කියන දෙය නිකම් වෙනස්වීම් ගොනුවක් නම් ඔබේ රූපය සැබැවින්ම නොපවතී. රූපය නොපවතී නම් එය මෙහෙයවන හෝ පාලනය කරන කිසිවක් තිබිය නොහැකි ය. නැති රූප නිමවන ඇති මනසක් හෝ නැති මනසක් හෝ තිබිය නොහැකි ය. ඔබ කියා කෙනෙකු නැත. බුදුන් වහන්සේ දේශනා කරන “අනාත්ම” මෙය වේ. අනාත්ම යනු පරම සත්‍යයකි.
මේ පිළිබඳව හොඳින් කල්පනා කරන විට අනිත්‍ය දුක් අනාත්ම යනු එකම ස්වභාවයක් බව ඔබට අවබෝධ වෙනු ඇත. ත්‍රි-ලක්ෂණය කියා කීවාට එය එකම ස්වභාවයකි. බුදුන් වහන්සේ ඒ සඳහා භාවිතා කරන්නේ “දුක්ඛ සත්‍යය” යන්නයි. එය ආර්ය සත්‍යයකි. පරම සත්‍යයකි. එයට දිය හැකි ආසන්නතම නූතන තනි වචනය “නොපැවැත්ම” යන්න ය. වෙනස් වෙන යනු නොපවතින බව ය. අසම්පූර්ණ යනු ද නොපවතින බව ය. එහිම වූ පැවැත්මක් නැති යනු ද නොපවතින බව ය. I am not, thus think I not.
රූපය පිළිබඳ මෙම සත්‍යය අවබෝධ කර ගත් විට වේදනා, සංඥා, සංඛාර විඤ්ඤාණ ආදියත් අනිත්‍ය දුක් අනාත්ම බව අවබෝධ කර ගැනීම අපහසු නොවේ. මෙය අවබෝධ කර ගැනීමට නිවන් දැකිය යුතු නැත. නමුත් නිවන් දැකීමට නම් පළමුව ඔබ මෙම සත්‍යය අවබෝධ කර ගත යුතු ය. බුද්ධ ධර්මය අනවශ්‍ය ලෙස සංකීර්ණ කර අනවශ්‍ය ලෙස තාක්ෂණික කර තමන්ගේ පණ්ඩිතකම පෙන්වීමට අවශ්‍ය නැත. ධර්මය යනු සත්‍යය ය. සත්‍යය යනු ධර්මය ය.
ධර්මය ඔබට මග වේවා!(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
2024 මැයි 16






