අපේ මේ කතා පුවත දිගහැරෙන්නේ නාගදීපයේ සිට කැලණි ගංමෝය දක්වා වන බටහිර වෙරළ තීරය ප්‍රදේශයට සම්බන්ධව ය. දුර ඈත අතීතයේ තම්බපණ්ණි දේශය නමින් හැඳින්වූ වර්තමාන ශ්‍රී ලංකාවේ මිනී මස් අනුභව කරන කාමුක යකින්නන් සිටි බවට ප්‍රසිද්ධියට පත්ව තිබිණි. කුරුණෑගල යුගයේදී ලියැවුණු පන්සිය පනස් ජාතක පොතෙහි ශ්‍රී ලංකාව පිළිබඳව කියවෙන එකම ජාතක කතා පුවත වන වලාහක හෙවත් වලාහස්ස ජාතකය මීට නිදසුනක් සපයයි.
" අතීතයේ තාම්‍රපර්ණි ද්වීපයෙහි තම්මැන්නා නුවර යක්ෂපුරයක් මවාගෙන බොහෝ යකින්නියෝ වාසය කරන්නාහ. නැව් නැගී තම්මැන්නාවට මිනිසුන් පැමිණි කල යකින්නියෝ ඔවුන් සමග සිට ඉන්පසු වෙනත් මිනිසුන් පැමිණි කල පළමු සිටියවුන් සිරකොට නසා කන්නාහ."
ප්‍රසන්න වීරක්කොඩි සිතුවමකිඒ ජාතක කතාකරුවා ඔවුන් පිළිබඳ විස්තර කළ ආකාරයයි.
මෙම යකින්නන් ඉතා රූමත් ය. ඔවුන් යකින්නන් යැයි පැවසෙන මුත් අතිශය රූමත් මිනිස් කාන්තාවන් මිස යකින්නන් බවට සිතිය හැකි කිසිදු බාහිර ලක්ෂණයක් ඔවුන් තුළින් ප්‍රකට වූයේ නැත. මුහුදු මාර්ගයේ අපේ රටට නැව්වලින් පැමිණෙන වෙළඳ කණ්ඩායම් උපක්‍රමශීලී ලෙස රවටා ඔවුන් හා ලිංගික සංවාසයට යොමුවන මෙම යකින්නන් ඔවුන් මරා කන බව කියැවේ. මේ ආකාරයට මෙම දේශයට පැමිණෙන වෙළෙඳුන් අතරින් මෙම යකින්නන් හා දැපනේ වැටුණු කිසිදු වෙළෙන්දකු ආපසු යහතින් සිය රටට නොගිය බව ජාතක කතාකරුවා දක්වයි.

හත්වෙනි සියවසේ ඉන්දියාවට පැමිණි චීන ජාතික හියුං සියැං භික්ෂුවගේ චාරිකා විස්තරයෙහි එකොළොස් වැනි පරිච්ඡේදයේද යම් යම් වෙනස්කම් සහිතව මෙම විස්තරය දක්නට ලැබෙයි.
එහි දැක්වෙන අන්දමට නම් එකල දඹදිව සිංහ නම් වෙළෙන්දකු සිටි අතර ඔහුගේ පුතා සිංහල නම් විය. සිංහ මහලු වූ පසු තම වෙළඳාම් කටයුතු සිය පුතු සිංහලට භාර කළේය. පන්සියයක් වෙළඳුන් පිරිවරාගෙන නැව් නැග මැණික් ගැනීම පිණිස යන සිංහල ඇතුළු පිරිස තම්බපණ්ණි දේශයට ගොඩවදින්නේ අහම්බෙනි.

වලාහස්ස ජාතකයෙහි දැක්වෙන අන්දමට තම දේශයට ගොඩවදින වෙළඳුන් හට කොඩිවලින් යහපත් සංඥා දී තූර්ය වාදනය කරමින් ගොස් මල් මාලා ආදිය දමා වෙළඳුන් ව පිළි ගැනීම යකින්නන්ගේ සිරිත ය. නැව්වලින් ගොඩ බසින අයට කොඩිවලින් සංඥා දීම යනු යහපත් පිළිගැනීමකි. එය එසේ නම් ඒ කාලයේත් යහපත් ශිෂ්ඨාචාරයක් මෙහි පැවති බව පිළිගත යුතුවෙයි.
ඉන්පසු යකින්නන්ගෙන් ප්‍රධාන යකින්නිය කරන්නේ වෙළඳ කණ්ඩායමේ නායකයා සිය ස්වාමි තනතුරේ තබා ගැනීමයි. ඒ අනුව සිංහල වෙළෙන්දා මෙම රූමත් ප්‍රධාන යකින්නගේ ස්වාමි පුරුෂයා බවට පත් වූ අතර සෙසු යකින්නියෝ අනෙකුත් වෙළෙඳුන් ස්වාමි තනතුරේ තබා ගත්හ. ඉන්පසු එම වෙළෙඳුන්ට දාව මෙම යකින්නියෝ දරුවකු බැගින් ලැබූහ. සිංහල ඇතුළු වෙළඳ කණ්ඩායමට පෙර මෙහි පැමිණි වෙළෙඳුන් ද මේ අයුරින්ම ස්වාමි තනතුරේ තබාගෙන සිටි මේ යකින්නියන් අලුත් ස්වාමිපුරුෂයන් හමු වූ පසු කලින් ස්වාමිපුරුෂයන් සිරගෙයකට දමා රහසේම මොවුන් එක්කෙනා දෙන්නා බැගින් මරා කා දමන්නට පටන් ගත්හ. නමුත් සිංහල සහ ඔහුගේ කණ්ඩායම මේ කිසිවක් දැන සිටියේ නැත. ඔවුහු මෙම යකින්නන් හා රිසි සේ කම් සැපෙහි යෙදෙමින් මෙහි වෙළඳාම් කටයුතුවල නිරත වූහ.

දිනක් මෙම සිංහල වෙළෙන්දා නපුරු සිහිනයක් දැක රාත්‍රියේ හදිසියේම අවදි විය. ඉන්පසු ඔහු සිය වාසස්ථානයෙන් පිටවී රාත්‍රියේ ඇවිදින්නට වූ අතර යකඩ සිරගෙයක් දැක ඒ අසලට ආවේ එතුළින් කිසියම් බැගෑපත් හඬක් ඇසුණු හෙයිනි. ඒ අසල තිබූ ගසකට නැග ගත් සිංහල වෙළෙන්දා " තෙපි කවරහුද? කුමක් හෙයින් මෙහි දුක් විඳින්නේ දැ" යි විමසීය.
"මෙහි වසන්නේ රකුසියෝ යැයි නුඹ නොදන්නෙහිද? අප මෙහි පැමිණි වෙළෙන්දෝය. පළමු කොට අප පිළිගෙන පස්කම් සැපයෙන් මොවුහු අප පොළඹවා මෙම නුවරට කැඳවාගෙන වුත් අප හා වාසය කළහ. තොප මෙම නුවරට පැමිණි පසු අප මෙම සිරගෙයි දමා එකිනෙකා මරා අනුභව කිරීමට පටන් ගත්හ. අපෙන් කොටසක් දැන් මරා අවසාන ය. දැන් තොප සහවාසයට ගන්නා මොවුන් යළි තවත් වෙළඳුන් සමූහයක් පැමිණි කල්හි තොපවද මෙම ඉරණමට පත් කරන්නාහ".
"මෙතනින් මිදී යන්නේ කෙසේද?" සිංහල වෙළෙන්දා වහා ඇසීය.
"සමුද්‍ර තීරයෙහි එක්තරා දිව්‍ය අශ්වයෙක් වාසය කරයි. යමෙක් අවංක භක්තියෙන් යාඥා කරන කල්හි (මෙය හියුං සියැං භික්ෂුවගේ මහායාන මතයකි.) එම අශ්වයා ඔහු මුහුදෙන් එතෙරට පමුණු වන බව අපි අසා ඇත්තෙමු" සිරකරුවෝ කීහ.

සිංහල වෙළෙන්දා වහාම ගොස් තම පිරිස අවදි කර ගත්තේය. ඉන්පසු පිරිසට මේ පුවත අඟවා සියලු දෙනාම ගියේ මුහුදු තීරයෙහි දිව්‍ය අශ්වයා වෙත ය. අවසානයේ දිව්‍ය අශ්වයාගේ පිහිටෙන් තම පිරිසද කැටුව ඉන්දියාව බලා යාමට සිංහල සමත් විය.
උදයේ පිබිදුණු යකින්නියෝ තම ස්වාමිපුරුෂයන් නැති බව දුටුවහ. ඔවුන් තමන් හැරදා යළි මව් රටට ගොස් ඇති බව දැන යකින්නියෝ ද ඔවුනට දාව වැදූ තම දරුවන් ද රැගෙන ඔවුන් සොයා භාරත දේශය බලා ගියහ. එසේ ගොස් නොයෙකුත් දුක් ගැනවිලි කියමින් යළි ආපසු එන ලෙස පවසා ඔවුනට බැගෑපත් වන්නට පටන් ගත්හ. මේ අසා වෙළෙන්දන් යකින්නන්ගේ බහට රැවටී ඔවුන් හා යළි ආපසු පැමිණෙන්නට කැමති වූ මුත් ගැඹුරු නුවණක් හා ස්ථිර අධිෂ්ඨානයකින් යුතු සිංහල වෙළෙන්දා කෙසේවත් ඔවුන්ව විශ්වාස කළේ නැත. මේ නිසා අනෙකුත් යකින්නන් සිය ස්වාමිපුරුෂයන් ආපසු කැටුව එද්දී යක් රැජිනට සිදුවූයේ හිස් අතින් ආපසු හැරෙන්නට ය. තමන්ගේ ස්වාමිපුරුෂයා ආපසු කැටුව එන්නටවත් දක්ෂතාවයක් නැති මැය රැජිනකට සුදුසු නැතැයි කල්පනා කළ අනෙක් යකින්නියෝ ඇය එලවා දැමූහ.
ප්‍රසන්න වීරක්කොඩි සිතුවමකිඅසරණ වූ ඇය කළේ නැවතත් දරුවා ද සමඟ සිංහල වෙළෙන්දා සොයා භාරත දේශයට යාම ය. එහි ගොස් නොයෙකුත් ආකාරයෙන් ඇවිටිලි කළත් සිංහල ඇයට අවනත වූයේම නැත. ඇගෙන් ගැලවීමක් නොමැතිම වූ තැන සිංහල කළේ මන්ත්‍රයක් මතුරා ජප කොට කඩුව අමෝරාගෙන "තී යක්ෂණියකි. යක්ෂයන් හා මනුෂ්‍යයන්ගේ සමගි වාසයක් නොමැත. මට කරදර කරන්නට පැමිණියහොත් මම තී මරා දමන්නෙමි" යනුවෙන් තර්ජනය කිරීම ය.
එලෙසින් යක්ෂණිය එළවා දැමීමට සිංහල සමත් විය. කෙසේ වුවද හියුං සියැං වාර්තාව තව ඉතා දීර්ඝ ලෙසින් ඇදී යයි. එතරම් දීර්ඝ තොරතුරු මෙම කතා පුවතට අවශ්‍ය නොවන බැවින් තම්බපණ්ණි දේශයේ යක්ෂණියන්ගේ කතාවට අපි නැවත යොමු වෙමු.
මෙම තොරතුරුවලින් පැහැදිලි වන අනුමානයක් වෙයි. එනම් අපේ රටට ආර්යයන් පැමිණෙන්නට පෙර මාතෘ මූලික සමාජයක් පවතින්නට ඇතැයි යන්න ය. දැඩි පුරුෂෝත්තම ආකල්පවලින් යුතු සහ පීතෘ මූලික සමාජයක් පැවති භාරතය මාතෘ මූලික සමාජයක් අනුමත කරන්නේ නැත. ඒ අනුව තම්බපණ්ණි දේශයෙහි තම ස්වාමිපුරුෂයන් ව මරා කන යකින්නන් සිටීම යනුවෙන් අදහස් කරන්නේ පිරිමින් අභිබවා ගිය මෙම මාතෘ මූලික සමාජය බවට සැකයක් නොමැත. තම රටට නැව්වලින් පැමිණෙන පිරිසට කොඩි ඔසවා සංඥා දීම, මල්මාලා දමා පිළිගැනීම වැනි සිරිත් මෙහි පැවතියේ නම් නිසැක ලෙසම මෙහි යහපත් සංස්කෘතියක් පැවති බව පිළිගන්නට සිදුවේ. අනෙක් අතට මෙම දේශයේ ගැහැනු, පිරිමින් ව අභිබවා යන දැඩි මානසික ශක්තියකින් යුතු අය වූහ.

මීගමුව ප්‍රදේශයේ මාතෘ මූලික සමාජයක් තිබුණත් නැතත්, සැමියා විසින් මුහුදු ගොස් රැගෙන එන ධීවර අස්වැන්න ගොඩට ගෙන ආ මොහොතේ පටන් එය මුදල් කිරීමේ කාර්යය තුළ දැඩි වෙහෙසක් ගෙන ක්‍රියාකරන්නේ එම පිරිමින්ගේ අඹුවන් ය. එසේ නොවන්නට ධීවර කර්මාන්තයද අඩාල වන්නට බැරි කමක් නැත. ඔවුන්ට අනුව කටයුතු කරන්නට එම පිරිමින්ට සිදුවිය. ඒ ගැහැනියගේ ශක්තියයි. තම්බපණ්ණි දේශයේ ඔය කියන ආකාරයේ යකින්නන් සිටියේ නම් සියල්ලට කලින් කුවේණිය කරන්නේ, තමාව රවටා තම උපකාරයෙන් ලංකා රාජ්‍යයෙහි රජකම ලබාගෙන, දරුවන් දෙදෙනෙක්ම ලැබෙන තුරු තමා සමග ජීවත් වී ඉන්පසු ඒ දරු දෙදෙනා ද සමග තමා අතරමං කර දමා භාරතයෙන් බිසවක් ගෙන ආ විජය කුමරුන්ව කා දැමීම නොවේද? කුවේණිය විජය කුමරුන්ට ආදරය නොකළා යැයි කාට කිව හැකිද? නමුත් විජය කුමරුන්ට එරෙහි නොවී දරු දෙදෙනාද සමඟ ඔහුගෙන් ඈත්ව යන්නට තරම් කුවේණිය ප්‍රබල මානසික ශක්තියකින් යුතු වූවා ය. තමා හැර යන ඔහුට දැක්වූ ආදරය වෙනුවෙන්වත් ඒ ශක්තිය දියාරු වන්නට ඇය ඉඩ හැරියේ නැත. මේ කතා කරන්නේ ඒ කුවේණිගේ සනුහරේ ගැහැනුන් ගැන ය.
තවත් කොටසකින් යළි හමුවෙමු.
ඡායාරූප අන්තර්ජාලයෙනි. මුල් හිමිකරුවන්ට ස්තුතියි.





