1200 x 80 DMirror

 
 

පසුගිය සතියේ අපි කතා කලා පදනමක් රහිතව සිදුකරපු බදු අඩුකිරීම ආර්ථික අවපාතයට බලපෑවේ කෙසේද කියන එක.


ඒ වගේම බැංකු පොලිය අඩු කෙරුවම ජපානය වැනි ආයෝජන හිතකර ආර්ථිකයන්හි සිදුවෙනවා වගේ ලංකාවේ ආයෝජන වැඩි වෙන්නේ නැහැ. පුද්ගලයින් බැංකුවේ මුදල් තියන්නේ නැහැ ඉතා අඩු පොළියක් ලැබෙන නිසා. ඒවා වෙනත් වත්කම් වල ආයෝජනය කරනවා.

අපේ රටේ පුද්ගලයින් අත තිබෙන අතිරික්ත මුදල් බැංකුවේ තැන්පත් කරනවා වෙනුවට වෙනත් වත්කම් මිලදී ගැනීමට පෙළඹෙනවා. පුද්ගලයින් බැංකුවේ මුදල් නොතබා වත්කම්වල ආයෝජනය කිරිමට උත්සාහ කිරීම නිසා ඉඩ කඩම් ගේදොර යාන වාහන අධික මිල ගණන්  වලට විකිණෙනවා.

එහෙමත් නොමැති නම් ගෙයක් හදනවා වැනි දේ සිදු කරනවා. දැන් පවතින උද්ධමනයේ ආරම්භක පියවර තමයි එදා පවතින රජයෙන් බැංකු පොලිය අඩු කිරිමෙන් සිදුවුනේ.


මුදල් අතිරික්තයක් තිබෙන පුද්ගලයින් ව්‍යාපාර නොවන ආයෝජනවලට යොමුවෙන නිසා එමගින් භාණ්ඩ හා සේවා මිල ඉහල යනවා. මේක විද්‍යාත්මකව ගත්ත තීරණයක් නොවන නිසා බැංකුවලට ලැබෙන මුදල් අඩුවෙනවා. බැංකුවල ද්‍රවශීලතාවය අඩුවෙනවා. ආර්ථිකයේ අනපේක්ෂිත සංකුලතා ඇතිවෙනවා.  



මේක කොහොමද බලපාන්නේ සමස්ථ ආර්ථිකයට?



රජයේ වියදම්  සදහා මහ බැංකුවට මුදල් ලැබෙන ලැබෙන එක ක්‍රමයක් තමයි භාණ්ඩාගාර බිල්පත් මගින් බැංකුවලින් මුදල් ලබාගැනීම.

බැංකුවලින් මුදල් ලබා ගන්න බැරි නම් මහ බැංකුවට තිබෙන එකම විසදුම තමයි රජයේ වියදම් සදහා මුදල් මුද්‍රණය කිරීම. ඒක තමයි අපේ මහ බැංකුව පසුගිය කාලේ දිගින් දිගටම සිදු කලේ.



බැංකුවල මුදල් නැහැ. පුද්ගලයින් මුදල් බැංකුවේ තැන්පත් කරන්නේ නැහැ පොලිය අඩු නිසා. රජයේ වියදම් පියවගන්න බැංකුවලින් මුදල් ලබා ගන්න නොහැකි නිසා මහ බැංකුව මුදල් මුද්‍රණය කරනවා. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය අඩු වෙන හෝ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වැඩි නොවන අවස්ථාවක තමයි මහ බැංකුව දිගින් දිගටම මෙම මුද්‍රණය කරන්නේ. එවිට සිදුවන දේ තමයි මෙම මුදල් රජයේ වියදම් හරහා ආර්ථිකයට මුදා හැරියම විශාල මුදල් ප්‍රමාණයක් කුඩා භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් පසුපස හඹා යනවා.



ආර්ථික විද්‍යාවේ ඒකට ඉංග්‍රීසි භාෂවෙන් කියනවා Too much money chasing few goods කියලා. මෙහිදි අනිවාර්යයෙන්ම භාණ්ඩ මිල අධික ලෙස ඉහල යනවා. ඒක කෙසේවත් නවත්වන්න බැහැ. ඒක තමයි අද මේ අපි දකින උද්ධමනය. ජාත්‍යන්තර පර්යේෂණ ආයතන කියනවා ලංකාවේ උද්දමනය 119% කියලා.



මෙම උද්දමනය ඇති වෙන්න මූලික පදනම වුනේ එදා රජය ගත්ත පදනම් විරහිත පොළිය අඩු කිරීමේ ක්‍රියා මාර්ග. ඒකට වක්‍ර ආකාරයෙන් දායක වෙලා තිබෙනවා බදු ප්‍රතිපත්තිය. මෙම බදු ප්‍රතිපත්තිය නිසා රජයට ලැබුනු මුදල් ප්‍රමාණය අඩු වුනා. බැංකුවල මුදල් නැති වුනා.ඒක පියව ගන්න මහ බැංකුව රජයට මුදල් ලබා දීම සදහා මුදල් මුද්‍රණය කලා.



"Modern monitory  theory "



මේ සියල්ල සිදුවෙද්දි  ආර්ථික විද්‍යාඥයින් වශයෙන් විටින් විට මාධ්‍ය හරහා, රූපවාහිනී මාධ්‍ය හරහා පුවත් මාධ්‍ය හරහා රජයට පෙන්නුම් කරල දුන්නා මුදල් මුද්‍රණය කලොත් සිදු වෙන දේ පිළිබදව.

දිගින් දිගටම මුදල් මුද්‍රණය කරද්දි රජය මේක සාධාරණිකරණය කලා. සමහරු කියනවා මුදල් මුද්‍රණයත් උද්ධමනයත් අතර කිසිම සම්බන්ධයක් නැහැ කියලා. ඒ සමගම ඔවුන් න්‍යායක් ගෙන එනවා මේ සදහා, මොකක්ද මේ න්‍යාය "Modern monitory  theory.

මේවා ආර්ථික විද්‍යාවෙන්වත් වෙනත් මොනයම් විද්‍යාවකින්වත් පර්යේෂණ කරලා පිළිගත්ත න්‍යායන් නෙමෙයි. මේවා සංකල්පයන්, තවම මේවා මතවාදයන්.  




මේ "Modern monitory  theory " එකෙන් කියන්නේ, ජාත්‍යන්තර වශයෙන් සක්‍රීය වු මුදල් ඒකකයන් සදහා තාවකාලිකව උද්ධමනය ඇති නොවී මුදල් මුද්‍රණයක් ඇති කරන්න පුලුවන් කියන එකයි. මේ ජාත්‍යන්තරව සක්‍රීය මුදල් වර්ග තමයි  ඇමරිකානු ඩොලරය, ජපාන යෙන් එක, ඕස්ට්‍රේලියානු ඩොලරය, බ්‍රිතාන්‍ය පවුම, යුරෝපයේ යුරෝ එක.




මේවා ජාත්‍යන්තරව පිළිගත් ජාත්‍යන්තරව සංසරණය වන මුදල් ඒකකයන්. ඔබට පුළුවන් ලෝකයේ ඕනෑම තැනකට ගිහිල්ලා මෙම මුදල් ඒකකයන් භාවිතා කරල භාණ්ඩ හා සේවාවන් මිලදි ගන්න. ඒ රටවල් වලට ගිහිල්ලා එම රටවල මුදල් සදහා පරිවර්තනය  කරගන්න පුලුවන්. මෙබදු මුදල් ඒකකයන් මුද්‍රණය කරහම උද්දමනය එකවර සිදුවන්නේ නැහැ. එය සිදුවන්නෙ කාලයක් ගිහිල්ලා කියන එක තමයි මේ "Modern monitory  theory " එකෙන් කියන්නේ.

 රුපියල කියන්නේ කිසිසේත්ම ජාත්‍යන්තර සක්‍රීය මුදල් ඒකකයක් නොවේ. අපේ රුපියල අරගෙන ඉන්දියාවේ රාමේෂ්වරන් වරායට හරි, ඉන්දියාවේ තූත්තිකුඩියේ වරායට හරි ගිහිල්ලා කරවල කිලෝ එකක්වත් මිලදී ගන්න බැහැ. මොකද ලංකාවෙන් පිටත මෙම රුපියල වලංගු නැහැ.

එතකොට කිසිසේත් ශ්‍රී ලංකා රුපියලටවත්, ඇෆ්ගනිස්ථානේ මුදල් ඒකකයටවත් ඉන්දුනිසියාවේ  මුදල් ඒකකයන් වැනි දුර්වල මුදල් ඒකකයන්වලට මේ "Modern monitory  theory " කියන එක කිසිසේත් අදාල නැහැ. ඒ න්‍යාය සත්‍ය වුවත්, කිසිසේත් එය ලංකාවට අදාල වෙන්නේ නැහැ.


A businessman places his hind on top of his head as he looks up at a chart with the letters "MMT", which stands for Modern Monetary Theory on it.  Modern Monetary Theory is a contemporary monetary theory that suggests governments are not bound by traditional assumptions of government spending and debt.
"Modern monitory  theory " කියන්නේ ආර්ථික විද්‍යාවේ තිබෙන තවමත් සනාථ කරපු න්‍යායක් නෙමෙයි.

 ආතර් සී ක්ලාක්ගේ 2001 අභ්‍යාවකාශ වීර චාරිකා විද්‍යා ප්‍රබන්ධයේ "සිසිර තාරක නින්ද"  කියල සංකල්පයක් ගැන කථා කරනවා.  “සිසිර තාරක නින්ද“ කියන දෙය න්‍යායාත්මකව වෛද්‍ය විද්‍යාවේ ඔප්පු කරපු දෙයක් නොවෙයි. එක මතයක් විතරයි. ඒ කියන්නේ පුද්ගලයෙකුගේ ශරීරයේ ක්‍රියාකාරීත්වය නවත්වලා ඔහු වයසට යන එක නවත්වන්න පුලුවන් කියල. නමුත් මේවා තවමත් න්‍යායාත්මක මත පමණයි. ප්‍රායෝගිකව සිදු කරපු දේ නෙමෙයි.

අන්න ඒ වගේ දෙයක් තමයි  "Modern monitory theory" කියන්නේ. දිගින් දිගටම අපේ ප්‍රතිපත්ති සම්පාදකයින්, ඉහළම නිලධාරින් කියනවා මෙම තියරි එක අනුව මුදල් මුද්‍රණය කරාට කිසිම ගැටළුවක් වෙන්නේ නැහැ, ආර්ථිකයේ උද්ධමනකාරි තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ කියලා.



ඇත්තටම ලැජ්ජයි මුල්‍ය ආයතනවල ප්‍රධානින් මේ වගේ කරුනු දැක්වීම පිළිබදව. අපේ රටේ වගකිවයුතු නිලධාරින් මේ ආකාරයට හේතු දක්වමින් දිගින් දිගටම ලංකාවේ රුපියල් මුද්‍රණය කිරීම. මෙමගින් දිගින් දිගටම ලංකාවේ උද්දමනය ඇති වුනා, එම උද්දමනය හේතු කොටගෙනම රටේ අද මේ තියෙන 119% වුන අධි උද්දමන තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා.




 උද්ධමනය නරක දෙයක් ද ? 1% - 3 % විතර උද්ධමනයක් නම් ආර්ථිකයට නරක නැ, හිතකරයි. එත් 119% උද්ධමනයක් එහෙම නැ. අතිශය හානිකරයි.

විනිමය අනුපාතය කඩාවැටීම අධික උද්ධමනයේ වක්‍ර ප්‍රතිපල. නමුත් අපි කවුරුත් නොදන්නා දෙයක් උද්ධමනය අපිට කරනවා. උද්ධමනය අපිව දුප්පත් කරනවා. උද්ධමනය නිසා ඔබේ මිලදී ගැනීමේ හැකියාව, එනම් ක්‍රය ශක්තිය හීනකරනවා.

මේක හරියට භාන්ඩ හා සේවා මිලගණන් නොවෙනස්ව පවතින අවස්ථාවක ඔබේ වැටුප අඩුකලා වගේ වැඩක්.

ඉතින් මේ උද්ධමනය සිදුවෙන්න මුලික අඩිතාලම වැටිලා තියෙන වෙලාවේ රජය ගේනවා 2022 වර්ෂය සදහා වන අයවැය. හුගක් අය හිතුවා ඇතිවෙමින් පවතින තත්ත්වය සමනය කරන්න, රට ආර්ථික අගාදයෙන් ගොඩගන්න මේ විද්‍යාත්මක අයවැය හේතුවෙයි කියල.

ඊලග සතියේ අපි බලමු 2022 අයවැය කොතරම් අවිද්‍යාත්මක අයවැයක්ද කියන කාරණය.

dr shanuka Senrath

ආචාර්ය (නීතිඥ) ශානුක සෙනරත්
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 



සබැඳි ලිපිය :
පරිහානියේ මාර්ග සිතියම : ගජමිතුරු බදු ප්‍රතිපත්ති -(ආචාර්ය ශානුක සෙනරත්)

Leader Whats app

  

 

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58