1200 x 80 DMirror

 
 

පරිහානියේ මාර්ග සිතියම : අමනෝඥ බදු ප්‍රතිපත්ති (1 කොටස)



ලංකාවේ ආර්ථිකය අපි දන්නා ඉතිහාසයේ මුහුණ දුන්න දරුණුම ඛේදවාචකයට මේ වෙද්දි මුහුණ දීලා තිබෙනවා. නිදහසට පෙර හෝ නිදහසට පසු අපි අසා නොතිබුණු මට්ටමේ ආර්ථික පරිහානියක්, ආර්ථික අසමත්වීමක් මෙන්ම රාජ්‍ය අසමත්වීමක් ලංකාවේ මේ වෙද්දි දකින්නට ලැබෙනවා.

 මෙම කථිකාවතේ පළමු දිග හැරුම විදිහට අපි කථා කරන්නේ මෙම ආර්ථික පරිහානියට හේතු වුනු මූලික පදනම් කාරණා කිහිපයක් පිළිබදවයි.

මේ පිළිබදව සමාජයේ විවිධ කථිකාවන් පවතිනව. පුද්ගලයින් නොයෙක් ආකාරයෙන් දෝෂා රෝපනය කරනවා. පසුගිය අවුරුදු හැත්තෑවක අතීතයට දෝෂාරෝපණය කරනවා වගේම අවුරුදු දෙකක අතීතයට දෝෂාරෝපණය කරනව දකින්න තිබෙනවා.


අර්බුදයේ ගමන් මඟ:


ආර්ථික විද්‍යාවේදී,  මේ අර්බුදයට පදනම හැදුනේ කොහොමද කියන එක සරලව අද සාකච්ඡා කරනවා. මෙහිදි අපි දකිනවා 2019 වර්ෂය පමණ වන විට කොවිඩ් වසංගතයට කලින් වර්තමාන ජනාධිපතිතුමා අතිමහත් බහුතර ජනවරමකින් බලයට පත්වෙනවා. ඉන්පසුව මහ මැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක් සහිතව වර්තමාන පොදුජන පෙරමුණේ ආණ්ඩුව බලයට පත්වෙනවා.

එතකොට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකුත් ජනාධිපතිවරයාත්, ඉන් පසු අපි මෙතෙක් දුටු ශක්තිමත්ම ආණ්ඩුවක් ඇති වෙන්නේ මෙම 2019 වර්ෂයෙන් පස්සේ.

එයට හේතුව තමයි ගොඩාක් වෙලාවට අපි දකිනවා පාර්ලිමේන්තුවේ එක පැත්තක තුනෙන් දෙකක බහුතරයක්, අනික් පැත්තේ ජනාධිපතිවරයා ඔහුගේ සහෝදරයා අගමැතිවරයා, වගේම තවත් සොහොයුරන් සහ ඥාතීන් විශාල ගණනක් පාර්ලිමේන්තුවේ ප්‍රධාන තැන් හොබවන තත්ත්වයක් යටතේ ශක්තිමත් විධායකයක් ලංකාවේ ඇති වෙනවා.

Budget 2022 : A whopping 28% for 'The Family & Co.'! 

නමුත් අපි දකිනවා අති මහත් ශක්තිමත් විධායකයත් සමගම රටේ ආර්ථිකය කළමනාකරණය එක්තරා විදිහකට අමනෝන්‍ය ආකාරයකට ක්‍රියාත්මක වෙනවා. මුලින්ම මෙම රජය බලයට පත්වුනහම කරපු ප්‍රධානතම වැරදි ආර්ථික තීරණය නම් බදු කපා හැරීමයි.

 

අපි දකිනවා මෙම රජය බලයට පත් වු විගස සෘජු බදු එහෙම නැත්නම් අපේ පිරිවැටුම හෝ ආදායම මත අපි ගෙවපු බද්ධ, ආදායම් ප්‍රමාණයන් වෙනස් කරනවා. මෙහිදි විශාල පිරිසක් තමන් ගෙවපු බදු ප්‍රමාණයන් අඩු කරනවා, තවත් සමහර ඇය බදු ගෙවන එක නවත්වනවා වගේම බදු ගෙවීමේ ප්‍රතිපත්තිය වෙනස් කරනවා. 


මොකක්ද මෙහි ආර්ථිකය අතින් මොකක්ද මෙහි තිබෙන වැරැද්ද ?.


වැරදි බදු ප්‍රතිපත්ති


ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය, නේපාලය, බංග්ලාදේශය වැනි රටවල්වල පුද්ගලයන්ගේ ආදායම් සහ විශේෂයෙන්ම රාජ්‍ය නොවන ආයතනවල සහ ව්‍යාපාරවල ආදායම් ගණනය කිරීම සහ සෘජු බදු පැනවීම අසීරු කටයුත්තක්. එනිසාම අපි දකිනවා සෘජු බදු පැනවීම අසීරුයි අනික් අතට සෘජු බද්දෙන් රජයට ලැබෙන ආදායම අඩුයි. එවිට රජය කරන්නේ වක්‍ර බදු පැනවීමයි.

 වක්‍ර බදු සහ සෘජු බදු අතර පැහැදිලි වෙනසක් තිබෙනවා. වක්‍ර බදු පනවන්නේ බොහෝවිට පරිභෝජනය මත. උදාහරණයක් ලෙස පෙට්ට්‍රල් මත පනවා තිබෙන බද්ද හදුන්වන්න පුළුවන්. ඔබ පෙට්ට්‍රල් පරිභෝජනය කරද්දි මසකට රුපියල් 50,000 ක් වගේ වැටුපක් ලබන කෙනත් පෙට්ට්‍රල් ලීටරයට රුපියල් 12 ක 15 ක වගේ බද්දක් ගෙවනවා. ඒ වගේම මසකට ලක්ෂ 10 ක වගේ ආදායම ලබන පුද්ගලයත් පෙට්ට්‍රල් ලීටරයට ගෙවන්නේ එම ප්‍රමාණයේ බද්දම තමයි.
 
 
 
එතකොට සිදු වෙන්නේ අඩු ආදායම් ලබන අය තමන්ගේ ආදායමට සාපේක්ෂව විශාල ප්‍රතිශතයක් බදුලෙස ගෙවනවා. වැඩි ආදායම් ලබන අය තමන්ගේ ආදායමට සාපේක්ෂව සුළු ප්‍රමානයක බද්දක් ගෙවනවා. මේක තමයි වක්‍ර බද්දේ තිබෙන ගැටළුව. මෙය හේතු කොට ගෙන පොහොසත් අය සාපේක්ෂව තවත් පොහොසත් වෙනවා. දුප්පත් අය සාපේක්ෂව වඩා දුප්පත් වෙනවා. සමාජයේ යම් යම් සංකූලතා ඇති කරනවා.
 
 
 
ආර්ථික විද්‍යාවේ අපි කථා කරන්නේ පුළුවන් තරම් වක්‍ර බදු අඩු කල යුතු ආකාරය පිළිබදවයි. විශේෂයෙන්ම අපේ වගේ ආර්ථික විෂමතා පවතින ආර්ථිකයන්හි වක්‍ර බදු පැනවීමෙන් සිදු වන්නේ දුප්පත් මනුෂ්‍යා තව තවත් දුප්පත් විම හා පොහොසත් මනුෂයා තව තවත් පොහොසත් වීමයි.

මේ රජය බලයට පත් වීමත් සමග රජය සෘජු බදු ගෙවීම ඉවත් කලා. සෘජු බද්ද මගින් මෙවැනි ගැටළුවක් මතු වන්නේ නැහැ. සෘජු බදු පනවන්නේ ම හදුනා ගත් පුද්ගලයන් මත. සෘජු බද්ද ගෙවන්නේ ව්‍යාපාරික පිරිවැටුම, ලාභය වැඩි වෙද්දි තමයි බදු ප්‍රමාණය වැඩි වෙන්නේ. ඒක සාධාරණයි. විශාල ආදායමක් ලබන කෙනෙක් තම ආදායම වැඩි වෙන්න වැඩි වෙන්න ගෙවන බදු වැඩිවීම සාදාරණයි.

නමුත් සෘජු බදු නිසා ආර්ථිකයේ සංකූලතා අවමයි. ඇත්තටම බදු අයකරන්නේ බදු ගෙවන්න පුලුවන් අයගෙන්. මෙම රජය බලයට පත් වු විට පළමුවෙන්ම කරපු දේ තමයි මෙම සෘජු බදු ඉවත් කරල පසුව රජයට ආදායම් නැති වෙනවිට වක්‍ර බදු වැඩි කිරීම.  

මෙම හේතුව මත එක් පැත්තකින් රජයට ආදායම අහිමි වෙනවා. අනික් පැත්තෙන් රටේ ආදායම් විෂමතාවය තීව්ර වුනා. දුප්පත් පොහොසත් බේදය වැඩි වුනා.

2022 04 20T061346Z 1 LYNXNPEI3J05C RTROPTP 3 SRI LANKA CRISIS
ලෝක බැංකු වාර්තා අනුව ලංකාවේ ලක්ෂ පහක පමණ ජනතාවක් මේ වන විට දරිද්‍රතා මායිමට යටින් ජීවත් වෙනවා. එය සමස්ථ ජනගහනයෙන් 5% පමණ. ලෝක බැංකුව අපේක්ෂා කරනවා මෙම ප්‍රමාණය මේ වසර අවසන් වනවිට 7% -  8% ක් දක්වා ඉහල යාවි කියලා. මෙම රජය බලයට පත්වීමත් සමගම ඇති කරපු මෙම බදු ප්‍රතිශෝධනය මෙම දුප්පත් කම වැඩි කිරිම කෙරෙහිත් බලපා තිබෙනවා. ඒක මෙම රජය කරපු මූලික වැරැද්දක්.


හිතවතුන්ට සහන


හැබැයි මේ බදු ප්‍රතිපතියෙන් වාසි ලබපු පිරිසක් හිටියා. ඒ එක්තරා ව්‍යාපාරික පන්තියක් සහ ඉහල වැටුපක් ලබන නිලධාරීන්.

උදාහරණයක් ලෙස මාසික වැටුප ලක්ෂ 2 ඉක්මවන නිලධාරීන් පවා බදු නොගෙවිය යුතු කොටසට එකතු උනා. රජයට අවශ්‍යම කොටසක් සතුටු උනා. එත් ඒ සතුටේ වන්දිය ගෙවන්න උනේ දුප්පතාට. දවසේ පඩියට වැඩකරපු කම්කරුවා පෙට්‍රල් ලිටරයෙන්, භූමිතෙල් ලිටරයෙන්, පාන් රාත්තලෙන් බදු ගෙව්වා. කිසිවෙකුට නොදැනී දුප්පතා තවත් දුප්පත් උනා. ව්‍යාපාරිකයන් සහ ඉහල නිලධාරීන් සතුටු උනා.


අවිධිමත් බදු ක්‍රමය:
 
 
සංවර්ධනය වන රටවල, විශේෂයෙන්ම දකුණු ආසියාවේ රටවල ප්‍රධානතම ප්‍රශ්ණයක් තමයි අවිධිමත් බදු ක්‍රමය. එකියනේ, පුද්ගලයන් සහ ආයතන සිදුකරන ඉපයීම් නිසිලෙස වාර්තා නොවීම. ලංකාව වගේ රටවල විශාල අවිදිමත් ආර්ථිකයක් පවතින නිසා පුද්ගල ඉපයීම් සහ ව්‍යාපාරික ලාභ පිළිබද දත්ත නිසියාකාරව වාර්තා වෙන්නේ නැ. එනිසාම සෘජු බදු පනවන්න අමාරුයි.
 
 
 
බංගලිදේශය වගේ රටවල් විශාල පරිශ්‍රමයක් දරනවා ඔවුන්ගේ බදු ක්‍රමය විධිමත් කරන්න. එහෙම කරලා බදු අනුකුලතාවය (tax compliance) වැඩිකරගන්න. අවසාන අරමුණ වන්නේ හැකිතරම් රාජ්‍ය අදායම සෘජු බදු තුලින් සපුරාගන්න. වක්‍ර බදු අඩුකරලා උද්ධමනය මෙන්ම අහිතකර අදායම් සංකුලතා වලක්වා ගන්න.

අපි මොකද කලේ  ? තියෙන සෘජු බද්දත් නැතිකරගත්ත එක. අනෙක් පැත්තෙන් බදු අනුකුලතාවය වැඩිකරගන්න, බදු ක්‍රමය විදිමත් කරන්න රජය මොනවද කලේ ?
 
 
අපි මේ අත්දකින ආර්ථික කඩාවැටීමේ මුල් පියවර කිහිපයෙන් එකක් තමයි අපි කතාකරපු  අදුරදර්ශී බදු ප්‍රතිපත්තිය. මේක රජයට වෙච්ච අත්වැරැද්දක් කියල කීයටවත් හිතන්න එපා. කෙටිකාලින දේශපාලන වාසි ලබාගැනීමට කරපු දේශපාලනික - ආර්ථික ප්‍රතිපත්තියක්. කොටින්ම කියනවනම් අතවශ්‍ය පන්තියක් සතුටු කරන්න ගත්ත තවත් එක අමනෝන්‍ය පියවරක්.
 
 
 
මෙම වැරැද්ද මෙතනින් නවතින්නේ නැහැ. වර්තමාන අර්බුදයට පාර කපන්න තවත් අවිද්‍යාත්මක මුල්‍ය සහ ෆිස්කල් ප්‍රතිපත්ති රාශියක් මේ පාලකයන් ඇති ගැනෙනවා.

ඒවා මොනවද කියල ඊලග සතියේ සාකච්ඡා කරමු.



dr shaආචාර්ය (නීතිඥ) ශානුක සෙනරත්
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


 
 
 
 

 

 Leader Whats app

 

 

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්