*ලී ක්වාන් යූ ලංකාවට ආවත් ජේ.ආර්.ට වඩා දෙයක් කළ නොහැක්කේ ඇයි? වරාය නගරයක අධිකාරවාදය සහ ලංකාවේ බහු-සංස්කෘතික ග්‍රාමීය යථාර්ථය අතර ප්‍රතිවිරෝධය.
*දූපත් නගර රාජ්‍යයකට ආවේණික වූ විසඳුම් සියවස් ගණනාවක වැඩවසම් සහ ග්‍රාමීය අර්බුද මැද හිරවූ ලංකාවට නොගැළපෙන බව නොදන්නා දේශපාලන මිථ්‍යාව විනිවිද දැකීමක්.
මාලිමා ආණ්ඩුවක් යටතේ “ශ්‍රී ලංකාව” ඇමෙරිකාවක් කිරීමේ කතා තිබූයේ පසුගිය 2024 මැතිවරණ වේදිකාවල ය. ඡන්ද බහුතරයක් නොමැති පළමු ජනාධිපති ලෙස පත් වූ අනුර කුමාරගේ ධූර කාලයෙන් දෑවුරුද්දක් ගෙවෙත්ම දැන් නැවත ඇසෙන්නේ, ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කිරීම ගැනය. ඒ සඳහා නායකයෙකු සෙවීමේ කතා ය. මේ ලක් පොළොවේ සිංගප්පූරුවක් හදන්නට ලී ක්වාන් යූ ගෙන්වා ගත්තත් නොහැකි යැයි මා කියුවේ, ඔහු යෝධ අධිකාරවාදී නායකයෙකු ලෙස සිංගප්පූරුව පාලනය කළ අවධියේම ය. ඔහු ලංකාවේ රාජ්‍ය නායකයා වූයේ නම්, ජයවර්ධනට වැඩි දෙයක් නොකරනු ඇතැයි මම කීවෙමි. ලංකාව සිංගප්පූරුවක් කිරීමට කතා කරන අය සිංගප්පූරුව ගැන දන්නේද නැත. ශ්‍රී ලංකාව ගැන දන්නේද නැත.
සිංගප්පූරුව හැම අතින්ම ශ්‍රී ලංකාවට වඩා වෙනස් ය. දළ හැඳින්වීමක් කළහොත් සමස්ථ සිංගප්පූරුවම, මුහුදෙන් වටවී තිබීම හැරුණු විට, සිංගප්පූරු භූමිය අපගේ වියළි කලාපයේ ත්‍රීකුණාමල ප්‍රදේශය වැනි තැනිතලා භූමියකි. සිංගප්පූරුවේ එකම කඳු මුදුණ හා කුඩා ස්වාභාවික වන වගාවක් ඇත්තේ, දූපත මැද බුකිට් පන්ජං කලාපයේය. මුහුදු මට්ටමේ සිට අඩි 536 ක් උස “බුකිට් ටිමාහ්” කන්ද, අපගේ අනුරාධපුර පලුගස්වැව ප්‍රදේශයේ කුඹුක්වැව කඳු ගැටයේ උසට සමාන කන්දකි.
මාතර සිට හෝ යාපනයේ සිට හෝ නුවරඑළියට යන විට හමුවන, දකින දේශගුණික, භූගෝලීය, ස්වාභාවික වන වගා, ආර්ථික වැවිලි හා කෘෂි වගා, විවිධ සංස්කෘතික අනන්‍යතා සිංගප්පූරුවේ දකින්නට නැත. ඉතාම කෙටියෙන් කිවහොත් අපගේ වැනි නාගරික, ග්‍රාමීය හා බහු සංස්කෘතික වෙනස්කම්, ප්‍රතිවිරෝධ කිසිත් නොමැති සිංගප්පූරුව, පාරම්පරික වරායක් අවට නගරයකි. කුඩා නාගරික රාජ්‍යයකි.
ලී ක්වාන් යූ මුහුණ නොදුන් සමාජ-ආර්ථික ගැටලු 4ක්
ලී ක්වාන් යූ
සරළ සංසන්දනයක් කළහොත් ශ්‍රී ලංකාවේ ඕනෑම ආණ්ඩු පාලනයකට මුහුණ දෙන්නට සිදුවන නමුත් සිංගප්පූරු ආර්ථිකය දියුණු කිරීමේදී ලී ක්වාන් යූට මුහුණ දෙන්නට සිදු නොවුනු ප්‍රධාන සමාජ ආර්ථික ගැටළු කිහිපයක් වන්නේ ඃ-
1. ලාංකීය ඉතිහාසයෙහි දකුණේ සහ උතුරේ රාජ්‍ය ස්ථාපිත වූයේ සිංහල-බෞද්ධ හා දෙමළ-හින්දු සංස්කෘතීන් දෙකෙහි ස්වාධීන ඓන්ද්‍රීය වර්ධනයන් සමගින් ය. ඔවුන් ඔවුන්ට ආවේනිකවන සංස්කෘතික අනන්‍යතා සහිත ජන වර්ග දෙකක් ලෙස ලක්බිමට උරුමකම් හා අයිතිවාසිකම් කියනවුන්ය. 08 වන සියවසෙහි සිට මුස්ලිම් වෙළෙන්දෝ කොළඹ, බේරුවල, ගාල්ල, හම්බන්තොට වැනි තොටුපල වලට වෙළඳාම සඳහා පැමිණයහ. කාලයත් සමග ඔවුන්ගේ නිරන්තර පැමිණීම් වෙනුවෙන් ඒ ප්‍රදේශවල නවාතැන් හදා ගත්හ. ලාංකීය සමාජයේ මුස්ලිම් අනන්‍යතාවයකට මුල පිරුනේ එළෙසින්ය. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයින් කන්ද උඩරට මහ පරිමාන ආර්ථික වැවිලි වගාවන් වෙනුවෙන් 19 වන සියවසෙහි දහස් ගණනක් දිළිඳු කම්කරුවන් දකුණු ඉන්දියාවෙන් ගෙනැවිත් පදිංචි කිරීම සමග සිංහල ගම් අතර තවත් දෙමළ ජනවර්ගයක් තහවුරු විය. ආණ්ඩු පාලනයේදී මේ බහු සංස්කෘතික අනන්‍යතා දේශපාලනිකව පිළිගැනීමට හැම ආණ්ඩුවකටම සිදු වන්නකි.
වර්තමාන සිංගප්පූරුව ගොඩනැගෙන්නේ 19 වන සියවසෙහි වන සංක්‍රමණ සමග ය. බ්‍රිතාන්‍යයයින් තරගකාරී වෙළඳ තොටුපලක් ලෙස සිංගප්පූරුව දියුණු කළ පසුවය. “බ්‍රිතාන්‍ය නිරිතදිග ඉන්දීය සමාගමේ” නියෝජිත ශ්‍රීමත් ස්ටැම්ෆඩ් රාෆ්ල්ස් 1819 ජනවාරියේ සිංගප්පූරුවට ගොඩ බසින විට, එහි පුද්ගලයින් 150 කගේ පමණ මැලේ ජනාවාසයක් තිබී ඇත. ඉන් 30 කු පමණ චීන ජාතිකයින් වූ බැව් සටහන් වන්නේය. මැලේ සුල්තාන් සමග ශ්‍රීමත් රාෆ්ල්ස් ඇතිකර ගත් ගිවිසුමකට අනුව, ඔහු සිංගප්පූරව බදු රහිත වෙළද තොටුපලක් ලෙස 1819 සිට පවත්වා ගත්තේ ආසන්නයේ වූ පෙනෑං තොටුපල ඕලන්දයින් යටතේ වූයෙනි. ශ්‍රීමත් රාෆ්ල්ස් සිංගප්පූරු තොටුපල බදු රහිත තොටුපලක් ලෙස පවත්වා ගත් හෙයින් එය සීඝ්‍රයෙන් වර්ධනය විය. මැලේසියානු ජනාවාස වැඩි විය. 1824 සංඛ්‍යා ලේඛන අනුව එහි වූ 10,680 ට වැඩි ජනගහනයෙන් 6,500 ට වැඩි සංඛ්‍යාවක් වූයේ මැලේ සහ මුහුදු යන ඓන්ද්‍රීය ගෝත්‍රික කුලයක් වූ කුඩා “බුගී” ජන පිරිසකි. මලයාසියාවෙන්, ඉන්දියාවෙන් හා චීනයෙන් නොකඩවා වූ සංක්‍රමණ සමග 1871 වන විට සිංගප්පූරු ජනගහනය ලක්ෂයකට ආසන්න විය. ඉන් බහුතරය ඒ වන විට චීන ප්‍රජාව වූහ.
ලී ක්වාන් යූ 1959 දී සිංගප්පූරුවේ පළමු අගමැති ලෙස පත් වන විටත් 1965 දී මැලේසියානු සමූහාණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන ස්වෛරී රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත්වන විටත්, ඊට පසුවත් අපගේ වැනි සියවස් 12 ට වැඩි කාලයක් ඓතිහාසිකව තමන්ගේ වූ ජනවාර්ගික සංස්කෘතික අනන්‍යතා මත ගොඩ නැගුණු ජන සමාජයක් සිංගප්පූරුවෙහි නොවීම, ලී ක්වාන් යූ සතු වූ ලොකු වාසියකි.
2. විශේෂයෙන් බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේ කොළඹ කේන්ද්‍ර වූ වාණිජ නගරයක් ගොඩ නැගෙන විට, බහුතර ජනතාවක් සමග පැරණි සාම්ප්‍රදායික “ගම” ඉතිරි වූයේ වැඩවසම් සමාජයක් ලෙසින්ය. මුදල් හුවමාරු වන නාගරික වාණිජ සමාජයක් කොළඹ කේන්ද්‍රීයව ඒ අවට හැදෙන විට, “ගම” හා “නගරය” අතර වන ආර්ථික හා සමාජීය පරතරය හා ප්‍රතිවිරෝධ සඳහා විසදුම් සොයන්නට අපට සිදු වූවත් ලී ක්වාන් යූට එවැනි අවශ්‍යතාවක් නොවුනි.
3. ලාංකීය ග්‍රාමීය ආර්ථිකය පූර්ණ වශයෙන් මෙන් සාම්ප්‍රදායික වගාවන් මත වන යැපුම් ආර්ථිකයක් ලෙස පැවතීමත් විශේෂයෙන් වී වගාව ආර්ථික නිෂ්පාදනයකට වඩා සංස්කෘතික වගාවක් වීමත් එය රාජ්‍ය සහනාධාර සමග නඩත්තු කිරීමේ වගකීම ආණ්ඩුවට පැවරෙන අතර, කුල ධූරාවලියක් සහිත ග්‍රාමීය සමාජයේ අර්ධ කෘෂි කම්කරු ශ්‍රමයක් හා ඉඩම් භාවිතයේ ඌණතා සඳහා සහන සැළසීමට ආණ්ඩුවලට සිදුවන නමුත් ලී ක්වාන් යූට සිංගප්පූරුවෙහි එවැනි ග්‍රාමීය වගකීම් නොවුනි.
4. අවුරුදු 130 ක් පමණ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය යටතේ වැඩවසම් සමාජයක් ලෙසින් පැවත නිදහස ලබන විට ඔවුන් විසින් විටින් විට ස්ථාපිත කරනු ලැබූ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලන ව්‍යුහ සමග නිදහස් සක්‍රීය බහු පක්ෂ සහ නාගරික වෘත්තීය සමිති ව්‍යාපාරයක්ද නඩත්තු කිරීමේ වගකීම බාරගත් ලාංකීය සමාජය වැනි ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් හා පාලන සම්ප්‍රදායක් සිංගප්පූරුවේ නොවීම, අධිකාරවාදී විනයක් සහිත වාණිජ නගරයක් ලෙස සිංගප්පූරුව ස්ථාපිත කිරීමේ නිදහස ලී ක්වාන් යූ ලැබූ දේශපාලන අවකාශයකි.
වරාය නගර මායාව වෙනුවට සවිමත් ග්‍රාමීය ආර්ථිකයක්
ලාංකීය සමාජ සංවර්ධනය සඳහා උත්තර සොයන්නට සිදුව ඇති මේ සංකීර්ණ ගැටළු නොවුනු සිංගප්පූරුව, ලී ක්වාන් යූ ගේ අධිකාරවාදී පාලනය යටතේ වරාය කේන්ද්‍රීය ආර්ථික වර්ධනයක් අත්පත් කරගත් ආකාරයට අපට “ග්‍රාමීය” ආර්ථික වර්ධනයක් අත්පත් කරගත නොහැකි බව පළමුව තේරුම් ගත යුතුය. ලක් පොළොවේ සිංගප්පූරුවක් හැදීමේ කතා “මුල්ලේරියාවේ කතා” යැයි මා කියන්නේ එබැවින්ය.
තමන්ගේ අධිකාරවාදී පාලනය යටතේ පාරම්පරික වරාය නගරය ස්වාධීන රටක් රාජ්‍යයක් ලෙස ව්‍යවස්ථාගත කර ගැනීමෙන් පසු එය පොහොසත් රටක් ලෙස හඳුන්වාදීමේදී තම සැළසුම් ගැන ලී ක්වාන් යූ ආඩම්බරයෙන් කියූ හැමදෙයක්ම අපට නොගැලපෙන බැව් අප තේරුම් ගත යුත්තේ, ඔහු කතා කරන සන්දර්භය අපගේ සමාජ ආර්ථික සන්දර්භය නොවන බැව් තේරුම් ගැනීමෙනි. එනිසා ශ්‍රී ලංකාව කිසිදාක සිංගප්පූරුවක් කළ නොහැක. අප අපේ ගමන ආරම්භ කළ යුත්තේ ජාවාරම්කාරයින් වෙනුවෙන් “කොළඹ වරාය පුරවර” හැදීමෙන් නොවේ.
අපි අපේ ගමන ආරම්භ කළ යුත්තේ “බහුතර ග්‍රාමීය ජනතාවට වැදගත්, සදාචාර සම්පන්න ජීවිතයක් උපන් ගමේ ගත කළ හැකි වන ශක්තිමත් ග්‍රාමීය ආර්ථිකයක්, අවශ්‍ය සියලු සේවා පහසුකම් සමග” හැදීමෙනි. ඉතිරිය ඒ සමග වර්ධනය වනු ඇතැයි මම විශ්වාස කරමි. සිංගප්පූරුවක් ගැන නොව, “දියුණු ශිෂ්ඨ ශ්‍රී ලංකාවක්” ගැන අපට ආඩම්බරයෙන් කතා කළ හැක්කේ එවැනි ශ්‍රී ලංකාවක් හැදීමෙනි.

(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
2026 සැප්තැම්බර 26 වන දින







