ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කාලයේ ඇවිදින මංතීරු හදා කොළඹ ලස්සණ කළ නිසා රටත් සංවර්ධනය කිරීමේ හැකියාවක් ඇතැයි සිතා බලයට පත්කර
ගත් ගෝඨාභය රාජපක්ෂට රටම විනාශ කිරීමට ගතවුණේ අවුරුදු දෙකකි.
තමන් විනාශ කළ ඒ රට ගොඩගැනීමට ගෝඨාභය රාජපක්ෂ දැන් වේදිකාවට කැඳවන්නේ, ව්‍යාපාරික ලෝකයේ සාර්ථකත්වයක් පෙන්වා ඇති ධම්මික පෙරේරා ය. සමහරවිට, ව්‍යාපාරික සමාගමක් ලාබ ලබන තත්වයට ගෙන ඒම සහ රටක් සංවර්ධනයට ගෙන ඒම යනු එකක්ම යැයි ගෝඨාභය රාජපක්ෂත්, ධම්මික පෙරේරාත් සිතනවා ඇති.
2019 දී ගෝඨාභය රාජපක්ෂව අධිකරණයෙන් නිදහස් කෙළේය. ඒ, ඔහුගේ ශ්‍රී ලාංකීය පුරවැසි භාවය අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට නොගෙන වීසි කර දැමීමෙනි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ගෝඨාභය රාජපක්ෂ 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය.
ජුනි 21දා ධම්මික පෙරේරාව අධිකරණයෙන් නිදහස් කෙළේය. ඒ, ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් පාර්ලිමේන්තුවට පත්වීමට ඔහු නුසුදුස්සෙකු වන බවට අධිකරණයට ඉදිරිපත්ව තිබූ පෙත්සම් පහක් විභාගයට නොගෙන වීසි කර දැමීමෙනි. ඒ අනුව, ඊයේ ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් දිව්රුම් දුනි. ඉදිරි දිනයක කැබිනට් අමාත්‍යවරයෙකු වශයෙන් පත්කිරීමටත් නියමිතයි.
මේ මොහොතේ ධම්මික පෙරේරා යන අනන්‍යතාව තුළ අඩංගු වන්නේ, මීට මාස එකහමාරකට කලින් රනිල් වික්‍රමසිංහ නමැති අනන්‍යතාව තුළ අඩංගු වූ බොම්බයිමුටයි අර්ථයමයි.
එනම්, ගෝඨාභය රාජපක්ෂ නමැති අවලංගු කාසිය ගැන පුහු විශ්වාසයක් රට තුළ තාවකාලිකව ජනිත කිරීමේ අර්ථයම පමණි. එය තාවකාලික අරුතක් පමණක්ම වන්නේ, ගෝඨාභය රාජපක්ෂ නමැති අරටු ප්‍රශ්නය ඉතිරි කරගෙන, ඉතිරි ප්‍රශ්න කිසිවක් නිරාකරණය කරගත නොහැකි තත්වයක් ගෝඨාභය රාජපක්ෂ විසින්ම මේ වන විට නිර්මාණය කොට තිබෙන බැවිනි.
රනිල් වික්‍රමසිංහ සහ ධම්මික පෙරේරා යනු, මේ ‘සත්‍යය’ අවබෝධ කරගත හැකි සෑම සුදුසුකමක්ම සහිත පුද්ගලයන් දෙන්නෙකි. රනිල් වික්‍රමසිංහට දශක හතරක දේශපාලනික අත්දැකීම් තිබේ. ඒ නිසා, ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පොහොට්ටු කඳවුරේ මතවාදය තුළ තමන්ට සාර්ථක විය හැකි යැයි විශ්වාස කිරීමට තරම් පිළිගත හැකි හේතුවක් ඔහුට තිබිය නොහැකිය.
ව්‍යාපාරයක් සාර්ථක වීමේ රහස, අන් සියල්ලට කලින්, සේවාලාභියා තුළ විශ්වාසය ජනනය කිරීම බව, ධම්මික පෙරේරා දනී. ඒ විශ්වාසය ජනනය වන්නේ, සපයන භාණ්ඩයේ හෝ සේවාවේ ඇතැයි ඒත්තුගැන්වෙන ප්‍රයෝජ්‍ය වටිනාකම නිසා බවත් ඔහු දනී. රට වැටී ඇති අගාධයේ වර්තමාන සන්දර්භය තුළ ඒ කිසිවක් සොයාගැනීමට හෝ සපයාගැනීමට නොලැබෙන බව ඔහුට නොවැටහීමට හේතුවක් නැත.
එහෙත් මේ දෙන්නාම, දෙන ලද ‘අභියෝගය’ භාරගත්හ. ඒ ඇයි? රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් ගත්තොත්, ඔහු නිදා සිටියේ පැදුරේ නිසා බිමට වැටීමේ අමතර වියදමක් දැරීමේ අවදානමක් ඔහුට නැත. ධම්මික පෙරේරා සම්බන්ධයෙන් ගත්තොත්, ඔහුගේ ව්‍යාපාරික ව්‍යවසායයන්ට රාජ්‍ය දේශපාලනයට ළං වීම නිසා ලාභයක් මිස පාඩුවක් අත්වීමේ ඉඩක් නැත. ඒ හැරුණු විට, දෙන්නාගේම ආසන්නතම අභිප්‍රාය, රට ගොඩගැනීමේ පරමාර්ථයට අදාළත්වයක් නැති, රාජපක්ෂ ආණ්ඩුව මේ මොහොතේ ආරක්ෂා කර දීමේ කොන්ත්‍රාත්තුව සමග වැඩියත්ම බැඳී තිබීම හඳුනාගත හැකිය.
2019 දී ලංකාවේ ජනාධිපති වුණේ ඇමරිකානුවෙකි
2019 දී බලයට පත්වීමට කලින් පටන්ම ගෝඨාභය රාජපක්ෂට කෙනෙකු විරුද්ධ විය යුතු හේතු රාශියක් තිබුණි. ඒ අතරින් මේ ලිපියේ සාකච්ඡාවට ගැනෙන්නේ එක කාරණයක් පමණි. එනම්, වංචාව සහ ව්‍යාජත්වයයි.
මේ (දුෂ්)චරිත ලක්ෂණය ගැන තීන්දුවක් ගැනීම මහජනතාවට (69 ලක්ෂයට) භාර කළ යුතුව තිබුණේ නැත. එය ඊට කලින් අභියෝගයට ලක්විය යුතුව තිබුණු කාරණයකි. 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ සෑම අපේක්ෂකයෙකුටම ඒ වගකීම පැවරී තිබුණි.
ජනාධිපතිවරණ නාමයෝජනා භාරගන්නා අවස්ථාවේ ඒ ඕනෑම අපේක්ෂකයෙකුට ඔහුගේ ඇමරිකානු පුරවැසි භාවය පිළිබඳ කාරණය අභියෝගයට ලක්කළ හැකිව තිබුණි. එහෙත් එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු කිසි පක්ෂයක අපේක්ෂකයෙකු විසින් ඒ වගකීම ඉටු කෙළේ නැත.
ඒ මොහොතේ ගෝඨාභය රාජපක්ෂ සතුව තිබුණේ, ඇමරිකානු පුරවැසි භාවය ඉල්ලා අස්කර ගැනීම සඳහා කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයට ඔහු ඉදිරිපත් කළ ඉල්ලුම් පත්‍රය භාරගත් බවට එම තානාපති කාර්යාලයෙන් ඔහුට නිකුත් කොට තිබූ කුවිතාන්සියක් පමණි.
මොහොතකට මෙසේ සිතන්න: යම් තනතුරක් සඳහා විවාහකයෙකු නොවීම සුදුසුකමක් වශයෙන් සැලකෙන අවස්ථාවකදී යම් පුද්ගලයෙකු තමා දික්කසාදයක් සඳහා අධිකරණයේ නඩුවක් පවරා ඇති බවට ලේඛනයක් ඉදිරිපත් කළ පමණින් ඔහු අවිවාහකයෙකු වශයෙන් බාර ගැනෙන්නේද? නැත.
එසේ නම්, 2019 නොවැම්බර් මාසයේදී ගෝඨාභය රාජපක්ෂ ඇමරිකානු පුරවැසි භාවය අත්හැර සිටියේය යන්නත් පිළිගත් සම්මතයන් යටතේ බාරගත හැකිව තිබුණේ නැත.
2019 නොවැම්බර් මාසයේ ගෝඨාභය රාජපක්ෂ ලංකාවේ ජනාධිපති වශයෙන් පත්වන අවස්ථාවේ ඔහු ඇමරිකානු පුරවැසියෙකුව සිටි බව ඇමරිකානු මූලාශ්‍ර මගින් මේ වන විට තහවුරු වී තිබේ. ඊට අනුව, ඔහු ඇමරිකානු පුරවැසි භාවය අත්හල බව ඇමරිකානු බලධාරීන් විසින් නිල වශයෙන් පිළිගනු ලබන්නේ 2020 මැයි මාසයේ 8 වැනිදා ප්‍රකාශයට පත් නාමලේඛනයකිනි.
පුරවැසි භාවය ඉල්ලා අස්කර ගැනීමේ මෙවැනි ඉල්ලුම් පත්‍ර ලැයිස්තුගත කෙරෙන ඇමරිකානු ආයතන දෙක වන්නේ, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවත්, ඇමරිකානු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවත් ය. මේ රාජ්‍ය ආයතන දෙක, වර්ෂයේ සෑම කාර්තුවකටම වරක්, ඊට කලින් කාර්තුවේ ඉදිරිපත්ව ඇති ඉල්ලුම්කරුවන්ගේ නිරවුල් කළ නාමලේඛනය ප්‍රකාශයට පත්කරයි.
කරුණු එසේ නම්, තත්වය එසේ විණැයි ඔප්පු කළ යුත්තේත් ඔහුමයි. ඇත්ත වශයෙන්ම, ජනාධිපතිවරණයේ නාමයෝජනා භාරගන්නා අවස්ථාවේ, සෙසු සියලු අපේක්ෂකයන් ඒ සඳහා ඔහුටත්, මැතිවරණ කොමිසමටත් බල කළ යුතුව තිබුණි. එහිදී තමන් ඇමරිකානුවෙකු නොවන බව ඔප්පු කිරීම ගෝඨාභය රාජපක්ෂ පිට පමණක්ම පැටවෙන වගකීමක් වනු ඇත.
ව්‍යසනයක් නතර කළ හැකිව තිබුණු අවසාන අවස්ථාව
දැන් කෙනෙකු මෙවැනි ප්‍රශ්නයක් මතු කළ හැකිය. ඇයි ඔහුගෙන් පමණක් මෙවැනි ප්‍රශ්නයක් ඇසිය යුතුව තිබුණේ? සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායකගෙනුත් එවැනි සහතිකයක් ඉල්ලා සිටිය යුතුව තිබුණේ නැත්ද? මන්ද යත්, මැතිවරණ පනතේ, පුරවැසි භාවය සනාථ කිරීමේ එවැනි අවශ්‍යතාවක් සඳහන් කොට නැතැයි කියන බැවිනි.
මෙවැනි අවශ්‍යතාවක් ඔහු අරභයා පමණක් මතුවීමට එක හේතුවක් වන්නේ, ඊට කලින් තමා ද්විත්ව පුරවැසියකු වන බව, එනම්, තමා 2005 පටන් ඇමරිකානු-ශ්‍රී ලංකා පුරවැසියෙකු වන බව, මේ ලිපියේ මුලින් සඳහන් කළ 2019 පෙත්සම් නඩුවේදී ඔහු විසින්ම අධිකරණයක් ඉදිරියේ ඔප්පු කොට තිබීමයි.
ඒ තත්වය තුළින්ම ව්‍යුත්පන්න වන දෙවැනි හේතුව වන්නේ, 2019 වන විට, ද්විත්ව පුරවැසියෙකුට ලංකාවේ මැතිවරණයකට ඉදිරිපත් විය නොහැකි බවට 2015 දී සම්මත කරගත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් පනවනු ලැබ තිබීමයි.
ඉහත කී, 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ සියලු අපේක්ෂකයන්, නාමයෝජනා භාරගන්නා අවස්ථාවේ මෙය අභියෝගයට ලක්කළ යුතුව තිබුණේ එබැවිනි. අවාසනාවක මහත! ඒ කිසිවෙකු ඒ ගැන තැකුවේ නැත. එපමණක් නොව, ඒ රාජකාරිය භාරව සිටි මැතිවරණ කොමිසමත් එවැනි සාක්ෂියක් මොහුගෙන් ඉල්ලා සිටියේද නැත. මේ වනාහී, සෙස්සන්ගේ නෝන්ජල් භාවය හෝ නොසැලකිල්ල හෝ කූට සැලැස්මක් අස්සෙන් කෙනෙකු ලංකාවේ පළමු පුරවැසියා වීමට රිංගා ගිය විරල අවස්ථාවකි.

දේශපාලනයට පිවිසීමට ව්‍යාපාරිකයෙකුට අයිතියක් තිබිය යුතු නැතැයි මෙයින් නොකියැවෙයි. මෙය, ධනපතියන් භංගවේවා යැයි යටිගිරියෙන් කෑගැසිය යුතු යුගයක්ද නොවේ. ඇත්තෙන්ම ලංකාවේ ආර්ථිකය මේ තරම්වත් අද ඔරොත්තු දීමේ ශක්තියක් ඇති කරගෙන තිබෙන්නේ අපේ පෞද්ගලික අංශයේ ශක්තිය නිසා මිස, ඊනියා රාජ්‍ය අංශයක ප්‍රාතිහාර්යක් නිසා නොවේ.
එහෙත්, පෞද්ගලික අංශයේ බලකනු දේශපාලනයට පිවිසෙන විට, ලංකාව වැනි රටක මහජනතාව ඇස් ඇරගෙන සිටීම ප්‍රඥාගෝචර ය. ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉතාලියේ හිටපු අගමැති සිල්වියෝ බෙර්ලුස්කොනී, සුපිරි ධන කුවේරයන් දෙන්නෙකු රාජ්‍ය නායකත්වයට පත් වූ මෑතකාලීන අවස්ථා දෙකකි. ඔවුන් දෙන්නාම, ව්‍යාපාරික ලෝකයේ අති දැවැන්තයන් වුවද, දේශපාලනික ලෝකයේදී ඒ දෙන්නාම අසාර්ථක අඟුටුමිට්ටන් බවට පත්වූහ.

මැතිවරණයකදී ඉදිරිපත් කෙරෙන ජාතික ලැයිස්තුවක් යනු, වෙනත් විවිධ අර්ථයන්ට අමතරව, ඡන්දදායකයාට තමන්ගේ ඡන්දය පාවිච්චි කිරීම අරභයා වන පුළුල් අවබෝධය සපයන, ද්විතීය කැඩපතකි. ජාතික ලැයිස්තුවේ සිටින කිසිවෙකුට කෙනෙකු සෘජුව ඡන්දය පාවිච්චි නොකළත්, තමන් ඡන්දය පාවිච්චි කරන පක්ෂය තෝරාගැනීමට එම පක්ෂයේ ජාතික ලැයිස්තුවේ ස්වභාවයත් ඔහුට/ඇයට බලපාන්නේය.
ඡන්දය පාවිච්චි කිරීමේ තීරණයට අදාළ කිසිවක් ඡන්දය පාවිච්චි කරන අවස්ථාවේ ඡන්දදායකයාගෙන් වසං කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනියි. එබැවින්, ඡන්දය පාවිච්චි කරන අවස්ථාවේ ජාතික ලැයිස්තුවේ නොසිටි කෙනෙකු ඡන්දයෙන් පසුව පාර්ලිමේන්තුවට පත්කරනු ලැබීම, ජනතාවගේ ඡන්ද අයිතිය වක්‍රාකාරයෙන් අවභාවිත කිරීමකි.
ඒ කිසි කොන්දේසියක් ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වය යටතේ අත්පත් කරගත හැකි නොවේ.