1200 x 80 DMirror

 
 

බැසිල් මුදල් ඇමති ලෙස අයවැය ඉදිරිපත් කරමින්...

 

2022 අයවැය කරළියට පැමිණෙන්නේ ලංකාවේ ආර්ථිකය විශාල ගැටලුකාරී තත්ත්වයක් අබිමුව පවතින අවස්ථාවකයි.


 ලංකාව ඒ වකවානුව වන විට එක් පැත්තකින් විදෙස් සංචිත හිඟ වෙමින් යනව, උද්ධමනය වැඩි වෙමින් පවතිනව,  රට තුල ආර්ථික අර්බුදයක සේයාවන් ඇති වෙමින් පවතින අවස්ථාවක තමයි 2022 අයවැය කරලියට පැමිණෙන්නේ.

මෙම අයවැය ගෙනෙන්න පළමුවම දැනුම් දුන්නා මෙම අයවැය ආර්ථික අර්බුදය ඉලක්ක කර ගත්ත අයවැයක් බව. එම නිසා යම් යම් සහනදායී දේවල් අඩු බවක්, ඒ වගේම විද්‍යාත්මක ව මේ අර්බුදයට මුහුණ දෙන්න හදපු අයවැයක් කියන කතන්දරය තමයි අපිට අහන්න ලැබුනේ.

ඉන් පසුව හිටපු මුදල් අමාත්‍යවරයා අයවැය ඉදිරිපත් කලා, මෙම අය වැය පිළිබදව කෙටියෙන් විශ්ලේෂණය කිරීමේදී, සොයා බැලිය යුතු කරුණක් තමයි, මේ අයවැය කොහොමද මේ ආර්ථික අර්බුදයට විද්‍යාත්මකව විසදුම් ලබාදුන්නේද  කියන කරුණ.


2022 විද්‍යාත්මක අයවැය:


මේ අයවැයෙහි ප්‍රධානම ලක්ෂණ කිහිපයක් තිබෙනවා, මේ වෙද්දි රට දැඩි උද්ධමනකාරි තත්ත්වයක ආරම්භයේ තමයි තිබුනේ. රජය ගෙන ගියපු නොයෙකුත් ප්‍රතිපත්ති නිසා, බදු ප්‍රතිපත්තිය, පොළිය විද්‍යාත්මක නොවන ආකාරයට අඩු කිරීම නිසා රටතුල උද්ධමනකාරි තත්ත්වය ඇති වෙමින් තිබුනේ. එහෙම අවස්ථාවක තමයි 2022 අය වැය ගේන්නේ. මෙම අයවැයේ තිබුණු අහිතකර ලක්ෂණ විශාල ප්‍රමාණයක්.

එකක් තමයි මෙම අයවැය මගින් වැට් බද්ධ වැඩි කිරීම. දැනටමත් භාණ්ඩ හා සේවා වල මිල ඉහල යමින් පවතින අවස්ථාවක, ආයෙත් වක්‍ර බද්දක් ලෙස වැට් බද්ධ ඉදිරිපත් කළා. වැට් බද්දේ තිබෙන ගැටලුව තමයි මේක එකතු කල අගය මත ඇතිවන බද්දක්. මේ බද්ද භාණඩ හා සේවා වලට එකතු වෙනවා, එතකොට මේ භාණ්ඩයේ මිල ඉහල යනවා.

නමුත් මුදල් ඇමතිවරයා අයවැය ප්‍රකාශයේදි සදහන් කලා පාරිභෝගිකයා මත විතැන් කල නොහැකි වැට් බද්දක් පනවනව කියලා.
 
 
අපි දන්නා ආර්ථික විද්‍යාවේ වැට් බද්දක් පාරිභෝගිකයාට විතැන් කල නොහැකි ලෙස පනවන්න බැහැ. එහි භාණ්ඩ හා සේවා වල මිලට එය එකතු වෙනවා. එවිට භාණ්ඩ හා සේවා වල මිල ඉහල යනවා. එය අනිවාර්යයෙන්ම පාරිභෝගිකයාට දැරීමට සිදුවෙනවා.
 
 
එහිදී 18% වැට් බද්දක් ඉදිරිපත් කලා. එමගින් නැවතත් භාණ්ඩ හා සේවා වල මිල ඉහළ යාමට හේතු වුනා. තවත් 2.5% ක අධිභාර බද්දක් පැනවුවා. එම අධිභාර බද්ද පැනවුවේත් පිරිවැටුම තුල. එම බදු ප්‍රමාණයත් භාණ්ඩ හා සේවාවල මිලට එකතු වෙනවා.

 රුපියල් මිලියන 2000 ඉක්මවා යන ආයතන සදහා එක් වරක් පමණක් ගෙවන 25% අධිභාර බද්දක් පැනවීම. මේ වෙද්දි කොරෝනා ගැටළුවලින් බැට කාලා දුර්වල වෙලා තිබුනු බැංකු, මූල්‍ය ආයතන, ජාත්‍යන්තරව කටයුතු කරන ආයතනවලට මරු පහරක් එල්ල වුනා. ඒ තුලින්. එවැනි බද්දක් නැවත පැනවීම මගින් ආයතන තුල ශක්තිමත්භාවය හීනවී එම ආයතන නැවත වතාවක් දුර්වල තත්ත්වයට පත්වෙනවා.

විශේෂයෙන්ම ජාත්‍යන්තරව කටයුතු කරන මූල්‍ය ආයතනවලට, ජාත්‍යන්තර රෙගුලාසි අනුව කටයුතු කරන්න සිදු වෙනවා. මෙවැනි බදු පැනවීම තුලින් ඔවුන්ගේ වත්කම්, වගකීම් අනුපාතයන් වෙනස් වෙලා ඒවා අහිතකර ලෙස බලපාලා එම ආයතන තවත් දුර්වල වීමක් සිදුවෙනවා.


බදු පැනවීමේ විහිළු !
 
 
ඊට අමතරව මෙම බද්දේ යම් විහිළු සහගත කරුණු ඉදිරිපත් වුනා. ඒ තමයි මෝටර් රථ අනතුරුවල දී, අනතුරු සිදුවන පාර්ශවයන්ට අනතුර සිදු කරන පාර්ශවයෙන් යම් දඩයක් පැනවීම. එය රක්ෂණ ආයතනය මගින් ගෙවනවා කියල තමයි යෝජනා කලේ. මේක විහිළු සහගත කාරණාවක්, මෙහි අරමුණ වෙලා තිබුනේ අනතුරු අඩු කරගන්න.
 
 
කවුරුත් වාහනයක් එලවන්නේ අනතුරු ඇති කරගන්න නෙවෙයි. නමුත් අපි හැමෝම දන්නවා අනතුරක් සිදු වුනහම දඩයක් ගෙවන්න වෙනවා කියන එක,  විශේෂයෙන්ම මේ දඩය ගෙවන්නේ රක්ෂණ ආයතන. රක්ෂණ ආයතන කරන්නේ ඔවුන්ට ගෙවන්න සිදුවන ප්‍රමාණය ඔවුන් දළ වශයෙන් දන්නවා කොපමණ අනතුරු ප්‍රමාණයක් රට තුල සිදුවෙනවාද කියන එක. ඔවුන් කරන්නේ වක්‍රාකාරව එම මුදල ලබා ගන්නව. එවිට රක්ෂණ වාරිකය ඉහල යනවා.

මෙහිදි අපිට පෙනෙනවා, අයවැය තුලින්  බොහෝ උද්ධමනකාරි තත්ත්වයක ඇති කරපු බව. රටේ දැනටමත් උද්ධමනයක් පවතිනවා. පීඩාකාරි තත්ත්වයක් රටේ ආර්ථිකය තුල පවතිනවා. මේ අයවැයේ ගෙන ආපු අමනෝඥ ප්‍රතිපත්ති, විහිළු සහගත ප්‍රතිපත්ති මෙම උද්දමනය තව තවත් ත්‍රීවෘර කරල තිබෙන බව අපි දන්නවා.
 

මෙම අයවැයේ තවත් විශේෂ ලක්ෂණ කිහිපයක් තිබුනා. එනම් ප්‍රාදේශීය සංවර්ධනයට මුදල් වෙන් කිරීම. එක් වසමකට රුපියල් මිලියන 3 බැගින් එනම් ලක්ෂ 30 බැගින්, රුපියල් මිලියන 42063 ක් ලබා දිලා තිබුනා සෑම ග්‍රාමසේවා කොට්ඨාශයකටම. එතකොට මොනවද මේවයින් සිදු කරනු ලබන ව්‍යාපෘති? මේවායින් සිදුවන්නේ ග්‍රාමීය වශයෙන් කොන්ත්‍රාත්කරුවන් සතුටු කරමින් ඔවුන්ට කොන්ත්‍රාත් ලබා දීමටත් ජොගින් ට්‍රැක්ස් හැදීම, කැඩීම සහ  යලි කැඩිම සැදීම වැනි කටයුතු සදහා තමයි මේ මුදල් වෙන් කරල තිබුනේ.


දේශපාලිනිකව සංවර්ධනය මුදල් වෙන්කරීම
 
president mahinda rajapaksa at gampaha jogging track
 
ග්‍රාමීය දේශපාලනඥයින්ට කොන්ත්‍රාත් හරහා කොමිස් ව්‍යාපෘති
 
 
ඉන් පස්සේ පළාත් පාලන කොට්ඨාශවලට, ලංකාවේ තිබෙනවා පලාත් පාලන කොටඨාශ 4917 ක් පමණ. මේ සෑම කොට්ඨාශයකටම ලක්ෂ රුපියල් මිලියන 4 බැගින් , රුපියල් මිලියන 19668 ක් පළාත් පාලන කොට්ඨාශවලට වෙන් කරල තිබුනා.

ඉන් පසුව මන්ත්‍රිවරුන්ගේ ලක්ෂ 100 ක් වු විමධ්‍යගත අයවැය තවත් මිලියන 5 කින් එනම් ලක්ෂ 50 කින්  වැඩි කරල තිබුනා.

මන්ත්‍රීවරුන් 225 දෙනාටම රුපියල් මිලියන 5 බැගින් අමතර රුපියල් මිලියන 3374 ක් වෙන් කරල තිබුනා.

ඊට අමතරව දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට, ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 25 ම ආවරණය වන පරිදි, තවත් රුපියල් මිලියන 19864 ක් වෙන් කරල තිබුනා.


මෙය සදහන් කලේ මූලික වශයෙන් වෙන් කරපු මුදල් ප්‍රමාණයන්. ඊට අමතරව ගම සමග පිළිසදර වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 85000 ක් ආදි වශයෙන් අයවැයෙන් යෝජනා කරල තිබුනා.
 
 
එතකොට මෙසේ බලනකල ග්‍රාමසේවා කොට්ඨාශ, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ, පළාත් පාලන ආයතන කොට්ඨාශ ආශ්‍රිතව සහ මැතිවරණ කොට්ඨාශ වශයෙන් ආයතන හතරකට, එකම භූමියක, ලක්ෂයක් මත ස්ථර හතරකින් ප්‍රාදේශීය සංවර්ධනයට කියල මුදල් වෙන් කරල තිබෙනවා.
 
 
මොනවද මේ විශාල මුදල් කන්දරාව රුපියල් මිලියන 80000 ක් 90000 ක් පමණ මුදලක් වෙන් කරල තිබෙන ප්‍රාදේශිය සංවර්ධනයට. මොනවද ප්‍රාදේශිය සංවර්ධනය කියල කරන්නේ, ආයෙත් ප්‍රාදේශීය කොන්ත්‍රාත්කරුවන් සතුටු කරමින්, ප්‍රාදේශිය ඡන්ද පදනම රැක ගන්න සිදු කරන වියදම්. බෝක්කු, ජොගින් ට්‍රැක්ස්, වැනි දේවල් ඒවා කඩල නැවත හදල කරන වියදම් පමණයි.


මෙවැනි විද්‍යාත්මක අයවැයක් තමයි 2022 වර්ෂයට අපිට ලැබුනේ. මේ අයවැය එහෙම පිටින්ම අසමත් අයවැයක්. මේ අයවැය ආර්ථික අයවැයට විසදුම් සොයන්න අසමත් වෙලා තිබෙනවා. මේ අයවැය මුළුමනින් ම  උද්ධමනකාරී අයවැයක්. උද්ධමනකාරි තත්ත්වය ත්‍රීව්ර කරන, අතිශ්‍යයින්ම අසාර්ථක අයවැයක්. අයවැය නිසා මුහුණ දෙමින් සිටිය ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට කිසිසේත්ම අනුබල නොදෙන අතර, මේ අයවැය අනිවාර්යයෙන්ම තිබුණ තත්ත්වය ත්‍රීවුර කලා.


ඉතින් අද ඔබ මේ ගෑස් පෝලිම්වල, තෙල්පොලීම් වල ඉන්නේ, විදුලි කප්පාදුව නිසා දුක්විදින්නේ, අහස උසට යන ජිවන වියදම නිසා දරුවට කිරි පිටි ටිකක් දෙන්න බැරුව ඉන්නේ ඔබ පත්කරගත් පාලකයන් හොරකම්, වංචා,දුෂණ සිදුකළ නිසාම නෙවෙයි.

ඔවුන වැදගත් වුයේ ඔබෙත් ඔබේ දරුවාගේත් හෙට දවස ශක්තිමත් කරන්න නෙවෙයි, ඔවුන්ගේ බලය ශක්තිමත් කරගන්න ඕනේ වූන නිසයි.

මේසා ආර්ථික අවපාතයක් අබියසදී ඔවුනට අවශ්‍ය වුයේ ඔවුන්ගේ ප්‍රාදේශීය හෙන්චයියන් සන්තෝෂ කරන්න. ඔවුන්ට කොන්ත්‍රාත් ලබාදෙන්න. ඊලග ඡන්දේ ඉලක්ක කරගත්ත දේශපාලන ආර්ථිකය ක්‍රියාවේ යොදවන්න.

ඉතින් අද ඔබ පෝලිම් වල දුක්විදින්නේ මෙන්න මේ නිසා.



පරිහානියේ මාර්ග සිතියම : ගජමිතුරු බදු ප්‍රතිපත්ති -(ආචාර්ය ශානුක සෙනරත්)- ආචාර්ය (නීතිඥ) ශානුක සෙනරත්
කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශය

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


සබැඳි ලිපි :

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58