රජයේ සේවයට ඇතුළුවුණ අලුත ගුරුවරයකු වුණ මගේ බාප්පා මගෙන් ඇහුවා වැටුප් විස්තර පොතක ලියල තියාගන්නවද කියලා. මං කිව්වා නැහැ කියලා.
එයා මට අවවාද ගොඩක් දුන්නා. හැම දෙයක්ම පොතක ලියන්න, වැටුප් විස්තරේ ඉඳන් හැම දෙයක්ම ෆයිල් කරල තියාගන්න කියලා. එයාගෙ අවුරුදු 30ක ගුරු සේවයේ ෆයිල් මට පෙන්නුවා.
මං අවුරුදු 21ක් ගුරු සේවයේ යෙදුණත් ඔය කිසිදෙයක් කළේ නැහැ.
ඉංග්‍රිමන්ට් ෆෝම් එක දුන්නත්, ඒකට අදාළ වැටුප හදාගන්න හෝ මං කාර්යාලයට ගියේ නැහැ.
මාරු මණ්ඩලවලට සහභාගී වෙන්න කලාප කාර්යාලයේ ඉඳිද්දි පවා මං ඒක කළේ නැහැ.
හැමදාමත් මගේ වැටුප් හැදුණෙ වැටුප් පරිවර්තන කරද්දි. විශ්‍රාම ගනිද්දි වුණත් මට ලැබුණෙ ලැබිය යුතු නිවැරදි විශ්‍රාම වැටුප නොවෙන්න පුළුවන්.
සේවා ගිවිසුමක් මත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වැඩකළ අවුරුදු කීපය තුළ මං දැක්ක දේ තමයි, අපට ලැබෙන වැටුප හා වෙනත් දීමනා ආදිය ගැන අපි දැනගෙන හිටියා සහ කිසිම ගැටලුවකින් තොරව ඒවා ලැබුණා. කලාතුරකින් ගැටලුවක් ඇතිවුණොත් එක ඊමේල් එකෙන් ඒක විසඳාගන්නට පුළුවන් වුණා.
ගුරු පඩිය මදිවෙනකොට මං පටන්ගත්ත සයිඩ් බිස්නස් එක තමයි අන්තර්ගතයන් නිර්මාණය හා පරිවර්තනය. ඒක අද මාත්, සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාවලින් වැඩකරන තව හතර පස්දෙනෙකුත් රැකියාව කරන කුඩා ව්‍යාපාරයක්.
පසුගිය අවුරුදු කීපය තුළ මගේ දියුණුවටත්, දියණියකගේ මිලියන් තුනක් විතර වියදම් වුණ ශල්‍ය කර්මයකටත් මට උපකාර කළේ මගේ ඒ හවුල් ව්‍යාපාරය.
මගේ හවුල්කරුවා සාමාන්‍යයෙන් කිසිදු ආකාරයක අන්තර්ගත නිර්මාණයන් හෝ පරිවර්තන කරන්නෙ නැහැ. ඔහු කරන්නේ මේ ව්‍යාපාරය සම්බන්ධ පරිපාලනය, ගිනුම්කරණය, අලෙවිකරණය හා මහජන සම්බන්ධතා පවත්වාගැනීම. මේ කාරණා අපේ කුඩා ව්‍යවසායෙ 50%ක වටිනාකමක්.
ගුරු වෘත්තියෙ ඉඳිද්දි මට හමුවුණ බොහෝදෙනා විශාල කාලයක්, ශ්‍රමයක් හා සිතීමක් මිඩංගු කළා වැටුප් ගැන කතාකරන්න, වැටුප් වර්ධක හදාගන්න, ශ්‍රේණිය හදාගන්න වගේ සරල දේවලට. ස්ටාෆ් රූම්වල බොහෝවිට සාකච්ඡා කරන්නෙ මේ කාරණා.
කලාප කාර්යාලවල ඉන්න නිලධාරීන් සමහරු මේ දේ කරල දුන්නෙ හරියට තමන්ගෙ අතෙන් මිටෙන් යනවා වගේ. දුක්ගැනවිල්ලකට සවන්දෙන ඉහළ නිලධාරියෙකු හිටියෙ නැහැ. ඒ තත්වය ටිකක් වෙනස් වුණේ මෑත කාලයෙදි. දැන් තත්වය නරකම නැහැ.
රාජ්‍ය පරිපාලනය කාර්යක්ෂම නොකර රාජ්‍ය සේවයේ ඵලදායීතාව ඉහළ නංවන්නට බැහැ. රට වැටිලා තිබෙන මේ තත්වයට ප්‍රධාන වශයෙන් වගකිවයුතු පිරිසක් තමයි පරිපාලන නිලධාරීන්. රාජ්‍ය සේවකයන්ගේ උනන්දුව, කැපවීම, නිර්මාණශීලීත්වය ලබාගෙන රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්නටත්, රාජ්‍ය අංශයේ ශ්‍රම ඵලදායීතාව වැඩිකරන්නටත් රාජ්‍ය පරිපාලනය විධිමත් කිරීම අත්‍යවශ්‍යයි.

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.