මීට සතියකට දෙකකට පෙර, ආචාර්ය හරිනි අමරසූරිය පා.ම., කී කතාවක්  ''අපි ගෝඨාභය ගෙදර යැව්වට පස්සේ මොකක් ද කරන්නේ කියන එක ගැන අපිට අදහසක් තිබුනේ නැහැ.

ඒක අපේ දුර්වලතාවයක් '' සමාජ මාධ්‍යයේ දැඩි කතාබහට ලක් විණි.

මීට අවුරදු දෙකකට පෙර (නිශ්චිත ව කියතොත් 2020 අගෝස්තු 21) පාර්ලිමේන්තු ජන්දය අවසන් වූ වහා ම, මා මේ  කොලමට "හරිනි : ලාංකීය ආන්තිකත්වයේ සව්දිය විත ?" (Harini : a toast for Lankan marginality?) මැයින් මා ලියූ දේ මට නැවත කියැවීමට රිසි විය.


එහි මා ෆුටා හා වෘත්තීය සමිති ගැන ද මධ්‍යම පාංතික ඇකඩමිකයින්ගේ දේශපාලන චර්යාව ගැන ද සඳහනක් කර තිබිණ. පූර්ව ගෝල්පීස අරගල සමයේ ලියැවුණු ඒ මේ ලිපිය අද තත්ත්වය හා කෙතෙක් අදාළ වේ ද කියා මා සිතන අතර පාඨක ඔබට ද ඊට ආරාධනා කරමි.  


image 6743f87168
 
හරිනි : ලාංකීය ආන්තිකත්වයේ සව්දිය විත ? බොහෝ දුරට එය 2001 වසර විය හැක. ස්ථානය හැව්ලොක් පාරේ පිහිටි ඇමෙරිකානු ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක හෙවත් අයිඑන්ජීඕවක ප්‍රධාන කාර්යාලය ය. එහි ප්‍රධානියාගේ කාමරයේ සිටියෝ හරිනි අමරසූරිය, තවත් කාන්තාවක් හා මා වෙති. හරිනි හා අනෙක් කාන්තාව යට කී අයිඑන්ජීඕවේ ජෙය්ෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකාවෝ ය.

මා එම ආයතනයේ නව මානව සම්පත් අධ්‍යෂක ලෙස බඳවා ගැනීමට නියමිත ව තිබුන ද මා සිටියේ වැට උඩ ය. ආයතන ප්‍රධානී මොහොතකට කාමරයෙන් පිටතට ගිය අවසරයෙන් අපි අපගේ කතාවක් පටන් ගතිමු. මේ වැඩේ දිගට ම කරන එකේ තේරුමක් නැහැ, කියා අප තිදෙනාගෙන් එක් අයෙකු කීවේ හැව්ලොක් පාරේ නයෙකු මෙන් හෙමිහිට දිගට ඇදෙන වාහන පෙළ දෙස හිස් බැල්මක් හෙලන අතර ය.

හරි, ඉතින් මේවයින් ගැලවිලා ගිහින් මොනාද කරන්නේ කියා එක අයෙකු ප්‍රශ්න කළේ ය. ඇයි අපිට ඇකඩමික් සෙක්ටර් එකට ජොයින් වෙන්න පුළුවන්නේ කියා හරිනි ඉතා අධිෂ්ඨානශීලී ලෙස කීවා මට අද මෙන් මතක ය.  ඉන් මාස කිහිපයකට අනතුරු ව මම ආචාර්ය උපාධියට ඕලන්දයට ගියෙමි. වසරකට හෝ දෙකකට පසු ව හරිනි ද ආචාර්ය උපාධිය කරනට එඩින්බරෝවට ගියා ය. ඈ සමග තවත් ලාංකිකයින් පස් හය දෙනෙකු ද එහි ගිය ද ආචාර්ය උපාධිය නියම කලට වේලාවට අවසන් කළේ හරිනි පමණි.

ඉන් පසු ව ඈ විවෘත විශ්ව විද්‍යාලයට බැඳුණා ය. මේ වන විට අප යට කී කතාව කළ කාර්යාල ගොඩනැගිල්ල කැරෝකේ ශාලාවක ලෙස භාවිතා කෙරිණ. එහෙත් එම ගොඩනැගිල්ල පසු කර ගෙන යන හැම විට ම මට මතක් වූයේ හරිනිගේ දැක්ම හා එම දැක්ම ක්‍රියාවට නගා ගන්නට ඈ තුල තිබූ විනය හා අධිෂ්ඨාන ශක්තිය ය. 2001 සිට මෑතක් වන තුරු ම, හරිනි මාගේ ද මා ඇයගේ ද මිතුරු සමාජවල සිටියේ ය. කන්නට බොන්නට රිසි අප නිතර අපගේ නිවෙස්වල රැස්  වීම පුරුද්දක් ව පැවතිණ.    


2015 යහපාලන ආණ්ඩුව පත් වන්නට පෙරාතුව දශකයක පමණ කාලය තුල රාජපක්ෂ රෙජීමය තම බලය රට තුල ස්ථාපිත කර තිබුණේ ඉතා ශක්තිමත් ලෙස ය. රාජපක්ෂ පාලනයට උඩින් කාක්කෙකුට තබා මැස්සෙකුටවත් පියාසර කළ නොහැකි තත්ත්වයක වූයේ 2009 ලද යුධ ජයග්‍රහණය ද හේතු කොට ගෙනයි.


futa 2.jpg
විරුද්ධ දේශපාලන හා අනෙකුත් බලවේග ස්ව කැමැත්තෙන් ම හීලෑ වී සිටි අතර එසේ නොමැති අල්පයක් පමණ වන අය දැඩි මර්ධනයකට භාජනය විය. මෙම තත්ත්වයට යම් හෝ ව්‍යාතිරේඛයක වූයේ ෆුටා හෙවත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිතිය විසින් දියත් කළ 6% කැම්පේනයයි. එය හුදු වෘත්තීය සමිති ක්‍රියාකාරකමකට වඩා පුළුල් සමාජ අරගලයක ස්වභාවය ගති.

ෆුටා සටන මෙතෙක් පැවැති විරෝධතා හි නිරත වන සීමිත ආන්තික වාමාංශික තෙම්පරාදු සාමාජිකයින්ගෙන් ඔබ්බට විහිදවන්නට සමත් විය. මධ්‍යම පාන්තික හා ඉහල මධ්‍යම පාන්තික 'ඩීසන්ට්' කොටස් ද ෆුටා සටනට ගොණු වීම එම කැම්පේනය සාර්ථක වීමට හේතු සාධක විය.

සාමාන්‍යයෙන් පුරුෂ කඳවල් පමණක් ඒකාධිකාරය පවත්වාගෙන යන වෘත්තීය සමිති නායකත්වයට ගැහැණු කිහිප දෙනෙකු හෝ එක වීම ද විශේෂයක් විය.


සාමාන්‍යයෙන් යට කී පුරුෂයින් සමග සමීප නොවන පොස් ඇකඩමිකාවියන් අල්පයක හෝ සටන් බිමේ සිටිනු දක්නට ලැබිණ. අව්වට සමෙහි පැහැය පිළිස්සීම වලකන අත්දිග ටීෂර්ට් ද හෝ හැඳ අත්  පත්‍රිකා බෙදන මේ එක රැයින් ප්‍රගතිශීලී වූ, කියුටාකාරයේ අමුතු උචාච්රනයකින් සිංහල වහරණ කරන මේ පොස් ඇකඩමික් වරියන් අව්වට වැස්සට ම වැහැරුණු පුරුෂ නායකයින්ට මහත් ආහ්ලාදයක් ගෙන දුන් හ.


හරිනි මා දන්නා හොඳ ම සත්කාරක වරියකි. උයනට පිහිනට කොක්ටේල සැදුමට එකෙසේ දක්ෂ ඕ තම නිවෙසට එන අමුත්තන්ට ස්ටාටරයේ සිට ඩෙසර්ටය දක්වා ඉහලින් ම සැලකුවා ය. ෆුටා නායක පිරිස බොහෝ විට රැස්වෙන නොනිල ෆුටා මූලස්ථානය වූයේ හරිනිගේ නිවස්නය ය.

කොළඹ බිෂොප් විදුහලේ උගෙන, දේශීය නොව විදේශීය විශ්ව විද්‍යාලවල ප්‍රථම හා දෙවන උපාධි වියරණ කළ, කොළඹ අහි-එන්ජීයෝ හා බිෂොප්-කොලීජි සමාජයේ සිටි හරිනි වැන්නියක හුදෙක් සත්කාරකවරියක නොවී ගමේ ගොඩේ ආන්තික පුරුෂ කඳවල් සමග උරෙනුර ගැටී සටන් සගයෙක් වීමට වැඩි කලක් ගත නොවී ය. ඒ ඇයගේ අවංකකම සමග මිශ්‍රිත දේශපාලන වුවමනාව, කැපවීම හා වෙහෙස නොබලා වැඩ කිරීමේ  ගුණය නිසාවෙනි.

Harini 2022
දේශපාලන ව්‍යාපාරවල කාන්තාවන්ගේ බුද්ධිමය නායකත්වය මතු වීම දැකීම විරල ය. බොහෝවිට ඔවුන්ට සිදුවන්නේ හුදෙක් පුරුෂ නායකයින්ට ආවතේව කිරීම පමණි. හරිනි එම ඒකාකෘතිය ස්පැනිෂ් ඔම්ලටයක් පිසින්නට බිත්තර බිඳින්නා සේ සීරුවට වෙනස් කළා ය.    


බුද්ධිය, අවංකකම, කැපවීම හා ප්‍රියමනාප බව ප්‍රගතිශීලී කඳවුරේ අයවළුන් අතර දක්නට නැති විරල ගුණ-සම්මිශ්‍රනයකි. බොහෝ අයට ඇත්තේ මින් එකක් හෝ දෙකක් පමණි. එකකුදු නැති අය ද නැත්තේ නොවේ. හරිනිට මෙම සිවු ගුණය ම එක සේ පිහිටා ඇත.

එවන් තත්ත්වයක් තුල ඈ ප්‍රගතිශීලී ආන්තික සමාජය විසින් කෙමෙන් ආකර්ශනය කර ගැනීම තාර්කි ය. ජනතා විමුක්ති පෙරමුණ මේ වන විට තම සම්ප්‍රදායානුකූල ග්‍රාමීය, අර්ධ ග්‍රාමීය, සිංහල බෞද්ධ අරටුව සීග්‍රයෙන් හෙල උරුමය වැනි බලවේග වෙත ඇදී යාම වේදනාවෙන් අත් දකිමින් සිටියේ ය. පක්ෂයේ ප්‍රචාරක ලේකම් හා කැරිස්මතික ම නායකයා වන විමල් වීරවංශ එම සුළඟට ම ගසා ගෙන ගියේ ය.  

බුලත් කහට දත්-සැට් අන්තයේ සිට මවුත්-වොෂ්  අන්තය දක්වා ජවිපෙ තම ගමනේ සිග්නල් ලයිට් දමන්නේ මේ සන්දර්භයේ ය. විප්ලවය පසෙක ලා දූෂණ විරෝධී වැනි එන්ජීඕ පන්නයේ දේශපාලන භාවිතාවකට ඔවුන් විගමනය වන්නේ එම කාලයේ ම ය.



හරිනි නියෝජනය කරන සමාජ දේශපාලන පැලැන්තිය හෙවත් ඩිමොග්‍රෆිකය ජවිපෙට අභිමුඛ වන්නේ මෙම පසුබිම තුල ය. මෙතෙක් පැවතී දැඩි කාඩර සම්ප්‍රදාය තරමක් ලිහිල් කොට නාගරීක ලිබරලුන් ලිබරලියන් පක්ෂයට ආකර්ෂණය කර ගැන්මට ජවිපෙ උත්සහ කරනු අප තේරුම් ගත යුත්තේ යට කී තත්ත්වය තුල ය.




නිල්කමල් ප්ලාස්ටික් පුටු සාලේ තබා, මිතුරන්ගේ අනුග්‍රයෙන් සර්වාංග අවශ්‍යතා ඉෂ්ට කර ගැන්මේ අධි-විනය ජවිපෙ යට කී නව කණ්ඩායමට පනවන්න ගියේ නැත. ඔවුනට අවැසි ජීවන විලාසිතාවක් පවත්වා ගනිමින් තම පක්ෂයේ කොටසක් වන්නට හෙවත් කේක් කෑල්ල කන්නත් තියා ගන්නටත් හැකි අවකාශයක ලෙස ජාතික ජන බලවේගය ඇට විණි.

එහි ප්‍රමුඛ නායිකාවක ලෙස හරිනි මතු විය. සෙස්ස ඉතිහාසය ය.


ලාංකීය ආන්තිකත්වය (දකුණේ, එනම් උතුරු නැගෙනහිර නොවන)  අතිශයින් ආන්තික ය. එම ආන්තිකත්ව අවකාශයේ මීවදයක මෙන් ගුල් දස දහසක් පමණ ඇත. ත්‍රීවීල් ද ලොකු වැඩි ය එම කොටස්වල පිරිසට ගමන් කරන්න. ස්කූටියක් ඇති තරම් ය. ජවිපෙ යට කී  ගුල් දහසින් එක කේන්ද්‍රීය ගුලකි. විවිධ හැල හැප්පීම් මධ්‍යයේ වුව ද හැට ගණන්වල සිට පැවත එන දේශපාලන බලවේගයක  වන ජවිපෙ 1994 වසරින් පසු ව මේන්ස්ට්‍රීමය හෙවත් ප්‍රධාන ධාරාව තුල දියවන්නාගත විය.


අනෙකුන් අය මෙන් ම 'කපටි-කිට' ජැන්ඩියට හැඳ අයි-පෑඩයක් කිහිල්ලේ ගසාගෙන දියවන්නාවට යාම ඊම මනාව පුරුදු පුහුණු වූ මොවුහු පාර්ලිමේන්තුව තුල හඬක් නැගීම මහත් උනන්දුවකින්  කළ හ. ක්‍රමයෙන් තමන්ගේ ජන්ද කන්ද ඛාදනය වන බව කල් ඇතිව වටහා ගත් ජවිපය තම සම්ප්‍රදායානුකූල ආන්තික පන්ති ආවරණ කේෂ්ත්‍රය පසෙකලා නාගරීක හා අර්ධ නාගරීක ක්ෂේත්‍රයට හොට දැමී ය.

මීට මැතිවරණ දෙකකට පෙර මොරටු ප්‍රදේශයෙන් යට කී නව ඩිමොග්‍රෆිකය නියෝජනය කරන උනන්දු නීතිඥවරයෙක් ජාතික ලැයිස්තුවේ ඉහලින් ම ස්ථානගත කළේ එබැවිනි. එහෙත් පරාජිත ජවිපෙ ජේෂ්ඨයින් දෙදෙනෙකුට දියවන්නවේ පස්ස දොරින් ඇතුල් වෙන්නට මායාදුන්නේ මහතා ඇතුළු යට කී සාන්ත තොමසු නීතිඥයාට ජාතික ලැයිස්තුවෙන් කාණුවට බහින්නට සිදු විය.

සඳුන් දිව ඔසුවක සේ සැළකෙන ජවිපෙකු කෝප් කමිටුවේ සභාපති ලෙස පත් වූයේ මෙලෙස ය.

දහතුනක් දියවන්නා යවනවා කියා අධි තක්සේරුවක සිටි ජාජබය නමින් තරඟ කළ ජවිපෙට මෙවර ලබාගතහැකි වූයේ පෙර පාර්ලිමේන්තුවේ සිටි ගණනට වඩා හරි අඩක් පමණි. මෙවර මනාප ගැන්ම සඳහා ජවිපය විසින් ස්ථානගත කළ නව ප්‍රතිරූප  කිහිපයකි. ඔවුන්ගේ අනර්ඝත ම ශම්පේන් වන් කැම්පේන් ගල් භාග ලෙස රූපාන්තරණය වූයේ මනාප ලැයිස්තුව ආ විට ය.

මෙම දරුණු පරාජයේ ලැජ්ජාව වසා ගැනීමට ජවිපෙ කළේ ජාතික ලැයිස්තුවේ ඉහලින් ම සිටි බිමල් රත්නායක හා මහාචාර්ය අබේරත්න පසෙකලා තෙවැනි ස්ථානයේ සිටි ආචාර්ය හරිනි අමරසූරිය ව පත් කර ගැනීම ය. මෙය ජවිපෙ විසින් ගනු ලද ඉතා උපායික පියවරකි. තාක්ෂණික ව හා නීතියට අනුව බිමල් රත්නායක පත් කළ යුතු ව තිබිණ. ජාජබය නියෝජනය අවැසි නම් මහාචාර්ය අබේරත්න පත් කර ගත යුතු ව තිබිණ.

මේ දෙදෙනාට ම වඩා හරිනිගේ සුවිශේෂ වටිනාකමක් (value-addition) ඇත.


බිමල් රත්නායක මෙන් බැස යන තරුවකට හෝ කැරිස්මාවක් ගෑවිලාවත් නැති මහදුරෙකුට වඩා සොපිස්ටිකේටඩමය ගුණයෙන් හෙබි හරිනි දියවන්නාට යැවීම අතිශයින් තර්කානුකූල ය. අවංක කැපවීමෙන් හා දේශපාලන කන්වික්ෂනයෙන් පමණක් ආන්තිකත්වය නියෝජනය කරන හරිනි  අමරසුරිය දකුණේ මූර්ත ආන්තිකත්වයේ සවුදිය විත ලෙස කුසලාන ගත වන්නී එහෙයිනි.


එහි සාධනීය පැති කිහිපයක් ම ඇත. හරිනි ජවිපෙ කෝවෙන් කැපුණු චරිතයක නොවේ. ජවිපෙ තුල බහුල ව ඇති නිදන්ගත සිංහල බෞද්ධ ග්‍රාමීය තුනටි අමාරු ඇයට නැත.

මනා ශාස්ත්‍රීය පුහුණුවකින් සන්නද්ධ ඈ අවංකකම, කැපවීම හා අධිෂ්ඨානය ඔස්සේ නව ගමනකට ජවිපෙ සමග හෝ නැතිව මුල පුරන්නට ඇයට සියලු ශක්‍යතාව ඇත. ඊට  ඉත සිතින් අපි ඇයට සුභ පතමු.

 

Udan(උදන් ප්‍රනාන්දු)
දේශපාලන හා සමාජ විශ්ලේෂක

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


(මෙම ලිපිය 'අනිද්දා' පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58